වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘හෝ ගානා පොකුණ’ ළමා චිත්‍රපටයක්ම නෙවෙයි

ළමා චිත්‍රපටයක්ම නෙවෙයි

ඉන්දික ෆර්ඩිනැන්ඩු වෙනස් සිනමා කතිකාවක

වැඩිහිටි ප්‍රේක්ෂකයන් හට මහත් ආශ්වාදයකින් හා ළමා ළපටින්ට තලු මරමින් රස විඳිය හැකි අපූරු සිනමා සිත්තමක් නැරඹීමේ භාග්‍ය දැන් ඔවුනට උදා වී තිබේ. එය භාග්‍යයක් යැයි මා සඳහන් කළේ වර්තමානයේ ප්‍රදර්ශනය වන ඇතැම් චිත්‍රපට නරඹන විට එය පූරුවේ කරුමයකැයි අපට සිතෙනා බැවිනි.

ඒවා විවේචනය කිරීම හෝ හෙළා දැකීම පසෙක ලා, අඳුරේ ගිළී තිබෙනා සිනමාව ඒකාලෝක කරමින් පහන් වැටියක් දල්වන්නට ‘හෝ ගානා පොකුණ’ අධ්‍යක්ෂවරයා සමත්ව ඇති වග පැවසීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

‘හෝ ගානා පොකුණ’ හරහා සැබෑ සිනමාරූපී අත්දැකීමක් අපට සමීප කළ එහි අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු අප හා මෙසේ සංවාදයකට එක්වන්නේ අනාගත සිනමාවේ පරමාදර්ශී පෙරගමන්කරවකු විලසිනි.

‘හෝ ගානා පොකුණ’ හොඳ චිත්‍රපටයක් කියන තැන තමයි ප්‍රේක්ෂක, විචාරක දෙපාර්ශවයම ඉන්නේ. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම දිනාගත් චිත්‍රපටයක් බවටත් මෙය පත්ව තිබෙනවා. මේ සාර්ථකත්වය පිළිබඳ මොකද හිතෙන්නේ?

මේ වන විට ඇත්තටම ආරම්භයේ තිබුණාට වඩා ප්‍රේක්ෂක සහසභාගිත්වය දෙගුණ, තෙගුණ වෙලා තියෙනවා. චිත්‍රපටය ගැන බොහොම සුබවාදී කට කතාවක් ප්‍රේක්ෂක ජනතාව, රසික ප්‍රජාව අතර තිබෙනවා. මම හිතනවා ඒ ව(ර්)ඩ් ඔෆ් මවුත් කියන එක කොහොමටත් ඕනෑම දෙයක් ප්‍රචාරණය කරන්නට පුළුවන් ප්‍රබල මාධ්‍යයක්. එතනින් එහාට විචාරක පාර්ශවයෙන් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් අතිශයින් සාධනීයයි.

ඔවුන් විවිධ මානයන්ගෙන් මේ චිත්‍රපටය විග්‍රහ කර තිබුණා?

මම දැක්කා විවිධ පුවත්පත්වල නොයෙක් ආකාරයේ විචාර ලිපි පළ වී තිබුණා. සමාජ ජාලා වෙබ් අඩවි, බ්ලොග්ස් ආදියෙන් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් චිත්‍රපටය විචාරයට බඳුන් කර තිබුණා. ඒ හැමෝගෙම පොදු නිරීක්ෂණ තිබුණා. එකක් තමයි මෙය ළමා චිත්‍රපටයක් පමණක් නොවේය කියන එක. ඇත්ත වශයෙන්ම ඒක මට අවශ්‍ය වෙලා තිබිච්ච දෙයක්.

ඔබ ජාත්‍යන්තර සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබනවා. හොඳම ළමා චිත්‍රපටය, හොඳම ළමා රංගනය හැටියටයි මේ සම්මානයන්ට පාත්‍ර වන්නේ. එතකොට ඔබ කියන්නේ මෙය ළමා චිත්‍රපටයක් නෙවෙයි කියලාද?

ළමා චිත්‍රපටයක් පමණක්ම නෙවේ. ඒ කියන්නේ මම මේක ඇතුළේ ආඛ්‍යාන ධාරනාවන් කිහිපයක් හසුරවනවා. ළමයින්ට ගෝචර වන එක් ආඛ්‍යාන ධාරාවක් තියෙනවා. ඒ එක්කම පොදුවේ ලාංකේය ජන සමාජය එක්ක බෙදා හදා ගන්න මට කරණාවන් කිහිපයක් තියෙනවා. අපේ දේශපාලන අරගලය කියන එක පිළිබඳ අපි නැවත සිතිය යුතුයි කියන තැන මම ඉන්නවා. ලංකාව නිදහස දිනා ගැනීමෙන් පසු නිෂ්පාදනය කරන්නට හැදූ සියලුම දේශපාලන අරගල පාහේ අසාර්ථක වෙලා තියෙනවා.

නිෂ්පාදනය කියන වචනයයි ඔබ භාවිතා කරන්නේ?

සමාජයක් විදිහට මම කියන්නේ අරගලයක් නිෂ්පාදනය කරන්න ඕනෑ සමාජය විසින්. අරලගය නිර්මාණය කිරීමක් නෙවෙයි. ඇත්තටම ඒක සමාජය විසින් කරන නිෂ්පාදනයක්. මම කියන්නේ ඒකට නිර්මාණය කියන වචනෙත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක බලගතු නිෂ්පාදනයක්. ප්‍රඩක්ට් එකක්. එතකොට මේ අරගලය සමාජය සමඟ සමාන්තරව ගමන් නොකිරීම නිසා අසාර්ථක වුණ අවස්ථා ගොඩක් තියෙනවා. අපි 71 අරගලය ගත්තත් 88, 89 අරගලය ගත්තත් උතුරේ අරගලය ගත්තත් ඒ සියල්ල අසාර්ථක වෙනවා.

ඇයි එහෙම වෙන්නේ?

එක් ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒවා ජනතාව විසින් එක හෙළා ඉල්ලා සිටින අරගල බවට පත් නොවීම. ඉතින් මට හිතෙන්නේ දැන් අපිට සිද්ධ වෙනවා ජනතාවගේ ජිවිතය වඩාත් සුඛිත, මුදිත කිරීම සඳහා සුබසාධක රාජ්‍ය විසින් ඉටු නොකරන දේවල් ලබා දීම සඳහා කෙරෙන අරගලවලදී ජනතාවගේ සෘජු සහභාගිත්වය ලබා ගන්න. එහෙම අරගල තමයි දිනන්න පුළුවන් වෙන්නේ.

ඔබ ඔය කියපු තරම් ගැඹුරු දේශපාලන දහමක් මේ චිත්‍රපටය හරහා පිළිබිඹු වෙන්නේ නෑ මම හිතන්නේ?

මේ චිත්‍රපටයේ ධාරනාවන් කිහිපයක, තල කිහිපයක සංකලනයක් තියෙන්නේ. ඉතා සරලව කිව්වොත් අපි යම්කිසි තනි පුද්ගල චරිතයක් මත අපේ විමුක්තිය රඳා පවතින බව විශ්වාස කළොත් ඒක බරපතල වැරැද්දක්. අපි එදා හිටපු රජවරුන්ගේ ශ්‍රී විභූතිය ගැන කතා කරනවා. මෑත යුගයේ දේශපාලන චරිත වන්දනාමාන කරනවා. අපි හැම විටම කතා කරන්නේ යම් තනි පුද්ගල චරිතයක් සම්බන්ධයෙන්.

එය නොවිය යුතු දෙයක් කියා ද ඔබ කියන්නේ?

නෑ, අපි මේ මොහොතේ යම්කිසි විදිහකට අත් විඳිමින් ඉන්නවා කියා සිතනවා බාහිර තනි පුද්ගල වීරත්වය මත යැපීම නිසා ඇති වූ ප්‍රතිවිපාක. ඒ කියන්නේ අපේ විමුක්තිය වෙනත් කෙනෙකුට බාර දී නිශ්ක්‍රීයව බලා සිටීමේ ප්‍රශ්නය. අපි තුළ ඉන්න වීරයන් අමතක කරලයි වෙනත් වීරයන් මත අපි යැපෙන්න හදන්නේ. මම කියන්නේ අපි හැමෝටම වීරයන් ඉන්නවා. නමුත් ඒ කිසියම් විදිහක අනුප්‍රාණයක් ලබාගන්නයි. ඔවුන් මත යැපෙන්න නෙවෙයි අපට වීරයෝ අවශ්‍යය කරන්නේ. දැන් සිනමාවේ නාට්‍යය කලාවේ සහ පෞද්ගලික ජිවිතයේ මට වීරයෝ ඉන්නවා. හැබැයි ඔවුන් මත යැපෙන එක හෝ ඔවුන්ගේ කාබන් කොපි වීම නෙවෙයි මගේ ජීවන අරමුණ. මම හිතන්නේ අපි සියලු දෙනා තනි තනිව අදීනව මිනිස්සු විදිහට නැගී සිටින්න අවශ්‍ය කරන ඒ වීර පෞරුෂය අපි හදා ගන්න ඕනැයි කියලා.

ඒත් හැමෝටම පුළුවන් ද වීරයෝ වෙන්න?

මම කියන්නේ කොයි අර්ථයෙන් ද වීරයෝ වෙන්න බැරි කියන ප්‍රශ්නය. දැන් හැමෝටම ලෙජන්ඩ්ස් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුරාවෘත්ත නිර්මාණය කරන්නන් බවට පත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩුම තරමින් මට මගේ වීරයා බවට පත් වෙන්න බැරිද? ඒ වීරත්වය කියන එකට වෙන විදිහේ අර්ථ නිරූපණයකුයි මම කරන්නේ. ඒ වීරත්වය කියන්නේ සුරංගනා කතාවල, පුරාවෘත්තවල එහෙම නැතිනම් සුපිරි වීර කතාවල ඉන්න වීරයෝ නෙවෙයි. අපේ ජීවිත වඩා ඉහළට ඔසවා තැබීමේ කර්තව්‍යයේදි, ඒ මෙහෙයුමේදී මා හිතනවා මා කියන වීරයා මගේ ජීවිතය ඔසවා තබන්නට තීරණාත්මක සාධකයක්. දැන් අපි රටක්, ජාතියක් වශයෙන් කොච්චර දුරට සාමුහිකද? ඒ අතින් ගත්තොත් හරිම ගැටලුකාරි ඉරණමක් අපිට තියන්නේ. ඉතින් එතනදි මම හිතනවා අපිට අප තුළ තිබෙන වීරත්වය අවදි කර ගන්න පුළුවන් නම් අපට පුළුවන් වෙනවා සාමුහික වීරත්වය කියන එක ප්‍රතිෂ්ඨාපනය කරන්න. එතකොට තමයි සමාජයක් විදිහට, සමාජයට එරෙහි වෙන බලවේගවලට එරෙහිව නැඟී සිටින්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අරගලය බවට පත් වෙන්නේ. ඒක තමයි විප්ලවය. ඒක තමයි ජයග්‍රහණය කරන විප්ලවය.

මේ චිත්‍රපටය අවසානයේ ඔබ අපට සනාථකර සිටින්නේ ඒ ජයග්‍රාහී විප්ලවය පිළිබඳවයි?

දැන් මේ ළමයි දහ අට දෙනා කවදාවත්ම මුහුද දැකලා නෑ. හැබැයි වෙන කවුරු හරි බාර අරගෙන ඒක ඉෂ්ට කර දෙනතුරු ඔවුන් ඉන්නේ නෑ. ඔවුනොවුන්ම සංවිධානය වෙනවා. ඒකට මඟපෙන්වීම් තියෙනවා. සහයෝගයන් තියෙනවා. අන්තිමට මම කියන්නේ එක්තරා මොහොතක් එනවා ඒක මුළු ගමේම අරගලය බවට පත් වෙනවා. අන්තිමට ග්‍රාම සේවකගේ නෝනා බොරුවට ආවේශ වෙනවා මිනිහව කොන්ට්‍රෝල් කරගන්න. හැබැයි ඊට කලින් මම චිත්‍රපටයේ එක්ස්ටැබිලිෂ්ට් කරනවා ග්‍රාම සේවක මහත්තයාගේ නෝනා හොඳ නිළියක් කියලා. ඒත් අරයා ලව්වාම. හැබැයි ඒ Skill එකම තමයි පාවිච්චි කරන්නේ ඒ ග්‍රාම සේවක නෝනා තමන්ගේ සැමියව කොන්ට්‍රෝල් කරන්න.

ඒ සාමුහික අරගලයේදී හැමෝම තම තමන්ගේ වැඩකොටස නිසිලෙස ඉටු කරනවා?

ඔව්. සාමූහික අරගලයක් කියන්නේ ඒක තමයි. දැන් ග්‍රාම සේවක නෝනා වගේම තැපැල් මහත්මයාත් එයාගේ කොටස ඉටු කරනවා. ලියුම ගෙනත් දෙන එක තමයි එයාගේ Job එක. අර වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ උත්සාහය තමයි මුහුදේ පින්තූරයක් හොයලා දෙන එක. අර ජස්ටින්ට රෙජිස්ටර් ලියුමක් තියෙනවාද කියලා අහන එක. මම කියන්නේ ඒ වගේ සියලුම දෙනාට වැඩකොටසක් තියෙනවා. අර අයින්ස්ටයින් වරක් කියලා තියෙනවානේ ‘අපි හැමෝටම ආවේනික එක්තරා ශාක්‍යතාවක් තියෙනවා. හැබැයි මාළුවා තමන්ගේ ශක්‍යතාවය මැන්නොත් මට කොච්චර හොඳට ගස් නගින්න පුළුවන් ද වගේ එකක්. ඒක නිශ්ඵල වැඩක් වෙනවා’ කියලා.

ඒ කියන්නේ තමන්ට කළ හැකි සහ කළ යුතු දේ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීම අවශ්‍යයි?

ඔව්. දේශපාලන වශයෙන් නිශ්ක්‍රීය වෙලා ඉන්න ලංකාවේ ජනතාවට වෙන විදිහකින් අනුප්‍රාණයක් සපයන්නයි මට අවශ්‍ය වෙලා තිබුණේ.

අතිශය ගැඹුරු, සංකීර්ණ මමෝභාවයන්, මිනිස් ගතිකයන් ඔබ මේ සිනමාපටය හරහා ඉතාමත් සරල හා සංවේදී අයුරිනුයි ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ?

මට හිතෙන්නේ මෙහෙමයි, දැන් ලංකාවේ කලාත්මක සිනමාව කියලා එකක් තියෙනවානේ අපට. පහුගිය කාලේ ඔය ආ(ර්)ට්ස්කෝප් සිනමාවට තිබුණ ලොකු චෝදනාවක් තමයි ජීවිතේ ජඩ පක්ෂය, අඳුර තමයි විෂයය කර ගන්නේ හැම විටම කියන එක. හරි, එතකොට සමාජයේ අපේක්ෂාවන් දල්වන්නට විදිහක් නැද්ද කලාකරුවෙක් විදිහට කලාත්මක සිනමාවේ. සමාජයට යම්කිසි උත්තේජනයක්, අනුප්‍රාණයක් සපයන්නට බැරිද? මට අවශ්‍ය වුණේ සරලවම කියනවා නම් මම උත්සාහ කළේ ජීවිතයේ අඳුරු පාර්ශවයට වඩා නැඹුරුවක් තියෙනවා කියන චෝදනාව තියෙන ලංකාවේ සිනමාවට, විශේෂයෙන්ම මේ ආට්ස්කෝප් කියන සිනමාවට අලුත් මානයක් එක් කරන්න.

සම්ප්‍රදායෙන් ඔබ්බට යෑමක්?

ජීවිතයේ සොඳුරු පාර්ශවය කලාත්මක සිනමාවට ගෙන ආ හැකි බව යෝජනා කරන්න සහ තව පැත්තකින් ඒ හැකියාව පරීක්ෂණයට ලක් කරන්න. මට ඕනෑ වුණේ ඒක පරීක්ෂා කරන්න. එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.

මේ චිත්‍රපටයට ඔබ ඉතාමත් සූක්ෂම ලෙස හාස්‍ය මුසු කරගෙන තිබෙනවා. සමහර විකට, එහෙම නැතිනම් හාසේ‍යා්ත්පාදක චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටයේ තිබෙන විහිළුවලට ප්‍රේක්ෂකයාට හිනා යනවා. කොහොමද ඔබ මේ චිත්‍රපටය ඇතුලේ ඒ සැබෑ හාස්‍ය ඉස්මතු කරන්නට ඉඩහසර විවර කර ගත්තේ?

ඇත්තටම හිතන්න, සමාජයක් විදියට ගත්තාම මේ මොහොතේ ලාංකේය සමාජය අතිශය නාටකීයයිනේ. මට හිතෙනවා ඒ සමාජය මට අධ්‍යාපනය සපයලා තියනවා ඒ පැත්තෙන් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න. මේක ඇතුලේ තියෙන රංග රීතිය සම්බන්ධයෙන් ඔය අපේ ඇතැම් ජනමාධ්‍ය මිතුරු, මිතුරියෝ වගේම නාට්‍යය කලාවේ නියැළි අපේ සහෝදරවරු මගෙන් ප්‍රශ්න කරලා තියෙනවා.

ඒ කියන්නේ ඇක්ටින් ස්ටයිල් එක සම්බන්ධයෙන්?

ඔව්. කොයි තරම් දුරට යථාරූපීද මේ රංගනය වගේ දේවල්. මම කියන්නේ මේ මොහොතේ ලාංකේය සමාජය කොච්චර යථාරූපී ද ඔය කියන අර්ථයෙන්. ඒක අතිශය නාටකීය සමාජයක් නෙවෙයිද? දැන් සමහරු කියනවා මෙහි අධි රංගනයන් තිබෙනවාලු. එකක් තමයි ශාස්ත්‍රීය අවකාශයේ අධි රංගනය කියලා වචනයක් නෑ. ඒක පර්යේෂණ, ශාස්ත්‍රීය ලේඛණය විසින් සකස් කරපු වචනයක් නෙවෙයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ එහෙම වචනයක් පාවිච්චි කරන්න බෑ කියලා. මම කියන්නේ ඒ අර්ථයෙන් ගත්තත් අපි සමාජයක් විදිහට හරිම අධි රංගනයක් මේ අත්විඳිමින් ඉන්නේ. මේ තියෙන්නේ හරිම හාස්‍යජනක හැසිරීම් සහිත සමාජයක් නෙවෙයිද?

කවුද ඒකට වගකියන්න ඕනෑ?

ඒ වගකීමට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක ඉතාම බරපතල සමාජ, දේශපාලන ඛේදවාචකයක් විදිහටයි නිර්මාණය වෙන්නේ.

ඇතැම් කලාකරුවන් පවා පහුගිය කාලයේ විහිළු සපන්නන් බවට පත් වෙලා සිටියා?

සමහර කලාකාරයෝ පසුගිය කාලේ ඇතැම් අවස්ථාවල හැසිරිච්ච විදිහ, කරපු ප්‍රකාශ දැක්කාම සත්‍යය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපට පැන නගිනවා. ඒගොල්ලන්ගේ ඒ නිරූපණයන් කෙතරම් නාටකීයද? මම කියන්නේ මේ යත එහෙම නැතිනම් truth  එක කියන එක එකිනෙකාගෙන් වෙනස්. ඔබට ගෝචර වෙන දේ නෙවෙයි මට ගෝචර වෙන්නේ. ඒක සාපේක්ෂයි. මේ මොහොතේ ලාංකේය සමාජය ඇතුලේ තිබෙන යත තමයි මම ඉලක්ක කර ගන්නට උත්සාහ කළේ. නැතිනම් මේ සමාජයේ මායිම් නැති පරමාදර්ශී යතක් ග්‍රහණය කර ගන්න. මම කියන්නේ මේ චිත්‍රපටයේ නළු නිළියන් ඕවර් ඇක්ටින් නම් ඒක මේ මොහොතේ ලංකේය සමාජයේ තිබෙන ඕවර් ඇක්ට් එකම තමයි.

දැන් මේ ඕවර් ඇක්ටින් නැතිනම් අධි රංගනය පිළිබඳ වැඩි කතාබහට ලක් වන්නේ වේදිකාවෙනේ. ඔබත් වේදිකාවේ සිට සිනමාවට ප්‍රවේශ වූ අයෙක් නිසා නළු, නිළියන් හැසිරවීමේදී කිසියම් විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කළාද?

ඒක ‘ඕවර්’ නම් ‘නැචුරල්’ එක මොකක්ද කියන ප්‍රශ්නයක් එනවානේ. නමුත් කෙසේ හෝ style එකක් විදිහට ගත්තාම මම උත්සාහ කරපු දේ තමයි සැකිලි රූපී රංගනය හරහා මේ චරිත ගොඩ නැඟීම. ඒ ශෛලිය යම්කිසි විදිහකට ස්පර්ශ කරන්න මම උත්සාහ කළා. නමුත් ඒකෙන් මම කියන්නේ නැහැ මම මේ චරිත සියල්ල කාටුන් බවට පත් කරන්න උත්සාහ කළා කියන එක. මම අර කලින් කියපු නාටකීය, හාස්‍යජනක ස්වභාවය ග්‍රහණය කරන්න මම උත්සාහ කලේ යම්කිසි විදිහක ඒ සැකිලි රූපී රංගන විධි ක්‍රමයෙන්.

නමුත් ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබ ඒ චරිත හසුරුවන්නේ ප්‍රේක්ෂක විශ්වාසය නොබිඳෙන අයුරින්?

මම විශ්වාස කරන විදිහට කිසිම කලා කෘතියක් සියයට සියයක්ම යථාරූපී නෑ. ඕනෑම කලාවක නිර්මාණාත්මක මැදිහත්වීම කියන එක තියෙනවා. ඒක තිබුණ ගමන්ම එය naturalistic වෙන්නේ නෑ. වෙන්න බැහැ. සිනමාව ඇතුළේ විවිධ ඇක්ටින් styles භාවිත කරනවා. ඉතින් මට හිතුණා මේ වෙලාවේ ලාංකේය සමාජයේ තිබෙන නාටකීය ස්වරූපය නිරුපණය කරන්න මේ සැකිලිරූපී රංගනය වඩාත් ගැළපෙන බව.

අදාල චරිතයට හරියටම ගැළපෙන නළු, නිළියන් ඔබ තෝරා ගෙන තිබෙනවා. මේක තමයි හුඟක් අධ්‍යක්ෂවරුන්ට වරදින තැන. එකී කාර්යය ඔබට අභියෝගයක් වුණේ නැතිද?

ඒක අසංක මෙහෙමයි, දැන් වසර පහළොවක කාලේ ඉඳන් මම ලාංකේය නාට්‍යය කලාවේ රචකයෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙක්, නළුවෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, සංගීතඥයෙක්, රංග විඥාන නිර්මාණ ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂවරයෙක් හැටියට. මට තිබෙන මේ අත්දැකීම් එක්ක මට එය අසීරු කටයුත්තක් වුණේ නෑ. නාට්‍යය කලාව ඇතුළේත් මම දැඩි අවධානයක් යොමු කරන දෙයක් තමයි ඉතාම නිවැරදිම නළුවා, නිළිය ඊට යොදා ගැනීම. ඒත් හැම විටම මට ඒ ගැළපෙනම නළුවා හෝ නිළිය හමු වන්නේ නෑ.

එසේ වූ විට?

මම විවිධ උපක්‍රම හෙව්වා. මගේ ගමන ඇතුළේදී මට ඉන්න නළුවාව අර මට අවශ්‍ය නළුවාට නිර්මාණය කළ හැකි බවට මා විශ්වාස කළ ඒ ප්‍රත්‍යය දක්වා ගෙනි යන්නේ කොහොමද කියන එක තමයි මට වැදගත් වුණේ. එය ලොකු ව්‍යායාමයක්. බොහෝ නාට්‍යයවල මම එය කර තිබෙනවා. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ චිත්‍රපටයේ Casting  කරද්දී මාව යම්කිසි විදිහකට සූදානම් කර තිබුණා කියා ඒ කාර්යයට. මට නිවැරැදිව නළු නිළියන් තෝරා ගැනිමට වගේම ආදේශක නළුවාගෙන් උපරිම ප්‍රත්‍යයක් ලබාගැනීමට ඒ පළපුරුද්ද ඉවහල් වුණා. ඔය Casting  සාර්ථකත්වය හැම කෙනෙකුම කියන දෙයක්.

කොහොම වුණත් ළමයි දහ අට දෙනා තෝරා ගැනීම නම් අසීරු කටයුත්තක් වෙන්නැති?

ළමයි හයසීයක් අතරෙන් තමයි මේ දහ අට දෙනා තෝරා ගත්තේ. එතකොට බැලු බැල්මට ඉතා පැහැදිලි අභියෝගයක්. දැන් එතනදි අනසුයා ලොකු කාර්යභාරයක් ඉටු කළා. මේ පිරිස අඩු කරලා, අඩු කරලා ස්පිරිට් එක තේරා ගන්න. ඊට පස්සේ අනසුයා සහ කුසුම්සිරි ඔවුන් පුහුණු කරන්න මැදිහත් වුණා. මොකද මේ දෙන්නාම රංගනය සම්බන්ධයෙන් හොඳ අධ්‍යාපනයක් ලබපු අය. විශේෂයෙන්ම කුසුම්සිරි මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා නාට්‍යය කලාවේ මගේ සමීපතම මිත්‍රයා. අපි දෙන්නාට නාට්‍ය කලා දිවියේ ගොඩක් සුන්දර අවස්ථා තිබුණා බෙදා හදා ගන්න. 1997 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍යය මගේ. 1998 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටි නාට්‍ය කුසුම්සිරිගේ.

මම හිතන්නේ අනසුයාත් වේදිකාවේ ඔබ සමඟ වැඩ කර තිබෙනවා?

ඔව්. ඒ අවබෝධය එක්ක තමයි ඔවුන් මේ කටයුත්තට දායක වුණේ. ඉතිං මේ ළමයි දහ අට දෙනා තෝරාගෙන ඔවුන් පුරුදු පුහුණු කරන්න කුසුම්සිරි සහ අනසුයා ලොකු දායකත්වයක් සැපයුවා.

අවසානයේ මේ ළමා නළු නිළියන්ගෙන් අප දුටුවේ වෘත්තීය මට්ටමේ රංගනයක්?

පැහැදිලිවම, පැහැදිලිවම. එතනදි රූගත කිරීමට කලින් දවසෙදි තමයි අපි කොයි නළුවා, කොයි චරිතය ද රඟපාන්නේ කියලා Cast කළේ. අර අන්ධ දැරියගේ චරිතය සඳහා ළමයින් දෙන්නෙක් අතර තමයි තෝරා ගැනිම තිබුණේ. කලින් දවසේ රෑ තමයි අපි තීරණය කළේ මෙන්න මෙයා මේ චරිතයට දාමු කියලා. දැන් මෙතනදි මේ ළමයින්ව Casting කරද්දී මම සැළකිලිමත් වෙච්ච දේ තමයි ළමයි දහ අට දෙනා පෞරුෂයන් දහ අටක් වෙන්න ඕනෑ කියන එක. ඇපියරන්සස් දහ අටක්. පෞරුෂයන් දහ අටක්. මට හිතෙනවා ඒක ඉතාම හොඳට සිද්ධ වුණා කියලා.

‘හඳයා’ චිත්‍රපටයෙන් පසු බිහි වූ හොඳම ළමා චිත්‍රපටය ලෙස ඇතැම් විචාරකයන් මේ චිත්‍රපටය හඳුන්වනවා. ඊට එකඟද ඔබ?

ඒකට මට කියන්න තියෙන්නේ මෙහෙම එකක්. එහෙම මේ චිත්‍රපටය අගයන එක ගැන මට ඉතාම සංතෝෂයක් තියෙනවා. නමුත් මෙය ‘හඳයා’ චිත්‍රපටයට පසු බිහි වූ හොඳම චිත්‍රපටය විදිහට නම් කිරීම හෝ පත් කිරීම, එය එසේ වන්නේ කෙසේද කියා විමර්ෂණය කිරිම විචාරකයන්ගේ වැඩක්. ඒක මට අයිති දෙයක් නෙවේ.

මෑතකදී ළමා චිත්‍රපට ලෙස හැඳින් වූ බොහෝ නිර්මාණවල අප දුටුවේ වැඩිහිටි තේමාවන්. ළමයි මා(ර්)කට් කරලා සමහරු සාක්කුව පුරෝගත්තා. මෙහෙව් රටකයි ඔබ ‘හෝගානා පොකුණ’ නිර්මාණය කරන්නේ?

ඔබ ඔය කියපු එවැනි චිත්‍රපට සම්බන්ධයෙන් මට කියවීමක් තිබෙනවා. නමුත් ඒක කියන්න මේක හොඳ වෙලාවක් නෙවෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ.

විරෝධාකල්පයක් වෙන්නැති ඔබේ තිබෙන්නේ?

වෙන්න පුළුවන්. මෙතනදි මට කියන්න තියෙන්නේ නිර්මාණකරනයේදී මම මටම ආවේණික වූ ප්‍රවේශයක් ගන්නවා. එතකොට මීට කලින් නිර්මාණය වුණ, නිෂ්පාදනය වුණ ළමා චිත්‍රපටවලට වඩා මේක වෙනස් වෙන්න ඇති.

‘වෙනස් වෙන්න ඇති’ කියා අනුමාන වශයෙන් නෙවෙයි ඔබට කෙළින්ම එහෙම කියන්න පුළුවන්?

එක හෙළා මට එහෙම කියන්න බැහැ. මොකද සමහරෙක් කියන්න පුළුවන් මේකත් අර කලින් ජාතියේම එකක් වගේ කියලා. නමුත් දැන් තිබෙන ප්‍රතිචාර අනුව නම් පෙනෙන්නේ මේක වෙනස් කියලා. එතනදි මම මෙන්න මෙහෙම එකක් කියන්න ඕනෑ. දැන් මේක ළමා චිත්‍රපටයක් වගේම ළමා චිත්‍රපටයක් පමණක්මත් නෙවෙයිනේ. මේ අධ්‍යාපනය මා ඉස්සර වෙලාම ලැබුවේ මජිඩ් මජිඩ් කියන ඉරාන සිනමාකරුවාගෙන්. ඔහුගේ ‘Children of Heaven’ චිත්‍රපට, එතනින් ගියාම ‘Song of Sparrows’ වගේ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපාන්නේ ළමයි. බැලූ බැල්මට එය ළමයින්ට ගෝචර වන, ළමයින්ට අදාල වන තේමාවක් සහ ආඛ්‍යානයක් තමයි තියෙන්නේ. හැබැයි වැදගත් දේ තමයි ඒක ළමයින්ට ගෝචර වෙන දෙයක් පමණක්ම නොවීම.

ඒ කියන්නේ ළමා චිත්‍රපටයක් පමණක්ම නෙවේ?

ඔව්. උදාහරණ්‍යක් විදිහට Children of heaven චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය චිත්‍රපටයට පවා නිර්දේශ වෙනවා. එතකොට ඒක ළමා චිත්‍රපටයක් වෙන්නේ නෑ. ඒක ඇතුළේ ඊට වඩා වෙන ජීවන දැක්මක් තියෙනවා. ‘හෝගානා පොකුණ’ හරහා මට අවශ්‍ය වුණේ එබඳු ජීවන දැක්මක් ස්පර්ශ කරන්නයි.