වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මානය හිමිවීම ජීවිතයේ වටිනාම අවස්ථාවක්

සරසවිය සම්මානය හිමිවීම ජීවිතයේ වටිනාම අවස්ථාවක්

චන්න පෙරේරා පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ආදරය දිනූ පෙම්වතෙක්. රංගන ශිල්පියෙක් ලෙසින් කලා ක්ෂේත්‍රෙය් ගමන් ඇරඹූ ඔහු අද වන විට ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂවරයෙක්. චන්නගේ සිනමා ගමනය ආරම්භය වුණේ උණ්ඩය, තීර්ථ යාත්‍රා, වැනි චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වෙමින්. ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සටහන් කරන්නේ ‘අංජලිකා’ චිත්‍රපටය යි. 2006 වසරේ තිරගත වුණු එය මෙරට සිනමාවේ ප්‍රේක්ෂක ආකර්ශනය ඉහළින් දිනා ගත්තේ විචාරක අවධානයටද ලක් වෙමින්. මේ සමඟින් 2007 වසරේ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තෙත් ඔහු විසින්. එදා සුන්දර මතකය අද යළිත් චන්න සිහිපත් කළේ තවත් අලුත් නිර්මාණ කටයුත්තක් අතරමඟදීයි.

* එදා සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා ලෙසින් පිදුම් ලද අවස්ථාව අද ආයෙමත් සිහිපත් කරමු?

රංගන ක්ෂේත්‍රයට පැමිණීමේදී හොඳම නළුවාට කලින් ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ගන්න එක ඕනිම රංගක ශිල්පියෙකුගේ හීනයක්. ඒ වෙනකොටත් මම ටෙලි ක්ෂේත්‍රයේ පිටපිටම තුන්වරක් හොඳම නළුවා ලෙසින් සම්මාන ලබා ගෙන හිටියේ. මගේ ඊළඟ බලාපොරොත්තුව වුණේ සිනමාව. ඒත් එක්ක ජනප්‍රියම සිනමා නළුවාවීම මගේ හීනයක් වුණා. ක්ෂේත්‍රයේ තවත් අය ඉන්නවානේ. මටම හිමි වෙයි කියලා හිතන්න බැහැ. සම්මානය වෙනුවෙන් මගේ නම නිවේදනය කරනතෙක් මං හිතුවේ නැහැ. නමුත් එදා සරසවිය සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියම නළුවා ලෙසින් මගේ නම නිවේදනය කළාම පුදුම සතුටක් දැනුණේ.

* එදා සම්මාන උලෙළට ගියෙත් සම්මාන බලාපොරොත්තුවත් හිතේ තියාගෙන වෙන්න ඇති?

එහෙම නැහැ කිව්වොත් ඒක බොරු. ඇත්තටම මගේ යටි හිතේ එහෙම බලාපොරොත්තුවක් තිබුණා.

* ඒ කාලයේ ජනප්‍රියත්වය නිසාම අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

එහෙම සිදුවීම් නම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් මුලින්ම මතකයට එන්නේ බහරේන් සංචාරයකට දායක වූ අතරතුර සිදුවූ සිදුවීමක්. අපේ රටෙන් විදෙස් සේවයට ගිය තරුණියන් විශාල පිරිසක් එදා පැවති ප්‍රසංගයට ඇවිත් හිටියා. මම වාහනයෙන් බැහැලා ප්‍රසංගය පැවැති ශාලාව හරහා වේදිකාව වෙත යන්න සූදානම් වුණා. ඒත් මට අඩියක්වත් ඉස්සරහට නම් යන්න ලැබුණේ නැහැ. අර තරුණියන් මාව වටකර ගත්තා. අවසානයේදී මාව වේදිකාව වෙත කැඳවාගෙන ගියේ, පොලිස් නිළධාරින්ගේ සහායෙන්. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

* නළුවෙකුට ජනප්‍රිය නළුවෙක් වෙන්න වැඩියෙන්ම බලපාන කාරණා ගැන ඔබේ අදහස?

ඒක එකතරා විදියක වාසනාව වගේම කැපවීම මත සිදුවන දෙයක්. රංගන ශිල්පියෙක් වීම පෙර ආත්මයේ පතාගෙන එන දේ අනුව සිද්ධ වෙන දෙයක් කියලයි මම හිතන්නේ. විශ්වයේ ශක්තිය වගේම මම දෙවියන් ගැන විශ්වාස කරනවා. හැබැයි ඒක ආගම මත පදනම් වු එකක් නෙවෙයි. අපි පාලනය කරන යම් බලවේගයක් තියෙන බව මා විශ්වාස කරනවා. අපිට ඒ බලවේගයත් එක්ක එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. මේ හැම දෙයක්ම ලැබෙන්න එයත් හේතුවක්.

ඒ වගේම ජනතාවගේ ආදරයට පාත්‍රවීම තවත් වාසනාවක්. වාසනාව, කැපවීම වගේම තමන්ට ලැබෙන චරිතත් විශේෂ වෙනවා. ජනප්‍රිය වෙන චරිත හරහාත් ඒ නළුවා හෝ නිළිය ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වෙනවා. මට එවැනි චරිත සුලබව ලැබුණා කියා මා විශ්වාස කරනවා. ඒ චරිත රචනා කළ රචකයන්ට වගේම අධ්‍යක්ෂවරුන්ටත් ඒ ගෞරවය ලැබිය යුතුයි.

* සරසවිය ජනප්‍රිය නළු සම්මානය රංගනය ජීවිතයේ වෙනසක් කළාද?

සිනමාව වෙනුවෙන් වෙන්වුණ එකම ජාතික පුවත්පත වෙන්නේ සරසවිය පුවත්පත. සරසවිය සම්මානයක් හිමි වීම කලාකරුවෙකුගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක්. ඒ අතරේ ජනප්‍රියම නළුවා වීම ඒ වටිනාකම තව තවත් ඉහළ නංවනවා.

* සිංහල සිනමාවේ ඔබේ පළමු අධ්‍යක්ෂණය ‘අංජලිකා’ රසික ප්‍රසාදය වගේම විචාරක අවධානයටත් පාත්‍ර වුණා. ඒ තුළ යම් විශේෂත්වයක් තිබුණාද?

ඒක පිටුපස ලොකු කතාවක් තියෙනවා. මම රංගන ශිල්පියෙක් වුණෙත් ඕපපාතිකව නෙවෙයි. වේදිකා නාට්‍ය, රංගන වැඩමුළු හරහා පුහුණුව ලබමින් රංගනය පිළිබඳ විවිධ අධ්‍යයනවල නිරත වුණා. ඒවගේම මගේ රංගන හැකියාව වැඩිදියුණු කරගන්න මම ඉතා කැපවීමෙන් කටයුතු කළා. අධ්‍යක්ෂණයත් ඒ වගේම තමයි. මොකද මම ක්ෂේත්‍රයට පිවිසිලා නිකන් හිටියේ නැහැ. නිර්මාණයේ රූගත කිරීම් අතරතුර මට විවේකය ලැබුණත් වල්පල් දොඩමින් කාලය ගත කළේ නැහැ. අධ්‍යක්ෂවරයා රංගන ශිල්පීන් මෙහෙයවන ආකාරය, කැමරා ශිල්පියා කැමරාව මෙහෙයවන ආකාරය, ආලෝකකරණය සිදු වෙන්නේ කොහොමද මේ ආදි සියලු දේ පිළිබඳ දැනුවත් වුණා. මම රංගනයෙන් දායක වුණු ඇතැම් ටෙලි නාට්‍යවල සංස්කරණ මැදිරිවලට පවා මම ගියා. ඒ මට අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගන්න තිබුණු ආසාව නිසයි.

ඒ දැනුම ඔස්සේ 2000 වසරේදී මම මුලින්ම පුංචි වීරයෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා. ඒකත් ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා. ‘අංජලිකා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කලින් මම තවත් ටෙලි නාට්‍ය හතරක් පහක් විතර අධ්‍යක්ෂණය කරලා තිබුණා. මා සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත් කළේ ඒ ඔස්සේ ලද පන්නරය යි. සිනමාව හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර අතර වෙනසක් තිබුණත් ‘අංජලිකා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට මට කාර්මික අංශය ඇතුළුව සිනමාවේ සෑම අංශයක් පිළිබඳවම හොඳ දැනුමක් තිබුණා. නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙකුට එය ඉතාම වැදගත් දෙයක්.

‘අංජලිකා’ චිත්‍රපටය රචනා කළේ මමයි මහේෂ් රත්සර මද්දුම ආරච්චියි දෙන්නාම එකතු වෙලා. ‘අංජලිකා’ කතාව මගේ. ඒක මම මුලින්ම රචනා කරලා තිබුණේ ටෙලි නාට්‍යයකට. ඒක සිනමාවට ගේන්න මහේෂ් ලොකු දායකත්වයක් දුන්නා. අංජලිකා කියන චරිතය ගොඩනැඟුණේ මම දන්නා අඳුනන තරුණියකගේ චරිතයක් ඇසුරින්.

* මේ තරම් ජනප්‍රිය වෙන්න නළු හීනය දැක්කේ පුංචි කාලයේදිමද?

නළුවෙක් වෙන්න ආසාව ඇති වුණේ ඉස්කෝලේ දහය වසරේ විතර සිටියදී තමයි. ඊට පස්සේ ඒක පිස්සුවක් තරමටම වර්ධනය වුණා. පුංචි කාලේදීත් චිත්‍රපට බලන්න එක්කරගෙන යන්න කියලා අඬලා තාත්තාගෙන් ගුටි කාලත් තියෙනවා. ඒ වුණත් තාත්තා විදෙස් සංචාරවලට ගිහින් එනකොට මට ප්‍රොජෙක්ටර් එහෙම ගෙනත් දෙනවා. ඒ කාලයේදී මම චිත්‍රපට පෙන්වන්නත් ආසා කළා. කොහොම හරි අවසානයේදී හිතපු නැති විදියට මට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලයේ නළුවෙක් වෙනවා කියන එක පිස්සුවක් විදියට තමයි අනිත් අය හිතුවේ. ඒ අයගේ මතය වුණේ කලාකරුවන්ට අනාගතයක් නැහැ කියලයි. බැංකුවක රැකියාව පවා අතහැරලා මම ඒ අවධානාම ගත්තා. සාර්ථක නළුවෙක් වෙන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා. එහි ප්‍රතිඵල මට ලැබුණා.

* ඒ වෙනුවෙන් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නෙ?

ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට යනවිට කරදර බාධක දුක් කම්කටුළු එනවා. අනික බාධක ආවෙ නැත්නම් ජීවිතේ කිසි රහකුත් නැහැනේ. උපේක්ෂාවෙන් නොසැලී විශ්වාසයෙන් තමන්ගේ ගමන පැමිණියහොත් අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙකුට ඕනෑම ඉලක්කයක් ජය ගන්න පුළුවන්. මම කළේ ඒකයි. විශ්වාසය අතනොහැර තමන්ගේ හීනයේම ඉන්න ශක්තිය තියෙන කෙනාට ඒ හීනය ජය ගන්න පුළුවන්.

ඒ වගේම මම හෙමින් ගමනක් යන කෙනෙක්. චිත්‍රපටයක් කරන්න වුණත් වෙනත් කෙනෙකුට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒ මම ඉතාම පොඩි කාරණා ගැන පවා සැළකිලිමත් වෙලා, කැපවෙලා කටයුතු කරන නිසයි.

මොකද මට වුවමනා වෙන්නේ කරන දේ පොඩි වරදක්වත් නොවී හරියටම වැඩේ කරන්නයි. ඒ නිසා ගොඩක් නිර්මාණ කරන්න බැරි වුණත් කරන නිර්මාණ ඉතාම හොඳීන් කරන්න කැප වෙනවා.

දැනට මම චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ටෙලි නාට්‍ය දහයක් විතර අධ්‍යක්ෂණය කරලා තියෙනවා. චිත්‍රපට දහයක පහළොවක විතර වගේම ටෙලි නාට්‍ය සියයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ දවස්වලත් මම ‘එකයි දෙකයි තුනයි’ නමින් රහස් පරීක්ෂක ළමා චිත්‍රපටයක් නිර්මාණය කරගෙන යනවා. දැනට ක්ෂේත්‍රයට ඇවිත් ගත වුණු අවුරුදු විසිපහක විතර කාලය තුළ ලබා ගත් දේ ගැන තියෙන්නේ ලොකු සතුටක්.