වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිබීරා’ සහ මම

‘සිබීරා’ සහ මම

ප්‍රවීණ විචාරක සිරිල් බී.පෙරේරා අභාවප්‍රාප්ත වී 25 වසරක් නිමිතිකොට ගෙනය

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියසිංහල නවකථා කියවීම, ලිපි සඟරා කියවීම අවුරුදු දහයේ සිට මම මහත් ඇල්මක් දැක් වූ නිසා එකල පළ වූ නොයෙක් සිනමා පුවත්පත් හා සිංහල සඟරා ද, ඉඩලැබුණු හැමවිටම කියවා බැලීමි. විශිෂ්ට ගණයේ සිංහල නවකථාකරුවන් ලෙස මා හඳුනාගත් ඔවුන් මට පෙනුණේ දේවත්වයෙන් පිදිය යුතු කලාකරුවන් ලෙසය. මේ අතර මාර්ටින් වික්‍රමසිංහ විසින් ගම්පෙරළිය නවකථාවට පෙර ලියනලද මා මහත් අභිරුචියෙන් යුතුව කිය වූ පොත් අතර මඩොල්දූව, රෝහිණී වැනි නවකථා තිබිණ.

සඟරා අතරින් මා වඩාත් කැමැත්තෙන් කියවන ලද්දේ ආනන්ද තිස්ස ද අල්විස් මහතා විසින් එළිදක්වන ලද 'දිනදින' සඟරාවයි. මෙම සඟරා සකස් කරන ලද්දේ ද ප්‍රධාන කර්තෘ වූයේ ද ජී. ඩබ්. සුරේන්ද්‍ර මහතාය. ඔහු එකල මහා ප්‍රාඥයෙකු ලෙස අප හැඳින ගත් සයිරස් ඩබ්. සුරේන්ද්‍ර මහතාගේ ඥාති පුත්‍රයෙකි. එකල සයිරස් ඩබ්. සුරේන්ද්‍ර සහ රෙජී වීරමන් මහා චින්තකයින් ලෙස මට පෙනිණ. 1956 පෙරළියෙන් පසු ඇති වූ සිංහල බෞද්ධ පුනර්ජීවනයෙන්, මෙම නවකථාකරුවන් විශේෂයෙන් පියදාස සිරිස්න ඩබ්. ඒ. සිල්වා යන මහතුන් පිළිබඳව මහත් ආඩම්බරයක් ඇති විය. ඒ අවදියේදී 'සිබීරා' යන නම මට දැනගන්න පිළිවන් වූයේ ඔහු පියදාස සිරිසේන, ඩඩ්ලිව්. ඒ සිල්වා යන නවකථාකරුවන් නිර්දය ලෙස විවේචනයට ලක් කළ අයකු ලෙසටය. කොලු ගැටයෙකු වූ මට බෙෘද්ධ පුනර්ජීවනයට වින කරන ප්‍රධාන සතුරකු ලෙස 'සිබීරා' පෙනිණි. 'සිබීරා' ලෙස අන්වර්ථ නාමයෙන් ලියන්නේ ඔහු සිය නියම නම හෙළි කිරීමට බියෙන් යැයි මට සිතුණි. ඔහු ගැන මට දැඩි කෝපයක් ඇති විය. මෙරට රජ කළ සංකර හැත්ත රජ කරවීමට පසුබිම 'සිබීරා' සකස් කරන්නේ යැයි මට සිතිණි. ඉන් පසු ලංකාවේ ප්‍රථම වරට ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කරමින් මුද්‍රණය කරන ලද 'සෝභා', 'මේලා' සහ 'විසිතුර' නමැති සිනමා පුවත්පත් මා අමුතුම ලෝකයකට ගෙන යනු ලැබීය. කළු සුදු ඡායාරූප කුමක්දැයි නිවැරදිව හඳුනා ගත්තේ රැලෙක්ස් රණසිංහගේ ඡායාරූප දැකීමෙනි.

'සිබීරා' යනු සිරිල් බී. පෙරේරා බව දැනගත් අතර ඔහුගේ ලිපි මහත් උනන්දුවෙන් කියවීමි. කල්යත්ම ඔහුගේ ඒ ලිපිවල සත්‍යතාවයක් ඇති බව මට පෙනිණ.අපි ගතානුගතිකත්වයේ වහලුන් බවට පත්වී සිටිමු. මේ වහල් මානසිකත්වයෙන් මිදීමට අපට ශක්තියක් නැත. මෙයට අපගේ ආගමද, ජාතියද, කුලයද හේතු වී තිබුණි. අපේ සිත තුළ කුඩා කාලයේ සිට රෝපණය කරන ලද ගෝත්‍රික බීජය මහා වෘක්ෂයක් වී තිබුණි. මගේ මනස මෙයින් ව්‍යාකුලත්වයට පත් වී තිබුණි. සිරිල් බී. පෙරේරා මා හට කලාව සහ සභ්‍යත්වය ගැන පළමු පාඩම කියා දුන් තැනැත්තා යයි සිතමි. ඒ ඔහු හමුවීමෙන් නොව ඔහුගේ ලිපි කියවා බැලීමෙනි. ටවර්හෝල් යුගයේ පැවති සිංහල නාට්‍ය නරඹා මහත් කලකිරීමෙන් සිටි මට 'මනමේ' නාට්‍ය බැලීමට මා පෙලඹුවේ සිරිල් බී. පෙරේරාය. 'මනමේ' නාට්‍යයෙන් ද. සිංහල නාට්‍යයට තිබූ මගේ අකමැත්ත තවත් තීව්‍ර විය. ඊට පසු ඔහු සුගතපාල ද සිල්වා නැමැති කෙනෙකු විසින් ලියන ලද 'තට්ටු ගෙවල්' නමැති නාට්‍යය ගැන 'විසිතුර' හෝ 'සෝභා' සිනමා පුවත්පට ලිපි ලියා තිබුණි. එහි රැලෙක්ස් රණසිංහ, ප්‍රේමා ගනේගොඩ , කාන්ති වීරරත්න නැමැති නළු නිළියන්ගේ මහත් ආකර්ෂණීය ඡායාරුප පළ වී තිබුණි. මම 'තට්ටු ගෙවල්' නැරඹුවෙමි. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කළේ ' තට්ටු ගෙවල්' යයි මම සිතම. එතෙක් මගේ සිත්ගත් සිනමා විචාරකයින් වූයේ කරුණාසේන ජයලත්, ජයවිලාල් විලේගොඩ යන දෙදෙනාය. ඊට පෙර මගේ මහත් රුචිකත්වය කෙබඳු දැයි කිවහොත් 'මාතලන්' චිත්‍රපටය 17 වතාවක් බලා රස වින්ඳෙමි. 'ජබ් පියාර් කිසි කිසි හෝ තා හේයි' චිත්‍රපටයේ ආශා පරේක් නැමැති නිළියට සිහිනෙන් පෙම් බැඳි මට එවැනිම සංගීතමය චිත්‍රපටයක් නිපදවීමට සතක් පහළ විණ.

මෙය සංගීතමය චිත්‍රපටයක් විය යුතු බවත්, මෙම චිත්‍රපටයට ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද පෙන්විය හැකි අන්දමට නිපදවිය යුතු බවත් මා සිතා ගතිමි. එලෙස සිතාගෙන මා 'ශෝභා' සිනමා සඟරාවේ පළ වූ 'තට්ටු ගෙවල්' නාට්‍ය සඳහා 'සිබීරා' විසින් ලියන ලද ලිපිය කියවා එම 'තට්ටු ගෙවල්' නිසා වඩා රසවත් චිත්‍රපට නිපදවීමට හැකි ගතානුගතික සිනමාවෙන් පිට දක්ෂයින් සිටින බව මම තේරුම් ගතිමි. ඒ අනුව දිනක් ආහාර දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස වැඩ කළ ටෝනි රණසිංහ නමැති නළුවා සමඟ 'තට්ටු ගෙවල්' නාට්‍යයේ අධ්‍යක්ෂ සුගතපාල ද සිල්වා නැමැත්තකු හමුවීමට ගියේ ඔහු ජීවත්ව සිටි දෙහිවල පිහිටි ගමගේ හෝටලයේ පිටුපස ඇති කුඩා කාමරයකටය. ටික දිනකට පසු එම ස්ථානයට ආ කෙසඟ සිරුරක් ඇති වඩා උස මහත නැති ඉතා නිිශ්ශබ්ද සෙමෙන් කථා කරන පුද්ගලයකු මට මුණ ගැසුණි. ඒ සිරිල් බී. පෙරේරා නමැති විචාරකයා බව මට සුගතපාල ද සිල්වා හඳුන්වා දුනි. පසුව රැලෙක්ස් රණසිංහ ද 'අපේ කට්ටිය' නමැති නාට්‍ය කණ්ඩායමේ මුල් හවුල්කරුවන් ලෙස මම හඳුනා ගතිමි.

හැටේ දශකයේ මා හඳුනාගත් විශිෂ්ට බුද්ධිමතුන් කීප දෙනකු වුහ. ඉන් මහාචාර්ය ඩග්ලස් අමරසේකර මගේ ගුරුවරයෙකු ලෙස මම සලකමි. මේ හරුණු විට මා දැනගත් ඇසුර කළ අනෙක් විශිෂ්ටතම බුද්ධිමතා සිරිල් බී. පෙරේරායි. ඔහු පොතපතින් ලද දැනුම් සම්භාරය කෙතෙක්දැයි මම මැන බැලීමට නොයමි. ඔහු සිංහල භාෂාව හසුරුවනු ලැබූ ආකාරය අදට ද මට අදහාගත නොහැකිය. මා වඩාත්ම පුදුමයට පත් වූයේ පල්ලිය ඇසුරු කොට ගෙන හැඳුණ මොහු ස්වඋත්සාහයෙන්ම ඉංග්‍රීසි භාෂාව මානවින් ප්‍රගුණ කර එයින් ලද දැනුම හා ඉංග්‍රීසි භාෂාව හසුරවපු ආකාරය ගැනය.

සිරිල් 'අපේ කට්ටියේ' අනෙකුත් සාමාජිකයක් අතරින් මා වඩාත්ම ළං වූ, වඩාත්ම සිත් ගත් ඉතාම ප්‍රසන්න පුද්ගලයා විය. සුගතපාල ද සිල්වාගේ 'අපේ කට්ටිය' කණ්ඩායමේ මූලිකත්වයෙන් හැදූ අවසන් නිර්මාණය 'හරිම බඩු හයක්' යයි මම සිතමි. 'හරිම බඩු හයක්' නාට්‍යයෙන් පසු සුගතපාල ද සිල්වා තමා මෙම නාට්‍ය කලාවට කළ මහඟු සේවය පසෙක තබා 'මනමේ' වැනි ශෛලිගත නාට්‍යවලට ප්‍රේක්ෂකයා දක්වන උනන්දුව හේතුවෙන් 'නිල් කටරොල් මල්' වැනි ශෛලිගත නාට්‍යයන් නිපදවීමට පෙලඹුණි. සිරිල් මෙය කිසිසේත්ම අනුමත නොකළේය. ඊට පසු අපේ කට්ටියෙන් බිහි වූයේ 'අපේ කට්ටියේ' නාට්‍යය නොව සුගතපාල ද සිල්වාගේ තනි කැමැත්තට වෙනත් අලුත් මිතුරන්ගේ උවමනාවට නිෂ්පාදනය වූ නාට්‍යය. මේ ගැන සිරිල් බොහෝ සේ කම්පා විය. අපට සිටි හොඳම නාට්‍යකරුවා ජනප්‍රිය රැල්ලට ගසාගෙන ගියා යැයි ඔහු කීවේය.

මා විසින් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ 'සමනළයෝ' චිත්‍රපටයට ගීත රචකයන් දෙදෙනකු සුගත් තෝරා ගත්තේය. ඒ දෙදෙනා ඔගස්ටස් විනායගරත්නම් හා සිරිල් බී. පෙරේරායි. ඔහු ලියූ මෙම ගීතය එදා බොහෝ විට නාට්‍යයක් අවසානයේදී ශිල්පීන් විසින් ගායනා කරනු ලැබුවේය. එහි තනුවද, පද මාලාව ද එයින් තීව්‍ර වන හැඟීම් ද මගේ හදවත අද දින ද සසල කරනු ලබයි.

'සසර තුරුල්ලේ - කාලය වැල්ලේ
හමුවන ගැහැනියගේ දෑසේ
ඈත අනන්තේ කිමිදුණ මා හට
ඇගේ රුව පෙනෙනා දෑසක් නැත්තේ
අනුරාපුරයේ රෝමයේ මිසරයේ
හිරෝෂිමා නාගාසාකියේ
සුන්බුන්වල ගොඩ ගැහිලා
ඔබේ මගේ ජීවන සිහිනේ'

මෙම ගීතය ගයා අවසන් වූ පසු බොහෝ දෙනාගේ නෙතට කඳුළක් ගලා තිබුණි. මෙවැනි ගීතයක් රචනා කළ හැක්කේ සිරිල් බී. පෙරේරා වැනි සුන්දර මිනිසකුට පමණක් යයි මට සිතේ. නොයෙකුත් හේතූන් නිසා අපේ කට්ටියේ මිතුරන් හා මගේ තිබූ ආශ්‍රය දුරස් වූ අතර, සිරිල්, නාමෙල් හා මාලනී අතර ඇති වූ මේ සම්බන්ධය සිරිල් මිය යන තුරුම තිබුණේය.

ජෝති මිය ගොස් වසර කීපයක් ගිය පසු ඔහු ගැන කථාවක් කිරීමට මම සිරිල්ට ආරාධනා කළෙමි. ඔහු ජෝති ගැන කී මේ අදහස 'ජන සංස්කෘතීන් බිහි වන්නේ චිරන්තන සම්ප්‍රදායන්, පඬිවරුන්, බමුණන් හෝ සම්මතයන් මුල් කොට ගෙන නොවේ. සීගිරි කැටපත් පවුරේ කවි ලීවේ පඬිවරුන් නොවේ. අද බොහෝ මුද්‍රා නාට්‍යවලට මුල් වී ඇති ජන නැටුම බිහි කළේ නාට්‍යාචාර්යවරුන් නොවේ. පඬිවරුන්ගෙන් බොහෝ විට සිදු වන්නේ පරපුෂ්ටික රීරියක් කාරියකි. ඔවුන් ටිකා ටිප්පනි නිර්වචන අර්ථ කථන ආදී වචනවලින් හැඳින්වෙන යම් යම් දෙය ලියා පරිවර්තිතා ලෝකයෙන් බැබළෙන එක්තරා පරපුෂ්ටික කොටසක් බව කිවාට කමක් නැහැ. ජන සංස්කෘතීන් ලොව වටා එදා බිහි වූයේත් අද බිහි වන්නේත් ජෝතිපාලලාගෙනි. එච්. ආර්. ජෝතිපාල වනාහි එල්විස් ෆ්‍රෙස්ලි, ජෝන් ලෙනන්, ලතා මංගේස්කාර් වැනි සම්භාවනීය ජන සංස්කෘතියට අයක් කලාකරුවෙකි' මෙම අදහස මුද්‍රිත මාධ්‍යයේ පළ වූවාට පසු බොහෝ දෙනා ජෝති ගැන ඔවුන් තුළ වු දැඩි සාම්ප්‍රදායික අගෞරවයෙන් මිදී ඔවුන් පුනරුත්ථාපනය වූවා යයි මට සිතේ.

සිරිල් බී. පෙරේරා වැනි මිතුරකු, විචරකයෙකු, රචකයෙකු හා නවකථාකරුවකු කිසි කලෙක නැවත වරක් මට මුණ ගැසේ යැයි සිතීම අපහසුය. හැටේ දශකය මෙරටේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතමයන් බිහි කළ යුගයයි. සිරිල් බී. පෙරේරා, සුගතපාල ද සිල්වා හා රැලෙක්ස් රණසිංහ ද තමා තේරා ගත් ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් වූහ. අද ද ඔවුන්ගේ තැන ගැනීමට කිසිවකු පහළ නොවීම අපේ බුද්ධි ප්‍රවාහයේ ඇති වී තිබෙන මහා සෝදා පාළුවක් ලෙස මම දකිමි.