|
|
හර්ෂ් සමඟින් මිර්ස්යා
මිර්සා සහිබාන් පිළිබඳ වන පන්ජාබ් ජනකතාවක ඇසුරින් රාකේෂ් ඕම් ප්‍රකාශ් අධ්‍යක්ෂණය කළ ‘මිර්ස්යා’ චිත්‍රපටය පසුගිය සතියේ තිරගත වීම ආරම්භ කළා. මේ සමඟින් බොලිවුඩ් රිදී තිරයට එක් වුණ නවතම තරුව වුණ් හර්ෂ්වර්ධන් කපුර්. ඔහු සුප්‍රසිද්ධ නළු අනිල් කපූර්ගේ පුත්‍රයා. ‘මිර්ස්යා’ චිත්‍රපටයට අමිතාබ් භච්චන්, ශාරුක් ඛාන් ඇතුළු බොලිවුඩයේ සුපිරි තරු රැසකගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණු බව ආරංචියි. බොහෝ දෙනා පවසන්නේ ‘මිර්ස්යා’ හරියට කවියක් වගේ කියලායි. ඒ වගේම මේ අලුත් නළුවා එක්ක අලුත් චිත්‍රපටයත් ඉහළ සාර්ථකත්වයක් ලබනු ඇති බවටත් මත පළ වෙලා. ‘මිර්ස්යා’ හර්ෂ්වර්ධන් රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වුණත් ඔහු බොලිවුඩයට එක් වුණේ ‘බොම්බේ වෙල්වට්’ චිත්‍රපටය සමඟින්. ඔහු එහි සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කළා. හර්ෂ්වර්ධන්ගේ මීළඟ චිත්‍රපටය වෙන්නේ ‘භවේෂ් ජෝෂි’චිත්‍රපටයය යි.
කාශ්මීර ගැටුමෙන් බොලිවුඩය උණුසුම්
පසුගියදා කාශ්මීරයේ ඇති වූ ගැටුම නිසා උණුසුම් වුණේ බොලිවුඩය. කාශ්මීරයේ ගැටුම ඇති වුණත් එහි බලපැම එල්ල වුණේ බොලිවුඩයේ රඟන පකිස්තාන නළු නිළියන් වෙතයි. එහිදී ඇතැම් කණ්ඩායම් ඔවුන්ට රටෙන් පිටවී යන ලෙසත් දන්වා සිටියා. පකිස්තාන නළු නිළියන් දායක වූ හින්දි චිත්‍රපට ප්‍රදර්ශනයටත් බලපෑම් එල්ල වුණා. මේ නිසා කරන් ජොහාර් නිෂ්පාදනය කළ ‘ඒ දිල් හේ මුෂ්ඛිල්’ සහ පකිස්තාන නිළි මිහිරා ඛාන් රඟන ශාරුන් ඛාන්ගේ ‘රායීස් ‘ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙලා. ශෆාක් අමාන්ත් සහ අතිෆ් අස්ලාම් යන පකිස්තානු ගායකයන් ඉන්දියාවේදී සභාගි වීමට නියමිතව තිබූ සංගීත සංදර්ශන පවා අවලංගු කරලා. කොහොම වුණත් මේ වනවිට පාකිස්තානු නළු නිළියන් ඉන්දියාවෙන් පිටවී ගොස් ඇති බවයි ආරංචි ගෙන එන්නේ. ඇතැමෙක් මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කළත් සල්මන් ඛාන් වැනි නළුවන් මේ ගැන කතා කළා. රාධිකා අප්තේ මේ සිදුවීම ගැන බොහොම පරෙස්සමෙන් සිය අදහස් පළ කළා. පසුගිය කාලයේ රාධිකා ගැන අවධානය යොමු වුණේ ‘කබාලි’ උන්මාදය සමඟින්. ඇය සුපිරි නළු රජිනි කාන්ත් සමඟින් ‘කබාලි’චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. මේ සිදුවීමේදී ඉන්දීය හමුදාවට සිදු වූ අපරාධය ගැන කම්පා වෙමින් ඇය ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකිමින් කතා කළා. නමුත් රාධිකාගේ අදහස නම් මේ සිදුවීම නිසා බොලිවුයේ සිටින පකිස්තාන නළු නිළියන් ඉවත් නොවිය යුතු බවයි. “අපට පුළුවන් කණගාටු වෙන්න විතරයි” අවසානයේදී ඇය පවසා සිටියා.
වේදනාබර මතකයක්
‘ඒ දිල් හේ මුෂ්ඛිල්’ චිත්‍රපටය තිරගත කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබුණත් එහි ඇතුළත් ගීත තුන පසුගියදා මාධ්‍ය වෙත මුදාහැරීම සිදු කළා. අර්ජිත් සිං ගයන “ඒ දිල් මුෂ්ඛිල්”, “චන්නා මෙෙර්යා” සහ අමිත් මිශ්‍රා සමඟින් ශිල්පා රාඕ ගයන “බුලේයා” යන ගීත නිකුත් කළා. දින කිහිපයක් ඇතුළත මේ ගීත වෙක ප්‍රේක්ෂකයන් දැක්වූ ප්‍රතිචාරත් ඉහළයි. මේ වෙනුවෙන් අනුෂ්කා වගේම රන්බීර් ඉහළින්ම සාධාරණය ඉටු කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ගීත තුන අතරෙන් “චන්නා මෙෙර්යා” ගීතය අනුෂ්කා, රන්බීර් වගේම කරන්ගේත් වැඩියෙන්ම
සිත් ගත් ගීතය බවට පත් වෙලා. මේ ගීතය තම රංගන ජීවිතයේ සුවිශ්ෂිම ගීතය බව රන්බීර්
පවසනවා. අනුෂ්කාට එහි මතකය වේදනාබර එකක්. මොකද ඒ වෙනුවෙන් බරෙන් වැඩි ආභරණ පැළඳ කළ
රූගත කිරීම් දැඩි වේදනාවක් ගෙන දුන් බව ඇය පවසනවා. ආභරණ සහ ඇඳුම්වල බර කිලෝග්‍රෑම්
විස්සක්. ඒ විතරක් නෙවෙයි එය රූගත කරන්නත් දින හතරක්ම ගත වෙලා. කොහොම වුණත් අනුෂ්කා
වගේම රන්බීර් “චන්නා මෙෙර්යා” ගීතයේදී බොහොම අදරණිය ලෙසින් රංගනයේ නිරත වුණත් එය
රූගත කළ කාලය පුරාවට දෙදෙනාගේම හිත් නොහොඳකමක් පැවැති බවයි ආරංචි වෙන්නේ.
භාෂා නවයක් සමඟින් විද්‍යා
බොහොමයක් බොලිවුඩ් නළු නිළියන් බහු භාෂාවලින් යුතුව කෙරෙන නිර්මාණවලට ඉදිරිපත් වෙන්න පොඩි මැලිකමක් දක්වන බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. හැබැයි විද්‍යා බාලන් නම් මේ පසුපසට යන කණ්ඩායමට ඇතුළත් වෙලා නැහැ. මොකද ඇය වෘත්තිය තත්ත්වයෙන් ඒ බව ඔප්පු කරලා තියෙනවා. ඒ පසුගිය දවසක භාෂා නවයකින් යුතු වූ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටිමින්. කොහොමත් ඇය ප්‍රසිද්ධියේ අභියෝගාත්මක අවදානම් දේ කරන්න කැමැති නිළියක බව බොලිවුඩයේ ප්‍රසිද්ධියක් උසුලනවා. විද්‍යා ‘කහානි’ වගේ චිත්‍රපට තෝරා ගන්නත් හේතුව එය යි. දැන් ඇයගේ මේ අලුත් වෙළෙඳ දැන්වීම ගැන තමයි කවුරුත් කතා කරන්නේ. එය දෙමළ, මලයාලම්, තෙළිඟු, කණ්ණඩ, හින්දි, මරාති, ගුජරාති, බෙංගාලි සහ ඇසැම්සෙ යන භාෂා නවයෙන් හඬ කවා තියෙනවා. මේ වෙළෙඳ දැන්වීම අත්යන්ත්‍ර සාරි පිළිබඳ එකක්. 2012 වසරේ තිරගත වූ විද්‍යා ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘කහානි’ චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා කළා. අධ්‍යක්ෂ සුජෝයි ජෝෂ් දැන් එහි දෙවැන්න නිකුත් කරන්න සූදානමින් සිටින්නේ. විද්‍යා සමඟින් එහි අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ලබන නොවැම්බර් මාසය අවසානයේදී ලොව පුරා එය තිරගත කරන්න නියමිතයි.
ප්‍රියංකාගේ නිව්යෝක් සංචාරය
ප්‍රියංකා චොප්රා පසුගිය කාලයම ගත කළේ නිව්යෝක් නගරයේ. ඒ ඇය දායක වන ‘ක්වෙන්ටිකෝ’ අමෙරිකානු රූපවාහිනි කතා මාලාවේ දෙවැනි අදියරේ රූගත කිරීම් නිසා. මේ අතරවාරයේ සංචාරයේ යෙදෙන්නත් ඇය අමතක කළේ නැහැ. ඒ නිසා ඇය නිව්යෝක් නගරයේ ගත කළ කාලය ටිකක් දීර්ඝ වෙලා. සංචාරය අතරතුර ඇය වැඩියෙන්ම කැමැති ලිබර්ටි ප්‍රතිමාව අසල ගත කළ කාලයටයි. රූගත කිරීම් අතරේ ලද විවේකය මේ සංචාර නිසා බොහොම සතුටින් ගත කළා කියලා ප්‍රියංකා පවසනවා. ප්‍රියංකා ප්‍රධාන චරිතයට පණ දෙන ‘ක්වෙන්ටිකෝ’ පළමු අදියරේ රූගත කිරීම් ආරම්භ කළේ පසුගිය 2015 වසරේදීයි. එය කොටස් 22කින් සමන්විත වුණා. දෙවැනි අදියරත් කොටස් 22කින් යුක්තයි. ‘ක්වෙන්ටිකෝ’ හි රංගනය නිසා ප්‍රියංකාට හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි වුණා.
|



-.jpg)
.jpg)
.jpg)

.jpg)
-.jpg)