වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සෝමදාස ඇල්විටිගල සැමරුම් ‘සිනිඳු සුදු මුතු තලාවේ’ ප්‍රණාම උලෙළ අද

මෙරට සංගීත ක්ෂේත්‍රයට අමරණීය සේවයක් ඉටු කළ සෝමදාස ඇල්විටිගල සංගීතවේදියාණන්ට ජාතියේ ප්‍රණාමය පළ කරනු වස් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී 'සිනිඳු සුදු මුතු තලාවේ' නමින් ප්‍රණාම උලෙළක් පැවැත්වීමට සෝමදාස ඇල්විටිගල පදනම මඟින් කටයුතු සංවිධානය කොට ඇත.

1925. 10. 01 වැනිදා වේයන්ගොඩ දී උපත ලද ඇල්විටිගල සූරීන් නුගේගොඩ ශාන්ත ජෝන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු පළමු ප්‍රසිද්ධ නිර්මාණයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූයේ 1952 වසරේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පබාවතී වේදිකා නාට්‍යය උදෙසාය. රොබින් තම්පෝගේ සුදෝ සුදු සිනමාපටය සමඟින් සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන හෙතෙම සත්සමුදුර, බිනරමලී, පාරාවළලු, බක්මහ දීගේ, වැලිකතර, සිහින ලොවක්, වල්මත් වූවෝ ආදී සිනමාපටයන් රැසක් සංගීතයෙන් රසවත් කළේය.

ඔහුගේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය ලෙසට සැලකෙන්නේ සත් සමුදුර චිත්‍රපටය වේ. ඒ වෙනුවෙන් ඇල්විටිගලයන් 1967 වසරේ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලබන ලදී. සිනිඳු සුදු මුතු තලාවේ, ආදර හැඟුම්, කන්ද උඩින් හද පායන ලීලා, මලින් මලේ රොන් පොපියන ඇල්විටිගලයන් නිර්මාණය කළ චිත්‍රපට ගීත අතර වේ. අන්න බලන් සඳ, මූදු පතුල යට ඉඳලා වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය ගීත ද නිම වූයේ ඔහු අතිනි.

කථානාද සිනමාවේ 69 හා චිත්‍රපට සංස්ථාවේ 44 වෙනුවෙන් සැමරුම් රැසක්

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවේ 69 වැනි සැමරුම සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ 44 වැනි ජන්ම දිනය මෙම වසරේ ජනවාරි 21 දිනට යෙදී තිබේ. එයට අමතරව දකුණු ඉන්දීය ගති ලක්ෂණවලින් පෝෂිත ලාංකේය සිනමාව එම ගති පැවතුම්වලින් මුදවාගෙන අපේ අනන්‍යතාවය ලොවට විදහා දක්වමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් රේඛාව නිර්මාණය කොට මෙම වසරට වසර හැටකි.

ඒ වෙනුවෙන් සමරු උලෙළක් ජනවාරි 21 දා උදැසන 9 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවත්වේ. එහිදී පළමුව පුෂ්පජිත් නිරෝෂන් ජයසිංහ විසින් සම්පාදනය කළ ජලයෙන් යට වූ ලින්චිගේ ලෝකය (ඩේවිඩ් ලින්චිගේ සිනමා භාවිතය පිළිබඳ ග්‍රන්ථය) එළිදැක්වේ. අනතුරුව ජාතික චිත්‍රපට සංස්ථාව නිර්මාණය කළ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් උපහාර ප්‍රදානයක් ද සිදු කෙරේ. එදින රාත්‍රී 9 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත් වෙනු ඇත.

ආදරවන්තයින්ගේ මාසයේදී සින්ඩ්‍රෙල්ලා කොටස් දෙකකින් යුත් චිත්‍රපටයක්

සුළං කිරිල්ලී සිනමාපටයෙන් පසු ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද අධ්‍යක්ෂණය කළ සින්ඩ්‍රෙල්ලා සිනමාපටය ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබෙන පෙබරවාරියේදී තිරගතවීමට නියමිතය. අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලි සුපෙම්වතුන් වන මෙය වෙනස්ම ආදර කතාවක් ඇතුළත් සිනමාපටයක් වේ. ඔවුන් දෙපොළ සමඟ බන්දුල විතානගේ, පුබුදු චතුරංග, ජයනි සේනානායක, ඉන්ද්‍රචාප ලියනගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, කුමා අත්තනායක, සමන් හේමරත්න, ක්‍රිස් හැරිස්, රිචඩ් මුන්ඩි, ඈන් මුන්ඩි, ලුඩ්මලා කිරිල්ලෝවා, කීත් ඇන්ඩෲ ඇතුළු පිරිස සින්ඩ්‍රෙල්ලා රංගනයෙන් හැඩ කරයි.

විධායක නිෂ්පාදනයෙන් ශංකි දන්දෙණිය, සංස්කරණයෙන් අජිත් රාමනායක, පසුබිම් සංගීතයෙන් නදීක ගුරුගේ මේ සඳහා එක් වී තිබේ.

සමන්ත වික්‍රමරත්න නිෂ්පාදන විධායකවරයාය. ප්‍රභාත් රෝෂන්, ජේ. රුවන්, ශානක බෝදියබදුගේ සහ චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරුන්ය. අරුණ ප්‍රියන්ත කළුආරච්චිගේ ශබ්ද සංයෝජනයකි. ප්‍රියන්ත වන්නිනායක අංග රචනා ශිල්පියාය.

සින්ඩ්‍රෙල්ලා ඉනෝකා සත්‍යාංගනීගේ නිෂ්පාදනයකි. සින්ඩ්‍රෙල්ලා කොටස් දෙකකට නිර්මාණය වූ සිනමාපටයකි. එයින් මෙලෙස තිරගත වනුයේ එහි පළමුවැනි කොටසයි. දෙවැන්න පළමුවැනි කොටස තිරගත කොට අවසන් වුණු පසුව එම මණ්ඩලයේම තිරගත වේ.

සනත් අබේසේකරගෙන් නව ආරයක චිත්‍රපටයක් ශ්‍රී දළදා ෆයිල් 99

නොනවත්වා ඓතිහාසික සිනමාපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර වෙනස්ම ආරකින් යුතු සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි. එය නම් කෙට ඇත්තේ ශ්‍රී දළදා ජ්ඪතඥ 99 යනුවෙනි. පොලිස් පරීක්ෂක කතාවක් ඇසුරෙන් නිර්මාණය වන එය ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. පාලිත සිල්වා, රොෂාන් රණවන, ඕෂධී හේවාමද්දුම, මහේෂි මධුසංකා, ගයේෂා පෙරේරා, නිරෝෂන් විජේසිංහ, හයිසින්ත් විජේරත්න, විශ්ව ලංකා ඇතුළු පිරිස චරිත මවන මෙහි තිර රචනය සනත් අබේසේකර විසින් නිම කරන ලදී. කතාව සහ උපදේශනාත්මක කටයුතු සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහගෙනි. තිර රචනා සහාය සහකාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව සහ දර්ශනී විජේසේකර කුමාරසිංහගෙන්ය.

ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන්ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන්ද. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වෙයි. අජිත් රාමනායකගේ සංස්කරණයකි. දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රියන්ත මද්දුමගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රියන්ත ඊශ්වර අංග රචනයෙන් ද මෙයට එක් වෙති. ශ්‍රී දළදා ජ්ඪතඥ 99 මාර්තු මාසයේ සිට රූගැන්වෙයි.

කමල්ගේ නැන්දණියගේ වියෝව

කමල් අද්දරආරච්චිගේ දයාබර නැන්දණිය මෙන්ම ඔහුගේ බිරියගේ මෑණියන් වූ සුමනා නිර්මලී සෙනෙවිරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 70 කි. සුමනා මහත්මියගේ අවසන් කටයුතු පසුගියදා බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.

රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගය හෙට

මෙරට ප්‍රථම නිළි රැජන සහ ගීත කෝකිලාව රුක්මණී දේවියගේ අනූ තුන් වැනි ජන්ම දිනය නිමිතිකර ගනිමින් සංවිධානය කළ 'රුක්මණී දේවී සැමරුම් ගී' ප්‍රසංගය මෙම මස 15 වැනිදා උදෑසන 9 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සමිති සම්මේලන ශාලාවේදී පැවැත් වේ.

ටවර් හෝල් රඟහල පදනමහි අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ පාලන, සංවර්ධන ලාල් රත්නවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහි මුඛ්‍ය දේශනය කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහගෙනි. ජගත් ලියනගේ සමඟ නෙළුම් කළුබෝවිල මෙම අවස්ථාව නිවේදනයෙන් මෙහෙයවනු ලබයි. සංගීතය මර්වින් ප්‍රියන්ත ප්‍රමුඛ වාදන වෘන්දයෙනි.

මෙය රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සංවිධානයකි.

ස්වර්ණ ගී උපහාර ප්‍රසංගය 16 වැනිදා

රුක්මණී දේවි වෙනුවෙන් සංවිධානය කළ අනුස්මරණ උලෙළ සහ 'ස්වර්ණ ගී' නම් වූ උපහාර ගී ප්‍රසංගය මෙම මස 16 වැනිදා සවස 4 ට පිළියන්දල නගර ශාලාවේදී පැවැත් වේ. මෙහිදී රූපා ඉන්දුමතී, අනුලා ගලගෙදර, සමන්ලතා හෙට්ටිආරච්චි, කාංචනා ප්‍රනාන්දු, කුමුදුනී අධිකාරී, ලක්ෂිකා ෆොන්සේකා, නිලුෂි හල්පිට, උර්ෂුලා උදුලාගම, කමනී ප්‍රනාන්දු, ජොයි ඇතුළු පිරිස ගී ගායනයෙන් එක් වෙති. යුග ගැයුම් නුවන් විජය ශ්‍රී සහ සිරිල් සුසන්තගෙනි. උදය කුමාර ඇල්පිටිය, ලලිතා අමරතුංග සහ මුදිත කැළුම් ඇතුළු පිරිස නර්තනයෙන් දායක වෙති. ධර්මපාල සුදුමල්කන්දගේ ගේ කතනයකි ඉන්දික ප්‍රමුඛ සිතාරා සංගීතයෙන් රස ගන්වති. මෙය ශ්‍රී ඩ්‍රීම්ස් රුක්මණී දේවි කලා ආයතනයේ ඉදිරිපත් කිරීමකි.

ශාන්ති නිකේතන් මිතුරු හවුලේ ‘රබී ඡායා’ සංස්කෘතික උළෙල

ශාන්තිනිකේතන් සරසවියේ ආදී සිසු, සිසුවියන් විසින් පිහිටුවාගත් මිතුරු හවුල විසින් සංවිධානය කරන රබී ඡායා සංස්කෘතික උලෙළ මේ වසරේ කොටස් දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි පළමු වැන්න ලෙසින් සංගීත සහ නර්තන උලෙළ ජනවාරි 17 වැනිදා සවස 6.30 ට බිෂොප් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියානු සහ ශ්‍රී ලාංකික සිසු, සිසුවියන් මේ සඳහා සහභාගී වේ.

දෙවැන්න ලෙස අන්තර්ජාතික චිත්‍ර කලා ප්‍රදර්ශනය පෙබරවාරි 02, 03 යන දෙදින තුළ උදෑසන 9.30 සිට සවස 6.30 තෙක් ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී ක් පැවැත්වේ.

මෙවර 'රබී ඡායා' ප්‍රසංගය සඳහා ඉන්දියානු ශිල්පීන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකික ශිල්පීන් සිව් දෙනෙකු සහභාගී වේ. ප්‍රකට තබ්ලා වාදන ශිල්පියකු වන මුකුන්ද් නාරායන් බෝල්, ප්‍රකට නර්තන ශිල්පියකු සහ නර්තන නිර්මාණ ශිල්පියකු වන උන්නත් එච්. ආර් සහ ප්‍රකට ගායිකාවක වන සුනීතා බෝල් රබී ඡායා සඳහා සහභාගී වන ඉන්දියානු ශිල්පීහු වෙති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ, තබ්ලා වාදන ශිල්පියකු, සංගීතඥයකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන පේෂල මනෝජ්, ගායිකාවක වන තිලිණි රුද්‍රිගෝ යාදෙව් සහ ගායකයකු වන මධුරංග සමරසිංහ රබී ඡායා ප්‍රසංගයට සහභාගී වේ.

රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ඉගැන්වීම් සැමරීම සහ ඉන්දියානු සංස්කෘතිකාංග පිළිබඳ කීම මේ සංස්කෘතික උළෙලේ එක් අරමුණකි. 2012 සිට ඇරැඹුණු ශාන්තිනිකේතන් මිතුරු හවුල ගුරුවරුන්, සිසුන් සමඟ එක්ව ඉන්දු-ශ්‍රී ලංකා පදනම විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය ආධාර යටතේ පවත්වා ගෙන යන්නකි.

අතුල හා නෙලූගේ මෑණියන් මියයයි

අතුල අධිකාරී සහ නෙලූ අධිකාරිගේ ආදරණීය මෑණියන් වූ ලලිතා අධිකාරි මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස ඇවුරුදු 74 කි. මාදම්පේ සුගතානන්ද සහ හලාවත ආනන්ද විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස ලලිතා මහත්මිය සේවය කළාය. ඇයගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල සුසාන භූමියේදී සිදු විය.

සබ්බ සකල මනා සෑම දිනකම

සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කළ හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමක් වන සබ්බ සකල මනා සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට ජාතික නාළිකාවේ විකාශය වේ. ගිරිරාජ් කෞශල්‍ය, දුලීකා මාරපන, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, පියුමි බොතේජු, ගයනා සුදර්ශනී, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රියංගා සෙනෙවිරත්න මෙහි චරිත මවති. ආචාර්ය ජගත් විජේනායක සබ්බ සකල මනා නිෂ්පාදනය කොට තිබේ.