වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ සැනසූ කුමාරයාට ඔබේ පිහිට ඕනෑ වෙලාවයි මේ

ඔබ සැනසූ කුමාරයාට ඔබේ පිහිට ඕනෑ වෙලාවයි මේ

සින්දු කියන්නේ බොහෝය. එහෙත් ගායකයන් ඇත්තේ අතළොස්සකි. ඔවුහු සින්දු ගායනා කරති. ඒවා අසා හුදී ජනයා සැනසෙති. වර්තමානය වන විට ගායකයන්ට වඩා සින්දු කියන්නන් වැඩිය. ඒ අයගේ ගීතය අපට අසන්නට සිදුවීම අප පෙර කලෙක කරනා ලද අයහපත් කර්ම විපාකයකි. එහෙයින් අපව පින වූ ගායක ගායිකාවන් නව ගීතයක් එළි දක්වන තුරු අපි බලා සිටින්නෙමු. ඔවුන් ගැන අවධානයෙන් ද සිටිින්නෙමු. ඒ ළබැඳි ගායකයන්ට හදිසියේ කුමක් හෝ විපතක් සිදු වුවහොත් ඒ ගැන අපි කම්පනයට පත් වන්නෙමු.

එම කාරණාව නැවත වරක් සත්‍යයක් බවට පත් වී ඇත. මේ දිනවල එක්තරා ගායකයකු වෙනුවනේ අපි අතිශය ශෝකයට පත්ව සිටින්නෙමු. ඒ අන් කවුරුවවත් නොව ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් දයාබරයා වෙනුවෙනි. ඔහු අසනීපව ඇති වග අපට ආරංචි වුණේ ඊයේ පෙරේදාය. එනමුදු ප්‍රින්ස් එම තත්ත්වයට පත් වී මෙම 17 වැනිදාට මාසයකි.

ප්‍රින්ස් අයියා ඉතාම හොඳින් තමන්ගේ ජීවිතය ගෙනිච්චා. හැබැයි අපේ අම්මා නැති වෙච්ච එකට නම් බොහොම දුකින් කල් ගත කළේ. කාලයක් එක්ක එය අමතක කරලා එදිනෙදා වැඩ කටයුතු බොහොම අපූරුවට කරගෙන ගියා. අයියා මේ තත්ත්වයට පත් වුණේ විෂ බීජයක් මොළයට ඇතුළු වුණ හින්දා. එයාට දියවැඩියාව තියෙනවා. එහෙම වුණාම ඉතාම ඉක්මනින් විෂ බීජ ශරීරගත වෙනවලු. ප්‍රින්ස් අයියාව අපි ඉක්මනට කරාපිටිය ඉස්පිරිතාලෙට ගෙනාවා. එහි දැඩි සත්කාර ඒකකයේ දවස් කිහිපයක් තියාගෙන ඉඳල නවලෝකෙට ගෙනාවේ.

ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප්‍රියංගිකා එලෙස අදහස් දැක්වීය. ඔහුව නවලෝකයට රැගෙන විත් මේ වන විට සති දෙකක් ඉක්මවා ගොසිනි. ප්‍රින්ස්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ නොයෙක් දෙනා නොයෙක් කතා කියති. කටකතා ද අනන්තවත් පැතිරී ගොසිනි. ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි දැන ගැනිමේ අටියෙන් අප ශිරෝනිගෙන් තවත් ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමු.

අද වන විට ප්‍රින්ස්ගේ තත්ත්වය කොහොමද?

ගෙනවා වගේමයි. ලොකු වෙනසක් නැහැ අයියගේ. හැබැයි එදාට වැඩිය අපි කියන දේවල් ඔහුට වැටහෙනවා. හ්ම්, හ්ම් කියලත් කියනවා. අයියගේ පැත්තක් පණ නැහැ. ඇවිද ගන්නත් බැහැ. ඇඳේ එහා මෙහා පෙරලෙන්නත් කාගේ හෝ උදව් ඕනෑ.

ඒ හැම දෙයක්ම එම විෂ බීජයෙන් වුණු බලපෑම්ද?

ඔව්. එහි ප්‍රභලත්වය හින්දා තමයි මේ සේරම.

ප්‍රින්ස් කෑම එහෙම කනවද?

අපි කැව්වා. නමුත් පැත්තක් අඩපණ නිසා කටේ ඒ පැත්තේ කෑම හිටිනවා. ගිලින්නට අපහසුයි. නමුත් දියර වර්ග දෙනවා.

වෛද්‍යවරු මොකද කියන්නේ?

ඔවුන් කියන්නේ එකම දෙයයි. අයියාගේ ඇඟෙන්ම ප්‍රතික්තිකරණය ඇතිවෙලා මේ රෝගී තත්ත්වය පහවන්න ඕනෑ. විෂ බීජ නාශක බෙහෙත් දෙනවා. අයියගේ හිත ශක්තිමක් කරන්න ඔහුට ඇහෙන්න අපි විවිධ දේ කියනවා.

දිනයක් කාලයක් නැතිද ප්‍රින්ස් යථා තත්ත්වයට පත්වන්න?

නැහැ. ඒ ගැන අහපුවම වෛද්‍යවරු හිනාවෙනවා විතරයි. ඇතැම් විට අයියා ඉතාම ඉක්මනින් සුව වෙන්නත් පුළුවන්. දීර්ඝ කාලයක් ගතවන්නත් පුළුවන්.

මේ වන විට ඔබලාට ආර්ථික අපහසුතා එහෙම ඇති?

කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. එහෙම අපහසුතා තියෙනවා. අපි මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. බොහොම සාමාන්‍ය මිනිස්සු. අයියා වුණත් කළේ සින්දු කියන එක විතරයිනෙ. මේ වන විට රෝහලේ බිල එන්න එන්න වැඩි වෙනවා. 100948803862 අංකයට ශිරෝනි ප්‍රියංගිකා කියන නමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ප්‍රින්ස් අයියා වෙනුවෙන් යම් මුදලක් බැර කරන්න පුළුවන් නම් මේ වෙලාවේ හුඟක් වටිනවා.

ප්‍රින්ස් ගැන නානා ප්‍රකාර කටකතා හැදෙමින් පවතිනවා. මටත් එවැනි කතාවක් දෙකක් අසන්නට ලැබුණා?

අනේ ඔව්. ඒ ගැන නම් කියන්නම ඕනෑ. එක දවසක් මං අයියට කෑම පිළියෙල කරගෙන එන්න ගෙදර ගියා. ගමේ කට්ටිය පිරිලා. මං ඇහැව්වා මොකද කියලා. අයියා නැති වුණා කියලා ආරංචි වුණාලු. ඒකට මේ ඇවිත් තියෙන්නේ. තව කතාවක් යනවා ප්‍රින්ස් අවුරුද්දක් එක්තැන් වෙලාලු, අයියව ඉන්දියාවේ අරගෙන ගිහිල්ලා කියලත් කතාවක් යනවා.

සමහර දේවල් මං තඹේකට මායිම් නොකොට බැහැර කරනවා. ඒත් ඇතැම් කතා මානසික වධයක්. මං මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන ගායකයාට පොඩ්ඩක් හරි ආදරෙයි නම් ඔවැනි කතා හදන එක නවත්වන්න. ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති වෙබ් සයිට්වල වාර්තා කරන එකත් හොඳ නැහැ නේද. අයියා වෙනුවෙන් හොද වෙබ් සයිට් හොඳ ප්‍රචාරයක් දුන්නා. ඒවා ගැන නෙවෙයි මං මේ කියන්නේ. අසත්‍ය කතා පතුරුවපු වෙබ්වලට.

ශිරෝනි කතාව එළෙසින් අවසන් කළාය. එයට ඌණ පූර්ණයක් සපයමින් අප පසුසටහනක් ද තැබීමට අදහස් කළෙමු. ඒ ප්‍රින්ස් ගැන තව බොහෝ දේ සටහන් විය යුතු බැවිනි. ප්‍රින්ස් යනු ඉංග්‍රීසි වචනයකි. තේරුම කුමාරයා යන්නයි. ඇත්තෙන්ම නමහි අර්ථය පරිදි ප්‍රින්ස් ගී ලොව කුමාරයෙකි. කෙනෙකුට පිය ගුණ ගීතයක් කියන්නට කිවහොත් මතක් වනුයේ සුදු මල් පොකුරක් ගීතය වේ. එය සංවේදීකමෙන් ප්‍රින්ස් ගයා තිබීම අප සිත් සතන් තුළ සදාතනික මතක සටහනක් බවට පත්වීමට හේතුවක් වී ඇත. එමෙන්ම සඳ කුමාරියක් දීගෙක යනවා, වෙරළ කොනක හිඳ, පෙම්වතුන් සිනාසේ, මා එදා කියූදේ, ඔබ හමු වූ දිනේ, ඔබ පෑ පෙම් සිනා, නෑසූ දෙසවනක් නැත. පසුකාලීනව රැල්ලට ගීත ගැයුවත් ප්‍රින්ස් තම අනන්‍යතාවය ඒ තුළ සටහන් කෙරුවේය.

අතිශය දුර්ලභ කටහඬකින් හෙබි ප්‍රින්ස්ව මේ වනතුරු අනුකරණය කිරීමට සමත් නොවීම විශේෂත්වයකි. නවකයින් තරඟවලදී විවිධ ගායකයන් අනුකරණය කළත් ප්‍රින්ස්ව අනුකරණය කළ අයකු නම් මේ වන විට නෙත ගැටී නොමැත. එවන් වූ වටිනාකමක් ඇති ප්‍රින්ස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරිම ඔහුගේ ගීත අසා සුළු මොහොතක් හෝ සැනසුන අපගේ යුතුකමකි. ප්‍රින්ස් වෙනුවෙන් ඔබ අදහන ආගමකට අනුව යමක් කළ හැකි නම් මේ මොහොතේ මිල කළ නොහැකි කාර්යයකි.

ප්‍රින්ස් ඔබට අපි ඉතාම ඉක්මන් සුවය පතමු.