වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ස්ටැන්ලි ලියනගේ වියෝ වී හෙටට සිවු වසරයි...

(බිරිය කාංචන මාලා මහවිතාන ලියූ පැදි පෙළක්)

සිවු වසරක් පුරා ගැලූ
සෝ තැවුල් ගල් වෙලා
සිතුම් සිතිවිලි සියුම්
පෑන් තුඩේ හිරවෙලා
තවම මා සොයන්නේ
ඔය සුවඳ හද අරා
මන්ද යැයි නොතේරේ
බැඳුනෙ පෙම භව පුරා
වසන්තය නිම වුණේ
අකල් සැඩ සුළඟ මැද
හේමන්තයත් නැත
ඉඩෝරය අඳුරු තද
සිසිල් සුව මදනලින්
වසන්තයෙ සරන්නට
එන්න පි‍්‍රයයානණේ
එන භවෙත් සඳ ළඟට

මම ඔයාගෙ කාංචු...

‘දූවිලි මල්’ අවසානය හොඳයි...

‘දූවිලි මල්’ ටෙලි නාට්‍යයේ අවසාන කොටසේ බාලුගේ හා අර්නල්ඩ් ගේ මිය ගිය දර්ශනය ඉතාමත් තාත්වික ආකාරයට රූපගත කිරීම ගැන එහි අධ්‍යක්‍ෂවරයාට අපගේ ප්‍රසංසාව හිමිවේ.
 

සරත් රණසිංහ

කපුකොටුව, මාළිඳ
 

උපන් දිනයට ජය...

මීගමුවේ ‘සෙන්’ එෆ්. එම්. නාළිකාවේ 08 වැනි උපන් දිනයට මාගේ උනුසුම් සුබ පැතුම්. සෙන් අධිපති ඇන්ටන් ඔගස්ටින් ජයමහ ඇතුළු කාර්ය මණ්ඩලයට ජය.
 

කැලිස්ටස්

වැලිහේන, දකුණ

ඔබ නැති මේ ලොව අඳුරුයි, පාළුයි...

නයන රමණීය දේහ විලාශයෙන් ද, අප්‍රමාණ රංගන කෞෂල්‍යයෙන් ද, ගාම්භීර ස්වරයෙන් හා ප්‍රඥාවෙන් ද, සිනමාව මතු නොව දේශයම ප්‍රභාවත් කළ සිනමා සක්විති මහා රංගධර ගාමිණී ෆොන්සේකා නැති ලොව සදා අඳුරුයි. සිනමාවේ ඔබේ අඩුව තවම එසේමයි.
 

ප්‍රේමසිරි නාරසිංහ

වල්පල, මාතර

‘හිරු’ ට ජයෙන් ජය...

හිරු නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍ය සහ අනෙකුත් වැඩසටහන් හරිම ෂෝක්. පත්තරේ විස්තරේ ගෙනෙන රංගන ද සිල්වා කදිමයි. එයට අමතරව ‘දෝණි’, ‘ආදරෙයි මං ආරෙයි’, ‘ජෝදා අක්බර්’, ‘සහේලි’, ‘වස්සානේ ප්‍රේමය’, ‘සුළඟ වගේ ඇවිදින්’, ‘චරිත තුනක්’ සහ ප්‍රවෘත්ති ඇතුළු සියලුම වැඩසටහන් ඉතාම නියමයි. ‘හිරු’ට සහ කාර්ය මණ්ඩලයට ජයෙන් ජය.

සරත් සේනාධීර

ජා-ඇල, කලඑළිය

සිනහවකට මං හරි ආසයි...

‘කඳුළු වලට වඩා ඔබේ සිනහවකට මං ආසයි’ නෙලූ අධිකාරි ගේ ගීතයට මං හරි ආසයි.
 

නන්දා ලියනගේ, නදීෂානි රාජපක්‍ෂ

මහවැව.

පැසසිය යුතු දහම් පණිවිඩයක්...

සෑම මසකම පොහොය දින විකාශය කරන ‘සිත නිවන කතා’ ටෙලි නාට්‍ය මාලාව අගය කළ යුතු කටයුත්තකි. වෙනත් නාළිකා පොහොය දින සුපුරුදු ටෙලි නාට්‍ය විකාශය කරන අතර ජාතික රූපවාහානිය රටට ආදර්ශයක් දෙමින් සමාජය යහමගට ගැනීම සඳහා දහම් පණිවිඩයක් ලබාදීම පැසසිය යුතුය.
 

දිනේෂ් ගුණසේකර

මාතර

අපත් ළමා කාලයට ගෙන ගියා...

‘හෝ ගානා පොකුණ’ ඇත්තටම අපවත් ළමා කාලයට ගෙන යන සුන්දර චිත්‍රපටයක්. සම්මාන ලැබිය යුතුම චිත්‍රපටයක්. දරුවො 18 දෙනාටත්, ඉන්දික පර්ඩිනැන්ඩුටත් යශොධරා, චමල් යුවළටත් මම සුබ පතනවා.


සුනිල් එම්. අබේරත්න

කඳවල, කටාන

අප ලබනා මානසික සුවය අප්‍රමාණයි...

පැරණි සිංහල චිත්‍රපට සිනමා ශාලාවලින් දකින්නට නැති අද වැනි යුගයක මෑතක සිට ජාතික රූපවාහිනියේ ‘රිදී නිම්නය’ තුළින් ඉතාම දුර්ලභ පැරණි චිත්‍රපට ගීත දර්ශන සමඟින් දකින්නට ලැබීමෙන් අප ලබන මානසික සුවය සහ සතුට අනන්තය, අප්‍රමාණය.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ

පදවන්නෙක් නැති බසයක්...

දැනට පැවැත්වෙන සමහර සිනමා සම්මාන උලෙළවල් පදවන්නෙකුත් නැති ඉදිරිපස රෝදවල හුලං බැහැපු පුද්ගලික බසයක් වාගෙයි මට නම් පෙනෙන්නේ

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

රුවන්ගේ වාසනාව

රුවන් හෙට්ටිආරච්චි මේ දක්වා ගයා ඇති ගීත සියල්ලම ඉතාමත් ජනපි‍්‍රයයි. මෙතරම් කෙටි කලකින් රසික, රසිකාවන් ඔබගේ සෑම ගීතයක්ම වැලඳ ගැනීම සැබෑ වාසනාවකි.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල

විචාරය නියම වෙලාවට...

කලකට පෙර ජයවිලාල් විලේගොඩ ගේ විචාර කියවා චිත්‍රපටය නැරඹීම රසිකයන්ගේ පුරුද්දක්ව තිබුණා. අදත් දිනපතා හා සති අන්ත පුවත්පත්වල චිත්‍රපට විචාර පළවෙයි. නමුත් ඒවා පළ වන්නේ චිත්‍රපටය ප්‍රධාන ශාලාවල පෙන්වා නිම වූ පසුවයි. ප්‍රමාදව කරන විචාර හරවත් නොවෙයි. ඒ නිසා චිත්‍රපටවල විචාර අදහස් පළ කිරීම ප්‍රධාන ශාලාවල එම චිත්‍රපටය පෙන්වන කාල සීමාව තුළ දීම කිරීම වඩාත් උචිතයි.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ,

නාපාන, ගුන්නෑපාන

S.M.S.

දැනට රෝගාතුරව සිටින ජනපි‍්‍රය ගායක පි‍්‍රන්ස් උදය පි‍්‍රයන්තට ඉක්මන් සුවය සහ සියලු දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබේවා.
 

සුජී

ගම්පහ

සෑම ඉරිදාවකම ස්වර්ණවාහිනියේ විකාශය වන ‘ගොළු තාත්තා’ ටෙලි නාට්‍යය කලකට පසු මා දුටු ඉතාම විශිෂ්ට ගණයේ නාට්‍යයකි. එහි අධ්‍යක්‍ෂ ඔක්ෂාන් විජේරත්නට මගේ හදපිරි ප්‍රණාමය.
 

රුවන් යසන්ත

හලපිට, කොඳුරාව

අයි. ටී. එන්. නාළිකාවේ විකාශය වන ‘වෙනස’ වැඩසටහන මිහිරියි. එය මෙහෙය වූ දෙදෙනා ගෙන් කෙනෙකු නැති වීම අමිහිරියි.
 

නයනතාරා එපිටවල

පන්නිපිටිය, කොට්ටාව

‘මීදුං අම්මා’ නාට්‍යය ටෙලි නාට්‍ය කලාවට ආලෝකයක්.
 

හරීන් පි‍්‍රයලාල්

පානදුර

‘ආදර වැස්ස’ ලස්සන ටෙලි නාට්‍යයක්. එහෙත් එහි නිළියන්ගේ ඇස් පාටකර වෙස් ගැන්වීම හරිම අවලස්සනයි. අඳින ඇඳුමේ පාටට නැතිව හැම කෙනාටම රෝස පාට ගෑම විහිළුවක් වගෙයි.
 

පසිඳු චමෝද්

උස්වැටකෙයියාව

‘මුතු වැස්ස’ ටෙලි නාට්‍ය කලාවට හානියක්. පටන් ගත්තෙ එක කතාවකින්. දැන් යන්නෙ වෙන කතාවකින්. කිසිම තේරුමක් නැති, කතාවක් නැති, කතාවක්. මුලින් සිටිය නළු, නිළියන් පවා දැන් වෙනස්. නරඹන්නන් මෝඩයන් කියා සිතනවා නම් එය වැරදියි. මෙයින් මුලා වන්නේ ඔවුන්ම බව කිවයුතුයි.
 

නොබර්ට් හෙට්ටිආරච්චි

යටිහේන, මල්වාන

0719538072 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්