වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




දුරු රටක සිට ලංකා රේඩියෝවෙන් අපේ රට ගැන කියන රංජන්

දුරු රටක සිට ලංකා රේඩියෝවෙන් අපේ රට ගැන කියන රංජන්

අපේ රටේ වතගොත පිළිබඳ රටටම කියන ගුවන් විදුලි නිවේදකයෝ අද ඕනෑ තරම් ඉන්නවා. නමුත් විදේශයක සිට අපේ රට ගැන ලොවටම ඇහෙන්න කතා කරන ගුවන් විදුලි නිවේදකයෝ දුර්ලභයි. මේ එවැනි පුද්ගලයෙක්. නමින් රංජන් ධර්මරත්න වන ඔහු ජර්මනියේ සිට Radio Darmstudt  ගුවන් විදුලි නාලිකාව හරහා ලංකා රේඩියෝ නම් වැඩ සටහන මඟින් එෆ් එම්. තරංග මාලා 103.4 MH2  ඔස්සේ අපේ රට ගැන මුළු ලෝකයටම ඇහෙන්න කතා කරයි. ඔහු නිවාඩුව ගත කිරීම සඳහා ලංකාවට පැමිණි අව්ස්ථාවේ සරසවිය සමඟ කළ පිළිසඳරකි මේ.

'ලංකා රේඩියෝ' නමින් වැඩසටහනක් ජර්මනියේ ආරම්භ කරන්න හිතුවේ ඇයි?

මම ලංකාවේ ඉන්න කාලයේ සිටම ගුවන් විදුලි නිවේදකයෙක් වෙන්න හීන මැව්වා. ඒ සිහිනයට අවස්ථාවක් ලැබුණේ ජර්මනියට ගියාට පසුයි. ඒ ලැබුණු අවස්ථාවේ මම ඉපදුණු හැදුණු වැඩුණු සුන්දර ලංකාව ගැන වැඩසටහනක් කරන්න අදහස් කළා. එහි ප්‍රතිඵලය හැටියටයි 'ලංකා රේඩියෝ' නමින් වැඩසටහනක් ආරම්භ වුණේ.

ලංකා රේඩියෝ වැඩසටහනෙහි මෙනවා ගැන ද ඔබ කතා කරන්නේ?

ලංකාවේ සුන්දරත්වය ගැන ස්වභාවික පිහිටීම, සංචාරක ස්ථාන, පෞරාණික සිද්ධස්ථාන, දළදා පෙරහැර, වෙසක් උත්සවය, කලාකරුවන්, සංගීතඥයින්, චිත්‍රපට අධ්‍යක්ෂවරු, තානාපතිවරු ආදී රටට වැඩදායි දෙයක් කරපු අය ගැන කතා කරනවා. සිංහල ගීත ප්‍රචාරය කරනවා. අලුත් චිත්‍රපට ගැන ඒවායෙහි අධ්‍යක්ෂවරු සමඟ පිළිසඳරක යෙදෙනවා. මේ වගේ විවිධ මාතෘකා ඔස්සේ වැඩසටහන් පැය දෙකක් පුරා ගලාගෙන යනවා. ඒ වගේම ජර්මනිය පිළිබඳවත් කතා කරනවා.

සිංහල භාෂාවෙන් ද ඔබ වැඩසටහන මෙහෙය වන්නේ?

ඔව්. සිංහල වගේම ජර්මන් භාෂාවත් කතා කරනවා.

දැනට කොපමණ කලක් ද වැඩසටහන පටන් අරන්?

අවුරුදු පහක් විතර වෙනවා. දැනට වැඩසටහන් හයසීයක් පමණ කරලා තිියෙනවා.

වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

ලැබෙන ප්‍රතිචාර බොහොම ඉහළයි. ජර්මනියේ, ඉතාලියේ, ප්‍රංශයේ, ඕස්ට්‍රේලියාව, එංගලන්තයේ, මැද පෙරදිග වැනි රටවල පදිංචි වී සිටින ලාංකේය මිනිසුන්ගෙන් ගීත ඉල්ලීම් පවා ගොඩාක් ලැබෙනවා.

ජර්මන් ජාතිකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවාද?

ඔව්. ලංකාවට කැමැති ජර්මන් ජාතිකයෝ, මගේ යහළුවෝ වැඩසටහන ගැන අගය කරනවා.

වැඩසටහන විකාශය වෙන්නේ කවදාද?

මේක සජීවී විකාශය වෙන්නේ සෑම සතියකම සෙනසුරාදා ජර්මන් වේලාවෙන් ප. ව. 1.00 සිට 3.00 දක්වාත්, ලංකා වේලාවෙන් ප. ව. 4.30 සිට 6.30 දක්වාත් විකාශය වෙනවා. මෙහි පටිගත කිරීම ඉරිදාට බර්ලින්වල හි ජර්මන් වේලාවෙන් ප. ව. 5.00 ක් මෙහේ වේලාවෙන් ප. ව. 8.30 ටත් ප්‍රචරය වෙනවා.

ඒ වගේම ලන්ඩන්වල සෑම බ්‍රහස්පතින්දාවකම www.pawraradio-com  හි ජර්මන් වේලාවෙන් රාත්‍රී 9.00 ටත් ලංක වේලාවෙන් රාත්‍රී 10.30 ටත් ප්‍රචාරය වෙනවා. ඒ වගේම සෑම සිකුරාදාවකම ලන්ඩන් වෙලාවෙන් සවස 5.00 ටත්, ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30 ටත් ලංකා රේඩියෝ වැඩසටහන ප්‍රචාරය වෙනවා.

මීට අමතරව ලංකා රේඩියෝවේ පෙර වැඩසටහන් අපට අසන්න ක්‍රමයක් නැත්ද?

තිබෙනවා. අන්තර් ජාලය ඔස්සේ www.mixcloud.com/lankaradio වෙබ් පිටුවෙන් ඕනෑම වේලාවක අහන්න පුළුවන්.

ඒ වගේම facebook.com/lankaradio හරහා සජීවීව අපත් සමග ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඔබ මෙතෙක් කල් සිදු කළ වැඩසටහන්වල විශේෂ අවස්ථා ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

වික්ටර් රත්නායන, එඩ්වඩ් ජයකොඩි, රෝහණ බැද්දගේ, රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, ධර්මසිරි බණ්ඩාරනායක, මාලිනී ෆොන්සේකා, ප්‍රසන්න විතානගේ, අරුණ ගුණරත්න, චන්න විජේවර්ධන, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ, නෙදර්ලන්තයේ ශ්‍රී ලංතා තානාපති බුද්ධි අතාවුද හා ජර්මනියේ ෆ්රෑන්ක්පර්ට් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා මෙහෙයවලා තියෙනවා. ජෝ අබේවික්‍රම, එච්. අර්. ජෝතිපාල, විජය කුමාරතුංග, කරුණාරත්න අබේසේකර, ගුණදාස කපුගේ, බණ්ඩාර අතාවුද වැනි අයට විශේෂ උපහාර වැඩසටහන් විකාශය කරලා තියෙනවා.

ජර්මනියේ සිට ලංකාවේ වත ගොත ගැන ලංකා රේඩියෝව කරන්න ඔබට සහාය වෙන්නේ කවුරුන්ද?

ආරාධිත නිවේදිකාවක් ලෙස තුෂාරි මා සමඟ එකතු වෙනවා. මීට අමතරව පිටපත් රචනයෙන් ලංකාවේ මගේ මිත්‍රයන් සහාය වෙනවා. නාලිකාවේ විකාශය කටයුතුවලට ජර්මන් මිත්‍රයෝ මට සහාය වෙනවා. ඒ සැමටම මම මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා.

ඔබ වෘත්තියෙන්ම ගුවන් විදුලි නිවේදකයෙක්ද?

නැහැ. මම වෘත්තියෙන් සංචාරක ආයතනයක නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙස කටයුතු කරනවා. විනෝදාංශයට ගුවන් විදුලි නිවේදකයෙක් වෙනවා.

ඉදිරි බලාපොරොත්තු?

ලංකා රේඩියෝවෙන් රටට වැඩදායි ඵලදායි යමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු වේවා කියා සරසවිය අපි ඔබට ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.