වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ගැහැනු ළමයකුට හොඳම ක්ෂේත්‍රය කලාවයි

ගැහැනු ළමයකුට හොඳම ක්ෂේත්‍රය කලාවයි

නවෝදා සෙව්වන්දි

ඇගේ නම නවෝදා සෙව්වන්දි. පදිංචිය පිළියන්දල සුවාරපොළ. මේ වන විට නවෝදා රංගන ශිල්පිණියක් ලෙසින් කටයුතු කරනවා. ඒ වගේම මෝස්තර නිරූපිකාවක් වශයෙන් ද කලා ලොව තුළ නමක් රැන්දවීම ඇයගේ තවත් බලාපොරොත්තුවක්.

නවෝදා අධ්‍යාපනය හැදෑරුවේ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ. පාසල් වියහිදීම ඇයට රඟපාන්න අවස්ථා හිමි වුණත් අධ්‍යාපන කටයුතුවල හානියක් සිදු වේවි කියන හේතුවෙන් ඇයට ඒවා අකැමැත්තෙන් හෝ ප්‍රතික්ෂේප කරන්නට සිදුවනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ලැබෙන විවේකී කාලයේදී නවෝද්‍යාට දැනගන්නට ලැබෙනවා රූපවාහිනී අභ්‍යාස ආයතනයෙහි පාරමී නම් වූ නාට්‍යයක් සඳහා පිරිස තෝරා ගන්නා සම්මුඛ පරික්ෂණයක් තියෙනවා කියලා. ඇය ඊට සහභාගි වන්නේ මහත් වූ බලාපොරොත්තු ඇතිව. ඒවා සඵල වෙමින් නවෝදාට පාරමී හි චරිතයක් ලැබෙනවා. එහි නම කුමී. නවෝදා හා හා පුරා කියලා කැමරාව ඉදිරියට එන්නේ කුමීට පණ පෙවමින්.

බය, සැකය, චකිතය දෝත දරාගෙන නවෝදා එදා රංගනයේ යෙදෙනවා. එහි අධ්‍යක්ෂ ජෝසෆ් ජෙරම් පෙරේරාගේ මඟ පෙන්වීම යටතේ කුමී පණ පොවා ඇය අත්දැකීම් රැසක් ලබා ගන්නේ ඊළඟට ලැබෙන චරිතය තවත් හොඳින් කිරීමේ අරමුණින්.

පාරමී රූ ගැන්වුණේ හපුතලේ ප්‍රදේශයේ. සීතලේ ගැහි ගැහී එහි රූගත කිරීම්වලට සහභාගි වූ අයුරු නවෝදාට අමතක නොවන මතක ගොඩක්ලු.

පාරමී මගේ පළමු ටෙලි නාට්‍යයනේ. ඒ හින්දා විවිධාකාර දේවල් හිතුණා. නමුත් වැඩේ අල්ල ගත්තට පසුව දිගටම හොඳට රඟපෑවා. මට ඒකෙ රඟපාන්න ගිහින් විශේෂ සිදුවීම් කිහිපයක්ම වුණා. ඒ අතරින් ටිකක් බිහිසුණු එකකුත් තියෙනවා. එම නාට්‍යය ටිකිරට රඟපාපු කෙනාව ගඟට තල්ලු කරන දර්ශනයක් තියෙනවා. ඔහුව තල්ලු කරන්න ගිහින් මාවත් තව පොඩ්ඩෙන් ගඟට වැටෙනවා. අනූනවයෙන් බේරුණේ. මං එදා හොඳටම බය වුණා. මොකද මට පිහිනන්නත් බැරි හින්දා.

නවෝදා පාරමී නාට්‍යයෙන් පසුව චංචල රේඛා, කළු සෙවණැල්ල ආදී ටෙලි සිතුවම් කිහිපයකම රඟපාන්නට ආරාධනා ලැබෙනවා. එයට අමතරව මියුසික් වීඩියෝ සඳහා ද ඇය රංගනයෙන් දායක වුණා. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම තමයි නවෝදාගේ පළමු සිනමාපටය. එහි රාජ කුමාරිකාවක හැටියටයි ඇය රඟපෑවේ. ඊට පසුව සිනමා මාධ්‍යයට එකතු වන්නට නොහැකි වුණත් සිනමාවට තමයි වඩාත් ඇය කැමැත්තක් දක්වන්නේ.

නවෝදාට ඕනෑ කවදා හරි දිනක දක්ෂ නිළියක් වෙන්න. ඒ අතරතරදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී නර්තනය හදාරා නර්තන ගුරුවරියක් වන්නටත් ඇය අදහස් කරනවා.

නවෝදාට දැන් වයස අවුරුදු විස්සයි. 1995. 10. 26 තමයි ඇයගේ උපන් දිනය යෙදී තිබෙන්නේ. නවෝදායි පවුලේ බාලයා. ඒ හින්දා තවම පුංචි ළමයෙක් වගේ කල් ගෙවනවා කියලා ඇය අපිට කිව්වේ.

මං ගොඩක් ආස ළමා චිත්‍රපට බලන්න. පසුගිය කාලෙ ප්‍රදර්ශනය වුණු දෙස් විදෙස් ළමා චිත්‍රපට ගණනාවක්ම මං නැරැඹුවා. සූරිය අරණ තමයි මං ආසම චිත්‍රපටය. මං ආසයි පෙර පාසල් ගුරුවරියකගේ චරිතයක් කරන්න. විශේෂයෙන් චිිත්‍රපටයක. ඒ වගේම නපුරු චරිත කරන්නත් ආසයි. මං මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ හරිම සතුටින්. වැඩි දෙනෙක් කියනවා ගැහැනු ළමයකුට කලාව සුදුසු නැහැ කියලා. මං ඉන්නේ එහි ප්‍රතිවිරුද්ධ මතයේ. මේ තරම් හොඳ ක්ෂේත්‍රයක් ඇත්තේම නැති තරම්. ඇතැම් විට යොවුන් නිළියක් ජනප්‍රිය වෙලා ඉදිරියට එන විට නොයෙක් කට කතා හැදෙන්න පුළුවන්. ඒක සොභාවිකයි. නමුත් අපි සැලෙන්න හොඳ නැහැ. මං නිරූපණ ක්ෂේත්‍රය තෝරා ගනිද්දී පවා ගොඩ දෙනෙක් කිව්වා ඔය ක්ෂේත්‍රයේ පැවැත්මක් නෑ කියලා. නමුත් මං දකින්නේ හරියට නොකළොත් කිසිම

ක්ෂේත්‍රයක පැවැත්මක් නැහැ කියලා. මං දැනට රඟපාපු නිර්මාණ කිහිපයක් යම්තාක් දුරට ජනප්‍රියත්වයක් ලැබුවා. මේ ඉන්නේ පාරමී නාට්‍යයේ කුමී නේද කියලා අහපු අයත් හිටියා. ඉතින් ගොඩක් සතුටුයි ඒ වෙලාවට.

නවෝදාට මේ වන විට ආදරවන්තයකු නැහැ. ක්ෂේත්‍රයේ කෙනකු වුණත් කමක් නැහැ අම්මලා කැමැති වන කෙනෙකුට ඇය ද කැමැති බව අපත් එකක් ඇය පැවසුවා. නවෝදාට ක්ෂේත්‍රය තුළ ඉන්න හොඳම යාළුවා තමයි ඩිනක්ෂි. ඒ වගේම ලොකේෂන්වලට ගියාම හැමෝත් එක්කම සුහදව ඉන්නලු නවෝදා ප්‍රිය කරන්නේ.

නවෝදා කැමැතිම නළු නිළියන් යුවළ තමයි විජය කුමාරතුංග සහ සබීතා පෙරේරා. ඔවුන්ගේ රංගන ශෛලියට ඇය බෙහෙවින් ආස කරනවා. ස්වර්ණා මල්ලවආරච්චි රඟපාන නිර්මාණ නරඹලා ඇයගේ රංගනය තුළින් බොහෝ දේ ඉගෙන ගන්නා වග නවෝදා සිහිපත් කරනු ලැබුවා.

අපට රංගනය ගැන ඉගෙන ගන්න විධිමත් තැනක් නැහැ. ඒ හින්දා නිර්මාණ බලලා තමයි ඉගෙන ගන්නට වෙන්නේ. මං නිතර ප්‍රවීණයන් එක්කලා කතා කරනවා. ඔවුන් දන්නා දේවල් මට කියලා දෙනවා. ඒවා මගේ කලා ලොවේ ගමනට ඉතාමත් වැදගත්.

නවෝදාගේ මව තමයි සෙවණැල්ල වගේ ඇයගේ පසුපස ඉන්නේ. ඒ වගේම තාත්තා, අයියා, අක්කා ලබා දෙන සහායත් ඇය අවසන් කොට මතක් කළා.