|
|
සුවිශේෂී දරුවන් සඳහා වූ පෙරිග්‍රීන් මෙනෙවියගේ නිවහන
ජේක් ට කුඩා කලසිටම සිය මුත්තනුවන් විසින් පවසන දෙයක් වෙයි. ඒ නම් සුවිශේෂී හැකියාවන් ඇති දරුවන්ට සිය ආරක්ෂාව පිණිස යා හැකි නිවහනක් ඇති බවයි. පසු කලෙක මුත්තනුවන් මිය යන අතර, ජේක් ගේ දෙමාපියන් ඔහු ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි. දිනෙක ජේක් ගුහා පද්ධතියක් තුළින් රිංගා යන අතර එය දිවෙන්නේ 1940 ගණන්වල පවතින පාසලක් වෙතයි. එය “ සුවිශේෂී දරුවන් සඳහා වූ පෙරිග්‍රීන් මෙනෙවියගේ නිවහන” වන අතර නොයෙක් විධ සුපිරි හැකියාවන් ඇති දරුවන් බොහොමයක් පෙරිග්‍රීන් මෙනෙවියගේ රැකවරණය යටතේ මෙහි වෙසෙයි. මෙහි සිටින එක දැරියකට සිය මුවින් නිමක් නැතිව වාත කදම්භයක් නිර්මාණය කළ හැකි අතර, තවත් දරුවෙකුට නොපෙනී සිටීමේ හැකියාවද, තවත් අයෙකුට ගිනි මැවීමේ හැකියාවද ඇත. එක කුඩා දැරියකගේ මුහුණ පිටුපස භයංකර යක්ෂ මුවක් ඇති අතර තවත් දැරියකට සුවිසල් බරක් එසවිය හැක. “ත්‍රිමාන භයංකර මන:කල්පිත වික්‍රමාන්විත” චිත්‍රපටයක් වන “Miss Perigreen’s Home for Peculiar Children” රිදී තිරයේ මෙලෙස දිගහැරෙයි. රැන්සම් රිග්ස් නම් තරුණ නවකතා කරුවාගේ ප්‍රථම නවකතාව පාදක කොටගෙන නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය, ස්වීනි ටොඩ්, බිග් ෆිෂ්, චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ටීම් බර්ටන් ගේ අධ්‍යක්ෂණයකි. පීටෙර් ජනින් සහ ජෙනෝ ටොපින් ගේ නිෂ්පාදනයක් වන මෙහි ඉවා ග්‍රීන්, එස් බටර්ෆීල්ඩ්, ක්‍රිස් ඔඩොවුඩ්, සැමුවෙල් එල් ජැක්සන් ඇතුළු පිරිසක් රංගනයන් දායක වෙති. රෙනින් එන්ටර්ටේන්මන්ට්, ටීම් බර්ටන් ප්‍රඩක්ෂන්ස් ඇතුළු නිෂ්පාදන ආයතන 7ක නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් බෙදා හැරීමකි. විනාඩි 127ක ධාවන කාලයකින් යුතු මෙය පසුගිය 30 වැනිදා සිට තිරගත වෙයි. අමෙරිකානු ඩොලර් මිලියන 110 ක පිරිවැයකින් නිමවා ඇති මෙම චිත්‍රපටයේ ආදායම සති දෙකක කාලයකදී සිය පිරිවැයට ලඟා වෙමින් පවතී. IMDB දර්ශකයේ ලකුණු 7.1/10 ක් සටහන් කරන මෙය, රොටන් ටෝමාටෝස් හි සියයට 69ක්ද, මෙටාක්‍රිටික් හි සියයට 57ක්ද සටහන් කරයි. මෙම චිත්‍රපටය මිශ්‍ර සහ ධන ප්‍රතිචාර ලත් චිත්‍රපටයකි. මෙහි එන නිවහන ‘ඔ-මෙන්’ චිත්‍රපටයේ සුපිරි දරුවන් සඳහා වන නිවහනත්, හැරී පොටර් චිත්‍රපටයේ ඇති ‘මායාකරුවන් සඳහා වන හොග්වෝඩ්ස් පාසලත්’ සම්මිශ්‍රණයක් ලෙස ඇතැම් විචාරකයෝ දකිති. චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග ඉතා ඉහල මට්ටමක ඇති අතර සියල්ලන්ම සිය චරිත ලගන්නා ආකාරයෙන් රඟ දක්වන බවටත් තවත්, විචාරකයන් අදහස් දක්වා ඇත. කෙසේ නමුත් සමහරක් ආකර්ශනීය හැකියාවන් ඇති දරුවන් ගේ චරිත වලට ඉතා අඩු තිර කාලයක් ලබාදීම ගැන ඇතැම් විචාරකයෝ කනගාටු වෙති. මෙම චිත්‍රපටය ද ටීම් බර්ටන් ගේ අනෙකුත් චිත්‍රපට සේම මන:කල්පිත ලක්ෂණ වලින් සමන්විත වන අතර, ඔහුගේ ‘සුරංගනා කතා’ එකතුවට එක වන ආකර්ශනීය කතාවක් ලෙසත් විචාරකයෝ පවසති. මෙහි එන කතා නායකයා වන ‘ජේක්’ මීට වඩා ප්‍රාණවත් චරිතයක් වීම සුදුසු බව දක්වන ඔවුහු, ජේක් චිත්‍රපටයේ බොහෝ අවස්ථා වල කරන්නේ ප්‍රශ්න ඇසීම පමණක්ම බව හුවා දක්වති. එසේම සැමුවෙල් එල් ජැක්සන් විසින් රඟ දක්වන දුෂ්ටයා ගේ චරිතයද එතරම්ම ආකර්ශනීය නොවන බවත් ඔවුන්ගේ අදහසයි.
|



