වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




එයාලා හීරෝ නම් මාත් හීරෝ

එයාලා හීරෝ නම් මාත් හීරෝ

සටන්කාමී ටෙඩී විද්‍යාලංකාරගෙන් අනතුරු ඇඟවීමක්

සටන් නම් ටෙඩී, ටෙඩී නම් සටන් යැයි කීමට තරම් සිනමාවට ඔහු නැතිවම බැරි පුද්ගලයෙක් බවට පත් වී හාමාරය. දෙස් විදෙස් චිත්‍රපටවල සටන් නළුවකු සටන් අධ්‍යක්ෂවරයකු ලෙසින් කීර්තිමත් නාමයක් දිනා සිටින ගන්වරි ටෙඩී විද්‍යාලංකාර හෙවත් සිනමාවේ අපි කවුුරුත් දන්න ටෙඩී විද්‍යාලංකාර සමඟ පිළිසඳරකට එක් වෙමු.

* ආයුබෝවන් ටෙඩී?

ආයුබෝවන්, සිනමාවේ මම ගුටි කාලා තියෙන හැටියට මට ආයුෂ මෙච්චර තියෙන එකත් පුුදුමයක්.

* ඒක තමයි මමත් මේ ආයුබෝවන් කියලම කතාබහට මුල පිරුවේ?

ඒක හොඳයි. අපි ගුටි කාපු නිසා තමයි අදත් මේ තරම් හරි සිනමාව තියෙන්නේ. හීරෝස්ලා සිනමාවේ ඇති වුණේ අපි හොඳට ගුටි කාපු නිසානේ.

* ඉතිං කොහොමද ටෙඩී මේ දවස්වල අලුත්ම තොරතුරු?

තුන් වරක් තුන, අතුරු මිතුරු හරි අපූරු, අප්පට සිරි, ආකර්ෂා චිත්‍රපට කීපයකම සටන් අධ්‍යක්ෂණය කළා, රඟපෑවා.

* මේ දවස්වලත් ඔබගේ සටන් අධ්‍යක්ෂණයන් හා රංගනයන් එක් වු සිනමා නිර්මාණයන් ප්‍රේක්ෂකයන්ට රස විඳින්න පුළුවන්?

මායා. පත්තිනි චිත්‍රපට දෙක තිරගත වෙනවා,

* ඔබ මීට අවුරුදු විස්සකට කලින් රඟපෑ චිත්‍රපටයක නව නිෂ්පාදනයක් වෙනුවෙන් යළිත් රඟපාන්න වෙනවා කියලා ආරංචියක් තියෙනවා?

ඒ කතාව ඇත්ත. මම කලින් රඟපෑ දෙමෝදර පාලම චිත්‍රපටය එහි අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් දැන් තියෙන තාක්ෂණය භාවිත කරලා නව දෙමෝදර පාලම නමින් කරන්න යනවා. එහි ෂූටින් ලබන මාසයේ පටන් ගන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඊට අමතරව තව චිත්‍රපට කීපයකටම ආරාධනාත් ලැබිලා තියෙනවා.

* සිනමාවේ දිගු අතීතයට ඔබේ රංගනයන් ඇදී යනවා?

දැන් මගේ කලා ජීවිතය අවුරුදු තිස් අටක්. මම සිනමාවට ආවේ අවුරුදු 19 දී. දැන් මට වයස අවුරුදු 58 ක්.

* අවුරුදු පනස් අටක් කියලා කියන්නත් බෑ?

ඒ ඉතිං පැක්ට්‍රිස්වල බලේ. කරාතේ, ජූඩෝ, ජිම්නාස්ටික්වල තියෙන කායික ශක්තිය. මාව දවසෙන් දවස ජව සම්පන්න කරනවා.

* ජාතික ජිම්නාස්ටික් සංගමයේ තේරීම් කමිටුවේ සාමාජිකයෙක්?

තේරීම් කමිටුවේ සභාපති ලෙසින් මම අවුරුදු දොළහක පටන් කටයුතු කරනවා. ඊට අමතරව ජිම්නාස්ටික් පුහුණුකරුවකු ලෙසත් කටයුතු කරනවා.

* සිංහල සිනමාවේ සටන් කලාව නව ආරකට ගෙනයාමේදී ඔබ දායක වූයේ කෙසේද?

මම තමයි මුලින්ම සිංහල සිනමාවට කණ්ඩායම් සටන් සම්ප්‍රදාය ගෙන ආවේ.

* ඔබ රඟපෑ සෑම චිත්‍රපටයකම සටන් අධ්‍යක්ෂවරයා ඔබ?

ඔව්. මම රඟපෑ සෑම චිත්‍රපටයකම සටන් අධ්‍යක්ෂණය කළෙත් මම.

* එදා මෙදාතුර ඔබ සටන් නළුවෝ විශාල ප්‍රමාණයක් සිනමාවට දායාද කරන්න ඇති?

සිනමාවේ විතරක් සටන් නළුවෝ දෙදහසකට කිට්ටු ගාණක් මම සිනමාව හරහා බිහි කරලා තියෙනවා.

* සටන් නළුවෙක් ලෙසින්ම ඔබ සිනමාවට පැමිණෙන පුද්ගලයෙක්?

මේක මගේ ඇඟේ තිබුන දෙයක්. මම මීගමුවේ ඉපදුණත් පාසල් ගියේ කොළඹ කේරි විද්‍යාලයට. පාසලේ ඉන්න කාලේ මම බොක්සිං ක්‍රීඩව කළා. කහ බළල්ලු, කරාටේ කිලස් චිත්‍රපට බැලීමෙන් මගේ ආශාව කරාතේ ක්‍රීඩාවට යොමු වුණා. ඔය කාලේ හෝප් නැව ලංකාවට ආවා. එවක ඔබ්සවර් පත්තරයේ විවෘත ආරාධනයක් කර තිබුණා මාෂල් ආර්ට්ස් කරන අය කීප දෙනෙක්ම ඒ නැවෙන් ඇවිත් කොළඹ වයි. එම්. බී. එකේ පුහුණු පන්ති කීපයක් පවත්වනවා කියලා. මම ඒකට ගියා. ඒ වගේම වරාය අධිකාරිය අසල වෙල්ගම මාස්ටර් කරපු කරතේ පන්තියටත් මම ගියා. එහි තිබුණේ කීයකුෂන් කායි ශෛලිය. ඒ වගේම තෙන්නකෝන් මාස්ටර් යටතේ මම ජූඩෝ ක්‍රීඩාව කළා. ජයවීර මාස්ටර් යටතේ ජිම්නාස්්ටික් ඉගෙන ගත්තා. එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපටය ජනප්‍රිය වූ වකවානුවේ මගේ මිතුරෙක් වූ දේවින්ද මාක්ස් එක්ක අපි ගියා උත්සවවල සටන් ජවනිකා ඉදිරිපත් කරන්න. අපේ වැඩේ ගොඩක් ජනප්‍රිය වුණා. දවසක් ශාන්ත කුලතුංග කියන මගේ හිතවතෙක් කළුතර නගර ශාලාවේ උත්සවයක් සංවිධාන කරලා අපිට ආරාධනා කළා. ඒ 1976 දී. ඔය උත්සවයට ඇවිත් හිටියා දයානන්ද රොඩ්රිගෝ. අපේ දක්ෂතා දැකලා අපිට කිව්වා චිත්‍රපටයක දර්ශනයකට එන්න කියලා. ඒ වෙන කොට ඔහු ජීවන ගංගා චිත්‍රපටය තිස්ස විජේසුරේන්ද්‍ර එක්ක කරලා තිබුණේ. අපි වෙනුවෙන්ම ෆයිට් එකක් හදලා ශාන්ත කුලතුංග, මම, දේවින්ද මාක්ස් අපි තුන් දෙනාම ඒ චිත්‍රපටයට ඇතුල් කළා. කොහොම හරි මේ චිත්‍රපටයේ ඩබින්වලට සරසවි චිත්‍රාගාරයට ගියහම එතනදි ලෙනින් මොරායස්, දයානන්ද ජයවර්ධන වගේ පුද්ගලයෝ හඳුනා ගන්න ලැබුණා. ඊට පස්සේ මට එක පාරට චිත්‍රපට අටක් ලැබුණා. දයානන්ද රොඩ්රිගේ ගේ අනූෂා චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කරමින් රංගනයෙන් මුලින්ම එක් වෙන්න මට හැකි වුණා.

* ඔබ ක්ෂේත්‍රයට එන කොට එවක සිනමාවේ නම් දැරූ සටන් නළුවන් වුණේ?

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රොබින් ප්‍රනාන්දු,

* ඔබේ විශාල ගෝල පරපුරේ නම් දරූ පුද්ගලයෝ උන්නාද?

මාක් සැම්සන්, රාජු ගමගේ, සරත් සිල්වා, වසන්ත කුමාරවිල ඒ අතරින් ප්‍රධානයි.

* මේ වන විිටත් අලුත් පරපුරේ සටන් ශිල්පීනුත් ඔබ බිහි කරලා ඇති?

කුමාර තිලකරත්න, ජීවක ගමගේ. විරාජ් අසංක, රංගන තරංග ඒ අතරින් කීප දෙනෙක්.

* බහුලවම දුෂ්ට චරිත රංගනයේ නියැලි ඔබ එයින් යම්තාක් හෝ අත්මිදුණු නිර්මාණත් තිබුණා නොවේද?

පෙරලිකාරයෝ චිත්‍රපටය ඒ වෙනස ඇති කළා. රන්දෙනිගල සිංහයා, සත්‍යා, දෙමෝදර පාලම, ජොලි හලෝ 1, 2, ලව් ඉන් ලන්ඩන්, අන්තිම රැය චිත්‍රපට ඒ ඒකාකාරී රැල්ලට වෙනසක් එක් කළා.

* ඔබට හිතුණේ නැද්ද ඒකාකාරී රටාව තුළ හැමදාම දුෂ්ඨයාට කොටු වී නොසිට වීරයාගේ චරිතයට යොමු වෙන්න?

මම කවදාවත් චිත්‍රපට ඉල්ලගෙන පස්සෙන් ගියේ නැහැ. ලැබෙන චරිතය කළා. අධ්‍යක්ෂවරු මගෙන් දුෂ්ටයා නම් මමත් දුෂ්ටයා. එයාල හීරෝ නම් මමත් හීරෝ. ඒ න්‍යාය තමයි මා ළඟ තිබුණේ.

* එවක සටන් නළුවන් අතර තිරයේ දුෂ්ටකම් අතරේ ඉහළින් වැජඹුණු නළුවන් රැසක් සමඟ ඔබත් එදා කරට කර රංගනයේ නියැලියා?

සේනාධීර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, ලයනල් දැරණියගල, තිස්ස විජේසුරේන්ද්‍ර සමඟ මාත් හරි හරියට දුෂ්ටකම් කළා.

* ඔබ චිත්‍රපට සටන් නිර්මාණයේදී දුරදිග බලා කටයුතු කළ පුද්ගලයෙක් ලෙසත් ප්‍රසිද්ධයි?

මම චිත්‍රපටයේ අනාගතය ගැන හිතලා සටන් නිර්මාණය කළා. සමහර විට ඒ සටන් ක්‍රම බොලිවුඩ්, හොලිවුඩ්වලවත් ඒ වෙන කොට නොතිබුණු දේවල්. අපි චිත්‍රපටවලට කළාට පස්්සේ තමයි එයාලගේ නිර්මාණවල පසු කලෙක ඒවා දකින්න තිබුණේ. සමහර සිංහල චිත්‍රපටවල මම සටන් නිර්මාණය කළේ චිත්‍රපට කරලා අවුරුදු කීපයක් පෝලිමේ තියෙන නිසා. ඒ පෙන්වන වකවානුව වන විට ගැළපෙන සටන් මම නිර්මාණය කළා. සිතෙන් හදලා සමහර සටන් දර්ශන මම ප්‍රස්තාරවල ඇඳ නිර්මාණ්‍ය කළා. මම හිතලා මම හදපු සටන් තමයි මගේ සටන් අධ්‍යක්ෂණවල තියෙන්නේ. හොලිවුඩ්වලින් ඔන් බැක් චිත්‍රපටය, අන්ඩිෂ් පියුටඩ් චිත්‍රපට හැදිලා එළියට එනකොට ඒ චිත්‍රපටවල තිබූ සටන් අපි අපේ සිංහල චිත්‍රපටවල කරලා තිබුණේ ඊට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා. අන්න ඒකයි අපේ දක්ෂතාවය.

* ඔබ විදෙස් චිත්‍රපටවලත් සටන් අධ්‍යක්ෂණයේ නම් දැරූ පුද්ගලයෙක්?

ඉංග්‍රීසි චිත්‍රපට 22 ක මම සටන් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. පකිස්තාන් චිත්‍රපට 14 ක, ඉන්දියන් දෙමල, හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

* අද වෙන කොට සටන්වලින් පිරි චිත්‍රපට බිහිවීමක් නොවන තරම්?

අද ඉතිං සිංහල චිත්‍රපට හදන්නේ ටෙලි නාට්‍ය ඩිරෙක්ටර්ස්ලා. එයාලා ළඟ ෆයිට් නැහැ. ඉස්සර වගේ චිත්‍රපට හැදෙන්නෙත් නැහැ.

* ලොව ප්‍රකට නළුවන් රැසක් සමඟ ඔබ සටන් නළුවකු ලෙස අභිමානවත් ගමනක් ගිය ජවසම්පන්න නළුවෙක්?

හොලිවුඩ් වගේම බොලිවුඩ්වලත් සුපිරි නළුවන් එක්ක කරට කර ෆයිට් කරපු ඒ අයට ෆයිට් ඩිරෙක්ට් කරපු කෙනෙක් තමයි මේ ටෙඩී. මම අතිශයෝක්තියෙන් කතා කරනවා නෙමෙයි. ලංකාවේ රූපගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයකම මම දායක වුණා. ඒ චිත්‍රපටවල ලංකාවේ නියෝජනය විදියට මම තමයි සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වුණේ. වෝටර්, මිඩ්නයිට් චිල්රන්, බ්ලඩ් ස්පෝට්, ජංගල් හීට්, තී වගේ විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් මම විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා.

* විදෙස් චිත්‍රපටල වැඩ කිරිමට ලැබීම ඔබට අත්දැකිම් ගොඩක් ලබන්න හේතු වෙන්න ඇති?

පැහැදිලිවම ෆයිට්වලදී ඒ අය භාවිත කරන නවීණ ක්‍රම ගැන මට අවබෝධයක් ලබන්න පුළුවන් වුණා. මට මතකයි බ්ලඩ් ස්්පෝට් කරන්න විතරක් මාෂල් ආටිස්ලා 15 ක් විතර ලංකාවට ආවා. ඒ අයගේ නිර්මාණශීලී අත්දැකිම් පවා මම එක පැත්තකින් මගේ ජීවිතයට එක් කර ගන්න ලැබුණා.

* හොලිවුඩ් බොලිවුඩ් හවුල් නිෂ්පාදන සඳහා කොහොමද සම්බන්ධතාවය ගොඩ නැඟෙන්ණේ?

සේන සමරසිංහ, චන්ද්‍රන් රත්නම් තමයි මේ හවුල් නිෂ්පාදනවල නියමුවෝ විදියට වැඩ කළේ. අදටත් චන්ද්‍රන් රත්නම් හරහා ඒ වගේ විදෙස් හවුල් චිත්‍රපට නිෂ්පාදන අපේ රටේ කෙරෙනවා.

* අද වෙන කොට සිනමාව ඩිජිටල්කරණය වෙලා. ඒක ඔබ වැනි සටන් අධ්‍යක්ෂවරයකුටත් පහසුවක් වෙලා ඇති?

මම 1977 දී තමයි සිනමාවට ආවේ. එදා ඉඳලා 2010 වෙනකන් අපේ සිනමාව තුළ භාවිතා කළේ දළ සේයාපට. අද වෙන කොට ඩිජිටල් කැමරා භාවිතාවත් එක්ක දළ සේයාපට භාවිතය ඉවත්ව ගියා. එදා ෆයිට් ඒකක් අපි කළේ රිහසල් ගණනාවක් කරලා. ටේක් එකට යන්න කලිනුත් අපිට සැක නම් ආයෙත් රිහසල් කළා. එහෙම කරලා තමයි ෆයිට් එක ගත්තේ. බොහෝ විට ටේක් වන් තමයි දුන්නේ. බැරිම වුණොත් ටේක් ටූ වලට ගියා. හැබැයි ටේක් ත්‍රී වලට ගියොත් නම් විහිලුවට හරි කිව්වා පහුවදා එනකොට නෙගටිව් කෑන් එකක් අරන් එන්න කියලා.

* ත්‍රි චිත්‍රපටයේ රඟපාන්න ලංකාවට ආපු රැජිනි කාන් ඔබත් එක්ක ෆයිට් කරන්න බය වුණා කියන්නේ?

එතනදි ඇත්තටම වුණේ රැජිනි කාන්ට වඩා එයාගේ ආරක්ෂකයෝ තමයි බය වුණේ. ත්‍රී චිත්‍රපටයේ ෆයිට් ෂූට් කළේ හාබර් එකේ. මම පහරක් ගැහුවොත් එයා ළඟින්ම යන්න තමයි ගැහුවේ. රියසල්වලදී මම එහෙම ගහනවට රැජිනි කාන්ගේ ආරක්ෂකයෝ බය වුණා. එයාලා කිව්වා මේ අපේ සුපර් හීරෝ, ඈතින් යන්න පහර ගහන්න කියලා. මම කිව්වා මට හොඳ ෆැක්ටිස් එකක් තියෙනවා, බයවෙන්න එපා, ළඟින් ගියත් මේ ශ්‍රී ලංකන් ෂොට් ඇඟේ වදින්නේ නැහැ කියලා. හැබැයි රැජිනි කාන් මගේ ඩිරෙක්ෂන්වලට ඕකේ වුණා. අන්තිමට මගේ ළඟින් යන පාර තමයි ෂූට් කළේ. ෆයිට් ඉවර වෙනකන් රැජිනගේ ගාඩ්ලාගේ ඇඟේ වතුර සීතල වෙලා විතරක් නෙවෙයි, ඇරුණු කටවල් වැහිලා ගියේ ඩිරෙක්ටර් කට් කිව්වටත් පස්සේ.

* අද බිහි වන සටන් නළුවන් විතරක් නොවෙයි, සමස්ත නළුවන් පිරිසම ගත්තම ඔබට මොකද හිතෙන්නේ?

බොහෝ පිරිස් සටන් ශිල්පියෙක් වශයෙන් කටයුතු කරලා නැහැ. නළුවෙක් වශයෙන් ඉදිරියට යාමක් ඔවුන් තුළ දකින්න නැහැ. මට පේන විදියට චිත්‍රපට පැත්තෙන් නළුවන් ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. අද කවුරු හරි මේ ක්ෂේත්‍රයට රංගනය සඳහා පැමිණියොත් ඒ පුද්ගලයා බලන්නේ එක රැයකින් පොරක් වෙන්න. කට්ට කකා පොරක් වෙන්න කවුරුවත් කැමැති නැහැ. ගහගන්න වුණත් ඉගෙන ගන්න ඕනේ. ගහන ක්‍රම කොච්චර තිබුණත් කැමරාවේ ප්‍රේම් එකට ගහන එක හැමෝටම කරන්න බැහැ අත්දැකීමත් පුහුණුවත් නොලබා.

* ඔබේ රංගන දිවියේ දිවි පරදුවට තබා කළ අභියෝගාත්මක රංගනයන් නිසාම විටෙක ඔබ අනතුරුවලට පවා පත් වුණා නොවේද?

මගේ කකුල් දෙක දෙපාරක් කැඩුණා රඟපාන්න ගිහින්. ලංකාවේ රූපගත කළ පාකිස්ථාන් චිත්‍රපටයක් වූ බේටාබ් රඟපාන්න ගිහින් එක පාරක් කකුල කැඩුණා. මට තිබුණේ නානුඔයේ පාලමේ ඉඳලා ධාවනය වෙන කෝච්චියට පැනලා සටන් කරන්න. මම කිව්වා කෝච්චියේ ඩ්‍රයිවර්ට විස්සට විතර වේගයෙන් කෝච්චිය ධාවනය කරන්න කියලා. ඒත් කෝච්චියේ වේගය එන්න එන්න වැඩි වෙලා මම පනින තැනට එන කොට වේගය පනහත් පැනලා. මට කරගන්න දේකුත් නැහැ. වටේම සෙනඟ මහා ගොඩක් ෂූටින් බලන්නත් ඇවිත්. බය වෙලා නතර වුණොත් මට ලැජ්ජයි. ඕනේ එකක් කියලා පැන්නා බල්ට් පාරකුත් දාගෙන. කොහොම හරි ඉලක්කය හරි ගියා. මගේ කකුලේ ඇටේ පිපිරුණා. ෆයිට් එක කළා. කවුරුත් අත්පුඩි ගහලා මගේ වීරකම අනුමත කළා. වැඩි වෙලාවක් ගියේ නැහැ. අඩිය තියන්නත් බැරුව ගියා. කකුල ඉඳිමුණා. මාව ගෙනිච්ච නානුඔය ඉස්පිරිතාලෙට. ඒ දවසේ ඉස්පිරිතාලේ කට්ටිය අකුරට වැඩ. කොහොම හරි මම නළුවෙක් කියලා දැනගෙන දොස්තරම ගිහින් මගේ කකුළේ එක්ස්රේ එක අරගෙන වෙලා තියෙන දේ පෙන්නුවා. ඒත් බේත් දාගන්න ක්‍රමයක් නැහැ. මම කැමැත්තෙන්ම ටිකට් කපාගෙන කොළඹ ගිහින් ප්‍රතිකාර ගන්නම් කියලා ආවා. ඒ ඇවිත් හොරිවිල වෙද මහත්තයා ළඟට ගිහින් මාස දෙකක් තෙල් පත්තු ගාලා යන්තම් ගොඩ ආවා.

* ඇත්තද මේ කකුල කැඩුනත් හරි කට්ටිය ඔබව අමතක කළා කියන්නේ?

චිත්‍රපටය කළ සියලු දෙනා මා ගැන හොයන්නෙවත් නැතුව චිත්‍රපටය කරගෙන ෂූටිනුත් ඉවර කරලා මටත් හොරා රටිනුත් ගිහින් තිබුණා.

* කොමන් මෑන් චිත්‍රපටය කරන්න ගිහින් කකුල් දෙකම පිපිරුවා නේද?

ලොව ප්‍රකට නළුවකු වූ බෙන් කිංස්ලි එක්ක තමයි මම රඟපෑවේ. අලුත්කඩේ උසාවිය පිටුපස්සේ තට්ටු පහක බිල්ඩිමකින් තමයි මට පාරට පනින්න තිබුණේ. මුලින් සූදානම් වුණේ තට්ටු තුනකින් පනින්න. ඒත මට හිතුණා තට්ටු පහෙන්ම පනින්න. කලින් රිහසල් කළා හරියටම තිබුණ සේෆ්ටි මෙට්‍රස්වලට වැටුණා. ටේක් එකට ගියා. ඇක්ෂන් කිව්වා, දුවගෙන ආපු වේගයෙන්ම මම පැන්නා. බල්ටි ගහලා බිමට ආවත් සේෆ්ට් මෙට්‍රස් එක පැනලා කකුල තියවුණා. කකුල් දෙකේම ඇට පුපුරලා කාලයක් තෙල් පත්තු සප්පායම් කළා.

* ඇත්තද මේ අපේම නළුවෙක් ටෙඩීගේ නහය කැඩෙන්න ගැහුවා කියන්නේ?

ඇත්ත නේන්නම්, රජ දරුවෝ චිත්‍රපටය කරද්දී සනත් ගුණතිලකට ෆයිට් ඉගැන්නුුවෙත් මම. කොහොම හරි ෂූටින්වලදී සනත් ගහපු පාරකට මගේ නාස්පොල්ල කඩලා ගියා.

* චිත්‍රපටයක සටන් අධ්‍යක්ෂණය කරන්න ගිහින් අන්තිමට චිත්‍රපටය ඩිරෙක්ට් කරපු සිද්ධියකුත් ඔබේ මතක පිටු අතරේ අදත් නොමැකී තියෙන හැඩයි?

සන් ඔෆ් සැඩෝකාන් චිත්‍රපටය කරන්න ගිහින් ඒ වගේ දෙයක් සිද්ධ වුණා. මේ චිත්‍රපටයේ තිබුණා රුවල් නැවක් කොල්ල කන දර්ශනයක්. ඇත්තම රුවල් නැවක් අරගෙන ඇවිත් බේරුවල වරායෙන් තමයි උදේ නවයට ෂූටින්වලට පිටත් වුණේ. බේරුවල ඉඳලා මුහුදේ හැතැම්ම පහක් විතර ඈත තමයි ෂූටින් එක. අපිට තිබුණේ බෝට්ටුවලින් ගිහින් නැවට ගොඩ වෙලා පහර දෙන්න. කැමරා කණ්ඩායම එන්නේ කොළඹ ඉඳලා ගුවන් හමුදා හෙලිකොප්ටරයෙන්. ඒ වන කොට අපි ෂූටින්වලින් රෙඩි වෙන්න ඕනේ. කොහොම හරි ටයිම් එකට ස්ටාට් වුණා. නැව කලින්ම මුහුදට ගියා. අපි නැවට කිට්ටු කරන කොට රැල්ල මුහුදේ හුඟක් සැරයි. බෝට්ටුව උඩ යනවා. හරියට අනික් පැත්ත ගහන්න වගේ. කොහොම හරි නැවට අපි අමාරුවෙන් කීප දෙනෙක් ගොඩ වුණා. ලණු ඉනිමගක ආධාරයෙන් දැන් චිත්‍රපටයේ ඩිරෙක්ටර්ට නැවට නඟින්න බැහැ. ඒ තරම් රැල්ල සැරයි. වෙන කරන්න දේකුත් නෑ. හෙලිකොප්ටරයත් එනවා චිත්‍රපටයේ ඩිරෙක්ටර් මුහුද මැද බෝට්ටුවේ. මම චිත්‍රපටයේ ඩිරෙක්ටර්ගේ වැඩේ නැවේ ඉඳන් සිද්ධ කළා.

* ඔබේ සටන් නිර්මාණයන් තුළ හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපට අනුකරණයන් තිබෙනවාද?

ඕනෑ තරම් ක්‍රියාදාම චිත්‍රපට නරඹනවා. ඒවායේ සටන් ක්‍රමත් මගේ සටන් නිර්මාණත් එකතු කරලා අපිට උචිත සටන් ක්‍රම නිර්මාණය කරනවා. ෆොන් රයන් එක්ස්ප්‍රස් කියන චිත්‍රපටය අපි නරඹලා මමත් දිනේෂ් ප්‍රියසාද් ගාමිණී ෆොන්සේකා දවස් පහළොවක් විතර දෙමෝදර පාලම පේන තෙක් මානයේ තැනක නැවතිලා චිත්‍රපටය සැලසුම් කළා. සටන් ජවනිකාත් එහෙමයි. චිත්‍රපටය අපිට ඕනෑ විදියට සකස් කළේ.

* මේ වෙන කොට ටෙඩී චිත්‍රපට කොමණ ප්‍රමාණයක් කරලා තියෙනවාද?

චිත්‍රපට 532 ක්.

* ඒ නිර්මාණ 532 අතරින් ඔබට සුවිශේෂී?

ගොඩක් තියෙනවා. අනුෂා, පෙරළිකාරයෝ, දෙමෝදර පාලම, වන් ෂොට්, සත්‍යා, රජ දරුවෝ, බ්ලඩ් ස්පෝට්, වෝටර්, කොමන් මෑන්.

* අදටත් අපේ සිනමාවේ සටන් ශිල්පීන් අතරේ අභිමානවත් ත්‍රිත්වයක් පෙරමුණ ගෙන තියෙනවා?

ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරු, ටිරෝන් මයිකල් ඒ අතරට නවකයෙක් තමයි වසන්ත කුමාරවිල.

* ඉතිං ටෙඩී කියමුකො බලන්න පවුලේ තොරතුරුත්?

මගේ බිරිය ඈන් සෙනෙවිරත්න. ඇය මට හම්බ වුණේ පාසල් කාලයේදීමයි. ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදියට අපි විවාහ වුණා. ඇය පුද්ගලික ආයතනයක නිෂ්පාන කළමනාකාරියක් ලෙස සේවය කරනවා. අම්මත් නංගිත් මම ළඟ ජීවත් වෙනවා. මල්ලි නම් විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ.

* ඔබේ මල්ලිත් සටන් නළුවෙක් නේද?

ඔව්. එයා දයානන්ද විද්‍යාලංකාර. චිත්‍රපට බොහොමයක සටන් ශිල්පියෙක් ලෙස කටයුතු කරලත් තියෙනවා. වෘත්තීමය වශයෙන් සටන් කලාවේ නියැලිලා නෑ.

* ජීවිතේ ගැන නොසිතා රංගනයට මුල් තැන දෙන ඔබේ රඟපෑ’ම් දැකලා බිරිඳ වගේම අම්ම වුණත් මේ දේවල්වලින් අත් මිදෙන්න ඔබට බලපෑම් කරන්නේ නැද්ද?

දැන් දෙන්නටම කියලා කියලා ඇති වෙලා, දැන් නම් කියන්නෙත් නැහැ.

* අදවත් හිතෙන්නේ නැද්ද අනුන් වෙනුවෙන් ගුටිකෑවා ඇති. මම දැන්වත් වීරයෙක් වෙන්න ඕනෑ කියලා?

එහෙනම් ඉතිං මම චිත්‍රපටයක් කරන්න ඕනෑ. ඒව කරන්න කොහෙන්ද අපිට සල්ලි. මාව නිෂ්පාදකයෝ අධ්‍යක්ෂවරු දුෂ්ඨයාට කොටු කළාට නළුවෙක් වශයෙන් මම ඕල් රවුඩ් කැරැක්ටරයක්. ගහගන්න බල්ටි ගහන ටෙඩී ඇතුළේ විවිධ චරිත පිරිච්ච පුද්ගලයෝ ගොඩක් ඉන්නවා.

* කලා ජීවිතයේ තිස් අට වසරක් පැමිණි මේ ගමනේ ඔබේ සාර්ථකත්වයේ රහස?

කැපවීමයි. අධිෂ්ඨානයයි. ආශාවයි. මෙ තුනේම එකතුවක් නිසා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ බලමහිමයෙන් මේ ගමන මේ විදියට ආවා.