වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සංවාද නාටකයේ කූටප්‍රාප්තිය ආර්. ආර්. සමරකෝන්

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 14

සංවාද නාටකයේ කූටප්‍රාප්තිය ආර්. ආර්. සමරකෝන්

ස්වභාවික සංවාද නාට්‍ය සම්ප්‍රදායෙන් උපරිම ප්‍රයෝජනයක් ගත් නාට්‍ය රචකයා ආර්. ආර්. සමරකෝන් යැයි කිව හැකිය. ඔහුගේ දෙබස් ඉතාම ප්‍රාණවත් වූ අර එය නාටේ‍යීචිත වූයේය. පහත එන දෙබස් කණ්ඩ තුන සැලකිල්ලට ගන්න.

(1) 'සිවුරු පොරව ගත්තු බිස්නස්කාරයොයි, සමාජවාදෙට කත් අඳින ඇම්බැට්ටයොයි දැන් මේ රට කාලා ඉවරයි. අපිට කන්න දෙයක් ඉතුරු වෙලා නෑ'

(2) 'හරිහමන් ගෑනියකුට නම් ඇඳගෙන ගිය වස්තරේ ඉඹලා කිව්වැකි තමන්ගේ මිනිහා කොහෙන් හරි සාංඝීක දානයක් හොරෙන් කාලා ඇවිල්ලද නැද්ද කියලා'

(3) 'මං බඳිනවා නම් බඳින්නේ ඉස්කෝප්ප රැජිනි. මොකද දන්නවද? ඒකි පැටවු ගහන්නේ නෑ'

සමරකෝන් නිෂ්පාදනය කළ සියලු නාට්‍ය ස්වතන්ත්‍ර වන අතර එකක දෙකක හැර සෙසු නාට්‍ය සියල්ලේම සංගීත භාවිතයක් නොතිබීම ද කැපී පෙනෙන්නකි.

'ලෙඩක් නැති ලෙඩෙක්' (1968) සමරකෝන්ගෙග් මුල්ම නාට්‍ය නිර්මාණයයි. කොළඹ සතොස කලා කවය වෙනුවෙන් එය නිෂ්පාදනය කෙරිණි. මානසික ආබාධයකට ගොදුරු වූ සරසවි සිසුවකු ගැන මෙම නාට්‍යයෙන් කියැවුණේය. අනුලා මෙන්ඩිස් (බුලත්සිංහල) නාට්‍ය රංගනයට ප්‍රවිෂ්ට වූයේ මේ නාට්‍යයෙනි.

'චරිත දෙකක්' (1969) ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පිළිබඳ කෙරුණු මනෝ විද්‍යාත්මක විවරණයකි. මෙහි චරිත දෙක රංජිත් යාඉන්න සහ චන්ද්‍රා කළුආරච්චි විසින් රඟදක්වනු ලැබිණි. සංගීතවත් කළේ ඔස්ටින් මුණසිංහය.

කෙසේ වුවත් සමරකෝන් නාට්‍යකරුවකු ලෙස වඩාත් ප්‍රකට වූයේ 'අහසින් වැටුණ මිනිස්සු' (1971) නාට්‍යයෙනි. ජීවත්වීම සඳහා ජීවිතයත් සමඟ පොරබඳන අවමනිසුන් (ලුම්පන්ස්) පිළිබඳ නාට්‍යයෙන් කියැවිණි.

'අහසින් වැටුණ මිනිස්සු' තේමාව සම්බන්ධයෙන් සමරකෝන් මෙබඳු අදහසක් දක්වා ඇත.

'යල් පැනපු සමාජ සම්මත නීති රීතිවලින් අත් පා බැඳ තබා අයි. ආර්. සී. යන ලේබලය නළලේ ගසා ජීවත්වීමට ඇති සම අයිතිවාසිකමක්ම කොල්ල කා ගෙන මුල්ලකට තල්ලු කර දමන ලද තරුණයෙක් තම මවත් නැගණියත් රැක ගැනීම සඳහා තවත් එකකු සූරාකෑම මෙහි ඇති විශේෂත්වයයි. සූරාකෑමට භාවිතය වන තැනැත්තාත් සූරාකනු ලබන තැනැත්තාත් යන දෙදෙනාම අහිංසකයෝ වෙති. ඔවුන් ඒ සඳහා පොලඹවන සමාජ බලවේග කවරේද යන්න සොයා බැලීමයි මෙහිලා වැදගත් වන්නේ'.

'අහසින් වැටුණ මිනිස්සු' හි රංජිත් යාඉන්න, ප්‍රේමා ගනේගොඩ, චන්ද්‍රා කළුආරච්චි ප්‍රධාන චරිත රඟපෑ අතර මෙහි නාට්‍ය නිෂ්පාදකවරයා ලෙස රඟපෑවේ සමරකෝන්ය.

1971 ජාතික නාට්‍ය උලෙළේදී 'අහසින් වැටුණ මිනිස්සු' සම්මාන හතරක් දිනා ගත්තේය. ඒ හොඳම ස්වතන්ත්‍ර රචනය, හොඳම නව නිර්මාණ නිෂ්පාදනය, හොඳම නළුවා සහ හොඳම සහාය නිළිය යනාදී වශයෙනි.

'අහසින් වැටුණ මිනිස්සු' කොතරම් ජනප්‍රිය වීද කිවහොත් එය අද වන විට නව නිෂ්පාදන හතක් ඉදිරිපත්ව ඇත. ඒ ඒ කාල වකවානුවල දක්ෂ නළු නිළියෝ එකී නිෂ්පාදනවල රඟපෑහ.

'මිනිහෙක්' (1973) සමරකෝන්ගේ ඒකාංගික නාට්‍යයකි. එය හෙන්රි ජයසේනගේ 'ගමනක්' යන ඒකාංගික නාට්‍යය සමඟ වේදිකාගත කෙරිණි.

'ඉඩම' (1975) සමරකෝන්ගේ ඊළඟ නාට්‍ය නිර්මාණයයි. ඉඩම් හිමි ධනපතියකු හා ඔහුගේ වත්තක පදිංචිව සිටින පවුලක් අතර ඇතිවන්නා වූ ගැටුමක් මෙම නාට්‍යයට පාදක වූයේය. ඉඩමේ තේමාව පිළිබඳ සමරකෝන් මෙසේ අදහස් පළ කර ඇත.

'කම්කරුවෝ අඳෙීනා නැඟූහ. ඔවුන්ගේ දුක් ගී රාවය කිසිවකුට නෑසී හිස් අහසට නැඟී අතුරුදන් වී ගියේය. චන්ද්‍රදාසත් දයාවතිත් ඒ ගීත අඟුරු කැබලිවලින් ලයිමේ බිත්තිවල සටහන් කර තැබුවෝය. එය සුළං රැල්ලක් මෙන් අනෙකුත් පැල්පත්වලට ද පැතිරිණි. වැඩිමහල්ලෝ කලබල වූහ. පාලකයෝ වියරු වැටුණාහ. ඔවුන්ගේ තැරැව්කරුවෝ අවි අමෝරා ගත්හ. එහෙත් සුළඟ නොනැවතිණි. මුලදී ගොළු බසකින් නඟින හීන් කෙඳිරිල්ලක් ලෙසින් ඉහට උඩින් හමා ගිය සුළං රැල්ල පසුව ගස් ගල්, ෆැක්ටරි, බංගලා පෙරළාගෙන යන සැඩ සුළඟක් බවට පත් විය'.

මෙම නාට්‍යය නරඹන්ට ආ ප්‍රකට වාමාංශික දේශපාලනඥයකු වූ (එවක මුදල් ඇමැති ද වූ) ආචාර්ය එන්. එම්. පෙරේරා නාට්‍යයට සංශෝධනයක් යෝජනා කළේය. මුල් පිටපතේ වැඩිහිටි පරපුර තම දරවන්ගේ විරෝධාත්මක ක්‍රියාකලාපයට එරෙහි වෙති. එහෙත් එන්. එම්. කීවේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ද අරගලයට ලැබෙන ආකාරයට නාට්‍යය හමාර කරන ලෙසය. එය පිළිගත් සමරකෝන් අදාළ සංශෝධනය කළේය.

නාට්‍යයේ එක් වැඩිහිටියෙක් අවසානයේදී මෙසේ කියයි.

'උඹලාගේ සටනට ජයවේවා'

පසු කලෙක අති දක්ෂ සිනමා නළුවකු වූ රවීන්ද්‍ර රන්දෙණිය මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේය.

'කැලණි පාලම' (1978) යනු නූතන සිංහල නාට්‍ය වංශයේ අතිශය ජනප්‍රිය වූ නාට්‍ය කීපයෙන් එකකි. ('මනමේ', 'නරි බෑනා', 'හුණුවටයේ කතාව', 'සුබ සහ යස' මෙසේ ජනප්‍රිය වූ සෙසු නාට්‍ය අතර වෙයි). සමරකෝන් දෙබස් රචකයකු ලෙස ඉහළම සාර්ථකත්වයක් ලබන්නේ 'කැලණි පාලමෙනි'. ශ්ලේෂාර්ථයන්ගෙන් යුතු සංවාද (දෙපිට කැපෙන දෙබස්) රැසක් මෙහි දක්නට ලැබිණි.

තමා 'කැලණි පාලම' ලීවේ කලක ඉහත ලද අත්දැකීමක් ඇසුරු කරගෙන බව සමරකෝන් කියයි. මහ වැසි සහිත එක්තරා දිනෙක කිරිබත්ගොඩට යෑම සඳහා ගල්කිස්සෙන් බස් රියකට ගොඩ වූයේය. කැලණි පාලම අසල දී ඔහුට දක්නට ලැබණේ පාලම දෙපැත්තේ තැනින් තැන පොල් අතු කූඩාරම් අටවා ඇති අයුරුය. එම කූඩාරම්වල සිටින්නේ කීර කොටුවල පදිංචි උදවිය බවත් ගංවතුර හේතුවෙන් පාලම උඩට පැමිණ සිටින බවත් ඔහුට අසන්ට ලැබිණි. ඔහු 'කැලණි පාලම' නාට්‍යය ලීවේ ඉන් හටගත් කම්පාවෙනි.

මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන 'කැලණි පාලම' මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' නාටකය සමඟ සසඳමින් අපූර්ව විචාරාත්මක විග්‍රහයක් කර ඇත. මෙම නාට්‍ය දෙකේම ඇති පිය - පුතු ගැටුම මෙහිදී මහාචාර්ය ගුණවර්ධනගේ අවධානයට හසු වූ ක්ෂේත්‍රයක් විය.

'කැලණි පාලම' විචාරයට ලක් කළ ආචාර්ය ධර්මසේන පතිරාජ කියා ඇත්තේ සමරකෝන්ට පමණක් නොව වෙනත් ඕනෑම නාට්‍ය නිෂ්පාදකයකුට දෙබස් නාටකයේ ආකෘතිය මින් එහාට වර්ධනය කළ හැකි වේදැයි නොදන්නා බවය. ගුණදාස අමරසේකර මෙම නාට්‍යය සිංහල නාට්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා ඇත.

'කැලණි පාලමෙන්' පසු සමරකෝන් 'ඩිංගිරි අම්මා' නමින් නාට්‍යයක් රචනා කළේය. එහෙත් එහි පිටපත තහනමට ලක්විණි. 'ඒගොල්ලෝ කිව්ව විදියට කැපුවා නං මේකේ පෙන්නන්ඩ නාට්‍යයක් ඉතුරු වෙන්නේ නෑ' යනුවෙන් සමරකෝන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ගැන අදහස් දක්වමින් කියා ඇත. මෙම නාට්‍යයට සමකාලීන සමාජය හා දේශපාලනය විවේචනය කරන්නා වූ දරුණු දෙබස් ගණනාවක්ම ඇතුළත් වූයේය. මේ ඉන් එකකි.

'මේක අබුද්දස්ස යුගයක් තමයි අද බල්ලෝ හිනාවෙනවා, සිංහයෝ හිඟ කනවා, කොටි සිල් ගන්නවා, බූරුවෝ රස්සාවල් කරනවා, මී හරක් රජ කරනවා'.

'ජේලර් උන්නැහේ' (1986) සමරකෝන් කලකට ඉහත නිපද වූ 'මිනිහෙක්' නම් වූ ඒකාංගික නාට්‍යය තවදුරටත් වර්ධනය කොට ලියූ පිටපතකි. පසු කලෙක සමරකෝන් කියා ඇත්තේ මෙම නාට්‍යය නිෂ්පාදනය කිරිම තමා අතින් සිදු වූ වරදක් බවය.

'ජේලර් උන්නැහේ' නාට්‍යයට සංගීතය භාවිත කරගෙන තිබිණි. එය ද සිහිනමය ජවනිකාවක් සඳහා යොදාගත් වයලීන් වාදනයකට පමණක් සීමා වූවකි.

'දූවිලි' (1990) නාට්‍යය රැගුම් පාලක මණ්ඩලයේ සංශෝධනයන්ට යටත් වූ නාට්‍යයකි. දෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් ගැන මෙම නාට්‍යයෙන් කියැවිණි. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වසර ගණනාකට පසු වේදිකවේ රඟපෑවේ 'දූවිලි' නාට්‍යයෙනි.

'රජ කතාව' (1992) දේශපාලන ප්‍රහසනයක් ලෙස හඳුන්වා දිය හැකිය. නාට්‍යයක රජ චරිතයක් රඟපෑ නළුවකු සැබෑ ජීවිතයේත් ඒ චරිතයම රඟපාමින් 'රජ පිස්සුවක' නියැළෙන ආකාරය මෙයින් ඉදිරිපත් කර තිබිණි. මෙය පාදඩ දේශපාලනයේ ජරාජීරර්ණත්වය සංකේතවත් කරන නාට්‍යයක් ලෙස ද හඳුන්වා ඇත.

'කපුටු බෝ' (2004) සමරකෝන් හැට ගණන්වල ලියා නිෂ්පාදනය කළ 'චරිත දෙකක්' නාට්‍යයේම ප්‍රති නිෂ්පාදනයකි. වෙනස් වූයේ නාට්‍යයේ නම සහ නළු නිළියෝය.

'කකුල් හතරේ ඉලන්දාරියා' (2007) චරිත හතරක් පාදක කර ගත්තකි. ඉන් එක් චරිතයක් වඳුරෙකි. සෙසු චරිත මව, දුව සහ දුවගේ පෙම්වතාය. නර්තන නිර්මාණය ආරියරත්න කළුආරච්චිගෙනි. මෙයට සංගීතය ද එක්ව තිබිණි. ශාන්ත පීරිස් මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය. සමරකෝන්ගේ නාට්‍ය අතරින් සංගීතයක් අසන්ට ලැබුණේ 'චරත දෙකක්', 'ජේලර් උන්නැහේ' හා මේ නාට්‍යයේදී පමණි.

සමරකෝන්ගේ පසුකාලීන නාට්‍ය අසාර්ථක නිෂ්පාදන බවක් පෙනී යයි. ඊට ප්‍රධානම හේතුව නාට්‍ය සංවිධායකවරුන්ගේ ඉල්ලීම මත කඩිනමින් නාට්‍ය රචනා කොට එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමයි. මෙහිදී නාට්‍ය සංවිධායකවරුන් සමරකෝන්ව සල්ලි කඩන කෙක්කක් බවට පත්කර ගත් අතර එහි විපාකය වූයේ සමරකෝන්ගේ නිර්මාණ ප්‍රතිභාව විනාශ වී යෑමය.

'බොල් කහවනු' සමරකෝන් අවසන් වරට කළ නාට්‍යයයි.

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව