වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්කෘතික පුනරුදයට කලා ප්‍රතිපත්තියක්

සංස්කෘතික පුනරුදයට කලා ප්‍රතිපත්තියක්

ශී‍්‍ර ලාංකේය සංස්කෘතික පුනරුදයක් උදෙසා ජාතික කලා ප්‍රතිපත්තියක් වෙනුවෙන් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය පියවර ගෙන තිබේ. සංස්කෘතිය සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සහ ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව සාකච්ඡා කිරීම මෙන්ම ඒ වෙනුවෙන් කලාකරුවන් එකමුතු කිරීම වෙනුවෙන් පසුගිය 07 වැනිදා සන්ධ්‍යායාව වෙන් කෙරිණි. ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී මේ වෙනුවෙන් වූ උත්සව අවස්ථාවට කලාකරුවන් රැසක් සහ කලාවට හිතැති සහෘදයන් රැසකගේ සහභාගීත්වය ලැබුණි.

මෙම අවස්ථාවේදී මෙරටට පරිවර්තීය සංස්කෘතික ප්‍රතිපත්තියක අවශ්‍යයතාව, යෝජිත ප්‍රතිපත්තියේ පරිදර්ශනය, කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියට යෝජිත ප්‍රමුඛ ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත් කෙරිණි. කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය මේ වෙනුවෙන් ඇපකැප වී සිටින්නේය. කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය යනු පාර්ලිමේන්තු පනතක් මඟින් බලාත්මක කිරීමේ අරමුණ ඇතිව නව කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති යෝජනාවලියක් සම්පාදනය කිරීම වෙනුවෙන් ජනතාව අතරට යන කලාකරුවන් සහ බුද්ධිමතුන්ගේ ස්වාධීන එකමුතුවකි. ජ්‍යෙෂ්ඨ කලාකරු පරාක්‍රම නිරිඇල්ල සහ සංස්කෘතික කි‍්‍රයාධර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් මෙහි මූලිකත්වය ගෙක කි‍්‍රයා කරයි.

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් යෝජිත ප්‍රමුඛ ක්ෂේත්‍ර වෙත මෙහිදී අවධානය කෙරේ. ඒවා නම්,

01. කලාව හා සංස්කෘතියේ භූමිකාව - කලාව හා සංස්කෘතිය ජනතාවගේ හා ජාතියේ සංවර්ධනයේ කේන්ද්‍රය භූමිතාවක් ඉටු කරන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම.

02. සංහිඳීයාව සහ සමාජ සංස්කෘතික අන්තර්කරණය - පශ්චාත් යුධ සමයේ කලාව හා සංස්කෘතිය නිසි ලෙස ස්ථානගත කිරීම.

03. රාජ්‍ය සංස්කෘතික ආයතන හා යටිතල ව්‍යුහ ප්‍රතිසංස්කරණ - මෙරට ජනතාවගේ සංස්කෘතික ශක්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රාජ්‍ය සංස්කෘතික ආයතන පුනරීක්ෂණය කිරීම හා පරිවර්තනය කිරීම.

04. කලාත්මක නිදහස - කලාත්මක නිදහස පරම හා මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කිරීම.

05. සංස්කෘතික අරමුදල් හා ශක්්‍යතා - කලා හා සංස්කෘතික කටයුතු උදෙසා අරමුදල් රැස්කිරීම ක්‍රමවත් හා වැදගත් කොට සළකන මූලධර්මයන්ට හා භාවිතාවන්ට කැපවීම.

06. කලා අධ්‍යාපනය - කලා අධ්‍යාපනය සඳහා පර්යේෂණ කිරීම සහ ඒ සඳහා ආයෝජනය.

07. කලාව හා සංස්කෘතිය තුළ ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය - ශී‍්‍ර ලංකාවේ හා ශී‍්‍ර ලාංකික කලාකරුවන්ගේ ජාත්‍යන්තර සංස්කෘතික ප්‍රතිරූපය, භූමිකාව හා හිමි ස්ථානය පරිවර්තනය කිරීම, ශක්තිමත් කිරීම හා ආයෝජනය.

08. සාම්ප්‍රදායික කලා හා ශිල්ප කළමනාකරණය - කලාව හා සංස්කෘතික සංරක්ෂණය කිරීම රජයේ වැදගත් හා වෙනමම වගකීමක් ලෙස හඳුනාගැනීම.

9. කලා හා සංස්කෘතික විශිෂ්ටතම භාවිතා - කලාව හා සංස්කෘතිය අරබයා ‘විශිෂ්ටතම භාවිතා’ යනුවෙන් සංකල්පයක් හඳුන්වා දී, ඒවායේ භාවිතය හා සංවර්ධනය සඳහා ආයෝජනය යි.

මෙරට ජනතාවගේ සංස්කෘතික විඥානය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය දෙවසරක කාලයක් ඇතුළත විශේෂ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ,

01 ප්‍රතිගාමී, පරිග්‍රාහක සහ විපර්යකාරක ජාතික කලා සහ සංස්කෘතික ප්‍රතිපත්ති යෝජනාවක් පුළුල් මත විමසුම් ක්‍රියාවලියක් ඔස්සේ ගොස් කෙටුම්පත් කරමින්, අවසාන කෙටුම්පත ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට භාරදීම.

02 රාජ්‍ය කලා හා සංස්කෘතික ආයතන සඳහා විස්තරාත්මක ප්‍රතිසංස්කරණ යෝජනා සම්පාදනය කොට, සම්පූර්ණ කළ ආයතනික ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ජනපතිතුමාට සහ ආණ්ඩුවට ඉදිරිපත් කිරීම.

03 ශී‍්‍ර ලාංකික ජනතාවගේ සංස්කෘතික විඥාණය පුළුල්කර කලාව හා සංස්කෘතිය ඔවුන්ගේ පෞද්ගලික හා සමාජ ජීවිතයේ ප්‍රමුඛ ස්ථානයකට ගෙන ඒම උදෙසා අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම.

04 පවතින අධ්‍යාපන ක්‍රමය තුළ විචාරාත්මක සංස්කෘතික අධ්‍යපනයට ප්‍රමුඛත්වය දීම සඳහා මැදිහත් වෙමින් සංස්කෘතික වශයෙන් වඩාත් ඒකාබද්ධ වූ අනාගත පරපුරක් බිහිකිරීමට දායක වීම.

05 සමාජ සාධාරණත්වය සහ සමාජ ඒකාබද්ධතාව මෙන්ම විපරිවර්තනය සහ යහපාලනය උදෙසා සංස්කෘතික පදනමක් වශයෙන් ‘යහජීවනය’ පිළිබඳ දැක්මක් ශී‍්‍ර ලාංකික සමාජයට ලබාදීම.

06 කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සංවර්ධනය මෙන්ම දකුණු ආසියානු කලාපයේ සංස්කෘතික අයිතීන් පිළිබඳ තේමා අළලා කෙරෙන විපර්යකාරක කලාපීය සංස්කෘතික සංවාදයකට මුලපිරීම.

07 ජාතික මට්ටමේ තීරක කි‍්‍රයාදාමයක් තුළ කලාත්මක ප්‍රදානයන් සහ සංස්කෘතික සංවේදනයන් නිරතුරුව අන්තර්ග්‍රහණය වීම සහතික කරනුවස් හඬ නැගීම සහ මැදිහත්වීම.

08 ශී‍්‍ර ලාංකේය කලාකරුවාගේ, කලාවේ සහ කලා කර්මාන්තයන්ගේ ප්‍රතිරූපය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම

09 ශී‍්‍ර ලංකාවේ මෙම සංස්කෘතික මුලපිරීමට ජාත්‍යන්තර අවධානය යොමු කරවා ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම යන කාරණ ඉටු කිරීමට අපේක්ෂිතය.

ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීමේ ඒකකය හා අධ්‍යාපන ප්‍රවර්ධන කමිටුව කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය කි‍්‍රයා අංශ දෙකකින් යුතු වේ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීමේ ඒකකයේ සභාපතීත්වය දරණ අතර පරාක්‍රම නිරිඇල්ල විසින් අධ්‍යාපන ප්‍රවර්ධන කමිටුව කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකයේ සභාපතීත්වය දරනු ලබයි. මෙම කි‍්‍රයා අංශ දෙකට පිටුබලය දීම සඳහා පරිපාලන අංශයක්ද වේ. එය සිය කාර්ය කටයුතු සහ පර්යේෂණ සඳහා අවශ්‍ය වෘත්තික පිටුබලය සහකාරක විද්වතුන්ගෙන් සහ උපදේශකවරුන්ගෙන් ලබාගනී. උපදේශක මණ්ඩලය, ස්වේච්ඡා කණ්ඩායම, කි‍්‍රයාකාරී කණ්ඩායම් සහ ජාත්‍යන්තර වශයෙන් සහය දක්වන්නන් ආදී වශයෙන් මෙම ඒකකයට අනුබද්ධ වූ අනුකණ්ඩායම්ද වේ.

මෙම දෙවසර ඇතුළත ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික නවෝදයක් ඇති කිරීමත් පුරවැසි යහජීවනයට අවශ්‍ය මූලිකාංග ක්‍රියාත්මක කරවීමත් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකයේ බලාපොරොත්තුවයි. ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ කි‍්‍රයාවලිය අතරතුර අදහස් දැක්වීම සඳහා එය අන්තර්ජාලයේ විවෘතව පවතී. විද්යුත් ලිපිනය - [email protected]