වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ඒක තමයි ඔයාට ඕකේ අගයක් නැත්තේ

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

‘අර ළමයා දුවත් එක්ක මෙහේ ආවේ මොකක් හරි බලාපොරොත්තුවක් තියා ගෙන ද ?’

මානවී තවත් දවසක් ගෙදර නවතින්නේ යැයි කියන විට නිර්මලා ඇසුවාය.නිර්මලා සිතුවේ දියනිය පසුදා ආපසු යන බවය.ඇය ද ඒ බව කීවාය.දැන් ඇය හෙට යන්නට තීරණය කර ඇත්තීය.

‘මං දන්නේ කොහොම ද?”

මානවී පවසන්නේ ගණනක් නැතුවය. නිර්මලා කුස්සියට වී බත් පිගාන ඇනුවාය.මානවී මුව විවර කළේ බත් කටක් යැයි නොකියමිනි.නිර්මලා ගේ සිත අනුකම්පාවෙන් පිරී යමින් පැවතිණ.ළමා වියේ පවා තමාට ඇයට නිසි ලෙස ආරක්ෂාව දෙන්නට වත් කමක් නොවිණ.නිර්මලා අනා ගත් බත් පිඩ දියනියගේ මුවට ළං කළාය. එය ගිල ගත් මානවී ආපසු හැරුණේ වතුර ටිකක් බොන්නටය.

‘ඇයි ඇති ද?. ඉන්න මම තව කටක් කවන්නම්’

‘නැහැ අම්මා අනන ව දැකලායි මට කන්න හිතුණේ’

‘ඉතින් ඉන්න මං තව ටිකක් කවන්නම්’

‘නැහැ මට බඩගිනි නැහැ.මං කාපු ගමන් නේ’

මානවී බත් කට කෑවේ තමා ඇසූ ප්‍රශ්නයෙන් ලිස්සා යන්නට යැයි නිර්මලා ට සිතිණ.

‘නෑ, පුතේ මෙහෙම ඉලන්දාරි ඇවිත් ගෙදර හිටියම නිකන් කතන්දර හැදෙනවා’

නිර්මලා පැවසුවේ හඬ නොනැගෙන්නටය.මේ කතාව සිය මෑණියන්ගෙන් ද වහන් කරන්නට ඇයට වුවමනාය.රවිඳු උදෑසනින් ම අත්තා සමග ඇවිදින්නට ගොස්ය.ඒ ඔහුගේ මෝටර් රථයෙනි.පසුගිය දවස්වල ලෙඩ ගානේ ඇඳට වැටී සිටි මිනිසා ගේ සිතට යෝද සවියක් ලැබුණු ගානය.

අත්තම්මා ද කුස්සියට පැමිණියාය.

කතාවට බාධාවක් නමුත් ලැබුණු මොහොතේ කතාව හරියට කර ගත යුතුයියි නිර්මලා සිතා ගත්තාය.

‘පුතේ අපි ඉන්නේ ගම් වල නේ.අනික ගෑණු ළමයෙකුට කතාවක් හැදුනොත්.කොළඹ වගේ නෙවේ නේ”

‘ඇයි අම්මා ගම් වල නේ හරි, හරි කතන්දර තියෙන්නේ, ඉතින්.?’

දියනියගේ ජීවිතයේ බොහෝ සිදුවීම් අතරින් තමා දන්නා කොටස් සිය මෑණියන්ගෙන් ද වසන් කරන්නට නිර්මලා සමත් වූවාය.

‘ඒ ළමයි අපිට පෑහෙන්නෙත් නෑ ළමයෝ.බොහොම ලොකු ලොකු පවුල් වල අය.අන්තිමට හමත් සූප්පු කරලා යයි.’

අත්තම්මා දැනමුතු කමක් පෑවාය.

‘දැන් කවුද ඒ මනුස්සයාත් එක්ක මගුල් කතා කළේ? එයැයිට අපේ ගම බලන්න ඕනෑ කිව්වා.’

‘පුතේ ඒවා කොළඹ ක්‍රමේට හරි ඇති‘

නගරය පමණක් නොව ආකල්ප වලින් ගම ද වෙනස් ව ඇති වග මානවී දන්නීය.එය පිළිගන්නට වැඩිහිටියන් අකමැතිය.මිනිසුන්ගේ චර්යා රටාවන් නගරයට යෑමත් සමග වෙනස් ව ගිය අයුරු දන්නා අම්මා පවා මේ වන විට නිශ්ෂබ්දව සිටින්නීය.

‘එක ළමයෙක් හොයා ගෙන ආවාම කියනවා.ඒ ගමේ මිනිස්සුන්ගෙන් හිර ගන්නේ නෑ කියලා. දැන් කියනවා මේ හාදයා ලොකු වැඩියි කියලා’

මානවී තමා සමග එලෙස කතා කරනු ඇතැයි අත්තම්මා නොසිතුවාය.කොළඹ ගොස් තනිව හැදුණු නිර්මලා තවමත් අම්මාට බය පක්ෂපාතිය.මිනිබිරිය කුඩා කල හැදුණේ ද තමා ළඟය.ඇය ගැන දහසක් බලාපොරොත්තු රැසක් අත්තම්මාට තිබිණ.

‘හැබැයි අත්තම්මේ මාව නම් ලේසියෙන් හප කරන්න බැහැ’

මානවී පැවසුවේ ඔට්ටුවක් අල්ලන තාලෙටය.

උඹ හපනි.උමේ අම්මත් ඔහොම තමයි.ඉස්සර. අන්තිමට එපා කිව්ව කසාදයක් කර ගෙන....‘

අත්තම්මා කියන්නට ගිය දෙය ගිල ගත්තාය.මොනවා උනත් උඩ බලා ගෙන කෙල ගසා ගත්තොත් තමාටමයි. ඇයට සිතුණි.එහෙත් නිර්මලා සිය මව ගෙන් එබඳු බසක් බලා පොරොත්තු වූයේ නැත.දරුවන් ගෙන් රහස් රකින්නට සිදුවීම අවාසනාවකැයි නිර්මලාට සිතුණි.

‘ඔව්.ඒකට හම්බ වුණ ළමයා මම.හැබැයි මං අම්මා වගේ නෙවි.ඒක මතක තියා ගන්න.මට වරදියි.හැබැයි මම පරදින්නේ නෑ’

මානවී යළිත් කියා සිටියාය.අත්තම්මා කාමරයෙන් පිටව යන්නට සැරසුණේ කෝපයෙනි.දැන් ඇය ද පෙර මෙන් නොවේ.ඉක්මනින් කෝපයට පත් වන්නීය.මානවී ඇගේ මග අවුරා නවතාලීය.ඇය අත්තම්මාගේ මුහුණට එබිකම් කළේ ඇය විහිළුවකට ගනිමිනි.අත්තම්මා මානවී ගේ මුහුණ පැත්තකට තල්ලු කළාය.

‘ගම් වල ගෙවල් වලට එබිකම් කළොත් ඔව්වායේ අරුමයක් නොවන විත්තිය මම දන්නවා පුතේ.ඒ වුනාට අපි බොහොම නම්බුකාර කමට හිටපු මිනිස්සු’

අත්තම්මා ගමන නතර කරමින් පැවසුවාය.ඇයට වුවමනා උන් තැනින් යන්නටය.මානවී ගතින් කොයි හැටි වෙතත් ඇගේ දඟකාර මිනිබිරියමය.අත්තම්මා ගේ සිත ආදරයෙන් වෙලිණ.

මානවී ගෙදර සිටින ආරංචියට කී දෙනෙක් නම් සොයා ආවා ද ? අත්තම්මාට සිතිණ.කලකට පසු තමන්ගේ පවුල යළි ඉහලට ඔසවා තැබුවේ මිනිබිරියයි.එහෙත් අත්තම්මා බයය.ගිනි පෙනෙල්ලලෙන් බැට කෑ එකී කණාමැදිරි එළියට ද බයයි.අත්තම්මා සිතන්නේ එලෙසය.රවිඳු වැදගත් පවුලක තරුණයෙක් සේ ඇයට පෙනෙයි.ඔහු ගේ කතා බහ පැවතුම් සියල්ල අමුතුය.ඔහු උත්සාහ කරනුයේ ගමට අමුත්තක් නොවන්නටය.

වැවේ පැන නාන්නටත් ගමේ ගොඩේ ඇවිදින්නටත් ඔහු කැමැතිය.කුඩා කල සිට සැපට හැදුණ දරුවෙකියි අත්තම්මා රවිඳු ගැන සිතන්නීය.

ගමට නුහුරු ඔහුගේ පැවතුම් මානවී මුහුණට ම උපහාසයට නංවන්නීය.ඔහු එය විහිළුවෙන් ඉවසා සිටින්නේය.රෑ බතට ආරාධනා කරන්නට අත්තම්මා වතුර වීදුරුවක් ගෙන ගියාය.වතුර වීදුරුව අතට ගත් ඔහු එකවරම එය බී ගෙන ගියේය.

එය දුටු මානවී සිනාසුනාය.

‘සර් ඔය වතුර වීදුරුව දෙන්නේ බොන්නම නොවෙයි.කෑමට ආරාධනාවක්.ඒක අතට ගත්තා කියන්නේ කෑමට එනවා කියලා ආරාධනාව පිළිගත්තා කියන එක.’

මානවී සර් යැයි පැවසූ ස්වරයේ තිබුණ අවඥා සහගත බව අත්තම්මාට තේරුම් ගියේය.

‘ඉතින් වතුර එක බිව්වම මොකෝ’?

රවිඳු ඇසුවේය.

‘මුකුත් වෙන්නේ නෑ.සිරිත් දන්නේ නැති වග පෙනුණා’

‘ඉතින් සිරිත් විරිත් ඉගෙන ගන්න තමා මං ආවේ’

මානවී ද පසු බසින්නට කැමැති නැත.රවිඳු කෑමට ආවේය.

‘මේ ගොල්ලො ගොඩ සුද්දො නේ.අත්තම්මේ’

මානවී ගේ විහිළුවට කෙළවරක් නැත.

‘එහෙම කියන්න එපා පුතේ. අනේ දරුවෝ මේ කෙල්ලගේ කතා අහලා හිත නරක් කර ගන්න එපා’ අත්තම්මා බැගෑපත් ස්වරයෙන් පැවසුවාය.රවිඳු සිනහවක් පෑවේ අත්තම්මා අස්වසන්නටය.

‘මෙයා ගේ ගණං එයා ගේ ගම හින්ද නේ.’

හාමුදුරුවෝ කිව්වා ලබන මාසයේ දහම් පාසලේ තෑගි බෙදා දෙන එකට දුවට ආරාධනා කරන්න ඕනෑ කියලා.අද ඉන්නවා නම් පන්සලට ගිහින් එන්න.දැක්කොත් නායක හාමුදුරුවෝ හැමදාම අහනවා.’

අම්මා පැවසුවේ කුස්සියේ ඇති වූ සිත් වේදනාව සමනය කර ගන්නට මෙන්ය.රවිඳු ගේ මෝටර් රථය නිවස ඉදිරිපිට නතර විණ.ඔහු රියැදුරු අසුනෙන් බැස අනිත් පසින් ආවේ අත්තාට දොර අරින්නටය.මානවී ගෙයින් එළියට බැස්සාය.රථයේ පසක තිබූ හැරමිටිය රවිඳු රැගෙන දුන්නේය.

අත්තා ගේ මුහුනේ සිනහවක් නැගී තිබිණ.

ඔහු ට වාරුවක් වෙන්නට මානවී තැත් කළත් අත්තා කැමැති වූයේ තනියම එන්නටය.

‘මහත්තයා ත් එක්ක මම ගොඩක් ඇවිද්දනේ.ජාති කාර් එක.යනවා දැනෙන්ත් නෑ.’

අත්තා පැවසුවේ අත්තම්මාටය.ඇය නොලද වාසනාවක් තමා අත් වින්දේය යන උජාරුව පෙන්වන්නට ඔහුට වුවමනා වී තිබුණ හැඩය.

අත්තා හඬ නඟා කීබසට මානවී ගේ සිතට ලැජ්ජාවක් ඇති විණ.අත්තා ලෝකය ලෙස දැක ඇත්තේ කවර නම් සුළු දෙයක් ද? ඇය රවිඳු දෙස බලා ස්තූතියැයි හඬ නොනගා තොල මතුලාය.ඔහු එයට පිලිතුරු ලෙස සිනහවක් පෑවේ එය එපමණ කාර්යක් නොවන බව හැඟවෙන්නටය.

‘මම අද ඉඳලා හෙට ම එනවා.අනිද්දා ටීවී ප්‍රෝගෑම් එක හින්දා.’

මානවී පැවසුවේ තවත් ටික වේලාවකට පසුවය.ඒ වන විට තැඹිලි ගෙඩියක් ලොකු වතුර වීදුරුවක දමා රවිඳුට පිළිගැන්වී තිබිණ.

‘මේකේ පොල් තිබුනේ නැද්ද ?’

රවිඳු ඇසුවේ නිර්මලා ගෙනි.ඇය හිස් තැඹිලි ගෙඩිය පලා බලන්නට ගෙට ගියාය.

‘එහෙම නම් මාත් අද ඉඳලා හෙට යනවා’

රවිඳු කාටත් ඇසෙන්නට පැවසුවේය.

‘ඔයාට හෙට ලෙක්චර් එකක් තියෙනවා කිව්වා නේද ?’

‘ඒක හෙට නේ.හෙට යන්න බැරියැ.පාර්ලිමන්ට් අනිද්දා’

‘අනේ මන් දන්නෑ.ඔයා නම් රිලැක්ස් එකේ ඉන්නවා.’

මානවී පැවසුවේ දෙඅත එකිනෙකා පටලවා ගනිමිනි.තැඹිලි ටිකක් බීමේ ආසාවක් තිබුණත් රවිඳු ගෙන් එය ඉල්ලා සිටින්නට ඇය අකමැති වූවාය.

‘මං කිව්වේ මානවී. මට මේවා එපා වෙලා කවුරුවත් නැති පළාතකට වෙලා ඉන්න තිබ්බ නම්’.

‘ඒක නම් ලෙඩක්’

‘ මොකක්ද?

‘මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක.විශේෂයෙන් මන්ත්‍රිවරු.ඕක කොහොමටත් බලයත් එක්ක එන ලෙඩක්.’

‘මං ආවේ ඡන්දෙන් නෙවි.’

‘ඒක තමයි ඔයාට ඕකේ අගයක් නැත්තේ.අනිත් මිනිස්සු චන්ඩිකම් හරි මිනීමරලා හරි යන්න හදන්නේ.’

නිර්මලා දෙකට පැලූ තැඹිලි ගෙඩිය ගෙනාවාය.ඇය අතේ හැන්දක් ද විය.ඒ මදය ගලවා ගන්නට පහසු වන්නටය.

‘මේ හාමු මහත්තයාට හැඳී දෙන්න එපා.අම්මා. අපි මේකෙන්ම කෑල්ලක් කඩලා දෙමු.එතකොට තමයි එයාට ගමේ එක්ස්පීරියන්ස් හම්බු වෙන්නේ’

මානවී රවිඳු අවුස්සමින් පැවසුවාය.

‘මාව නිකම් තුට්ටුවට දාන්නේ නේද ?යමු කෝ කොළඹ’

ඔහු කොළඹ යන්නෙහි අන්තිම අකුර පැවසුවේ ඉතා තදින් ස්වරය අදිමිනි.රවිඳු වීදුරුව හිස් වන්නට මත්තෙන් තැඹිලි ගෙඩිය අතට ගත්තේය.වීදුරුව අතට ගත් මානවී දෙවරක් නොසිතාම ඉතිරි වූ තැඹිලි වතුර බිව්වාය.අනතතුරුව ඇය දුටුවේ තමන් දෙස සිනහවෙමින් බලා සිටි රවිඳු ය.

‘ඉල්ලුව නම් තව ටිකක් ඉතුරු කරනවානේ’