|
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින් අක්කගෙ රත්තරං පවුලට මං හින්දා අවුලක් වෙයි
බස් රියේ වීදුරුවෙන් ගලා ආ සුළඟ මානවීගේ කෙහෙරැලි සමඟ තරඟ කළේය. වීදුරුව වසන්නට ඕනෑ යැයි නැඟුණ සිතුවිල්ල ඇය යටපත් කර ගත්තාය. අනුරාධපුරයේ සිට කොළඹ බලා දිවෙන බස් රථයට ඇය ගොඩ වූයේ පාන්දරින්මය. අත්තා ඇය බස් රථයට ගොඩ වී නොපෙනී යන අයුරු බලා සිටියේ නිහඬවමය. අනතුරුව ඔහු ආපසු හැරුණේය. සුමිත්ගේ පොත් සාප්පුව තවම විවෘත කර නැත. උපන්දා සිට තමන් සමීපයේ සිට මානවී නිවසින් බැහැර යාම ඔහුට සිතට වේදනාවක් විය. තම දියණීය නිවසේ නැති අඩුව මඟ හැරැණේ මිනිබිරිය නිසාය. ඇය ද යන්නට ගියාය. 'කවදා හරි දවසක යන්ඩ එපායැ' අත්තා සිත සදාගන්නට තැත් කළේය. නිවස අසලදී ඔහු දුටුවේ දොරකඩ උළුවස්සට හේත්තු වී බලා සිටින සිය බිරින්දෑය. කිසිවක් හෝ නොදෙඩූ ඔහු කරබා ගත් වනම හාන්සි පුටුවේ වාඩි වූවේය. 'කෙල්ලට වාඩි වෙන්ඩවත් බස් එකේ ඉඩ තිබුණද?' ටික වේලාවකට පසු අත්තම්මා නිහැඬියාව බින්දාය. 'බස් එකේ සෙනඟ හිටියේ නෑ' වැට අද්දරින් මීහරක් රංචුවක් ගමන් කළහ. අසල්වැසි ගෙදරක ගාලකින් උදේ පාන්දර ලිහා දැමූ උන් යළි එන්නේ හවසටය. 'ඔය මොකද හදිසියේම ගියේ' අත්තා කතා කළේ නිදහසේ ගමන් කරන සතුන් දෙස බලමිනි. 'අනේ මන්දා. කෙල්ලත් කිව්වේ එවන්ඩ කියලා' අත්තම්මා පැවසුවාය. පෙර දවසක හැන්දෑවේ නිවසට ගොඩ වූ සුනීතා හා මානවී අතර ඇති වූ කතාබහ වැඩිහිටියෝ නොදත්හ. කවදාවත් නැතුව සුමිත්, මානවී ඇරලවන්නට ගිය ගමන සුනීතාගේ ගෑනු හිතට සහනයක් නොදුන්නේය. වෙනදා ඔහු මානවීගේ නිවහනට ගියේ තමාටත් කියමිනි. මානවී රෑ බෝ වනතුරු වෙනදා සාප්පුවේ හිටියේ ද නැත. සතියක් පමණ කාලයක් තමා සාප්පුවේ වැඩ මානවීගේ කරේ ගසා මඟ හැරියේ ඇයිදැයි සුනීතාට සිතිණි. දරුවන්ගේ වැඩ කටයුතු එන්න එන්නම වැඩිය. පසුගිය දවස්වල සුමිත් තමා සමඟ නොසෑහෙන්න කෝප ගත්තේය. කිසිදු හේතුවකින් තොරවම ඇයට බැණ වැදුණි. සුනීතා ඒ සියල්ල තරාදියක ලා කිරා මැන බැලුවාය. ගින්දරයි පුළුනුයි එකට තියන්ට එපා යැයි යන කතාව ඇයට සිහිපත් විණි. අනතුරෙන් පසු දවසක රෝහලට ගිය ඇය උදෑසනින් වැවට බැස්සේ රෙදි සෝදන්නටය. ගැමි කාන්තාවක් ද ඒ මොහොතේ දියමංකඩේ සිටියාය. 'සුමිත් මහත්තයා බේරුණේ අනූනමයෙන්ලු' ඈ කතාවකට වැටුණාය. බොහෝ කුලුපගව ගිය කතාවේදී ගැහැනිය රහසක් හෙළි කළාය. 'නංගියේ, මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා. ඇයි එදා සුමිත් මහත්තයා මානවීව ඇරලවන්න ගියේ. වෙනදාට එහෙම ඔය ළමය එවෙන්නේ නෑ නොව' ඇය ඇසුවාය. සුනීතාගේ හිස් මුදුනින් අකුණක් කෙටුවා වැනිය. 'වෙනදා නම් ඒ කෙල්ල කලින් යනවා. මේ දවස්වල රෑ වෙනකම්ම වැඩ' සුනීතා සිතෙහි ඇති වුණ හැඟීම් සඟවාලමින් පැවසුවාය. ඉක්මනින් රෙදි ටික සෝදා ඉවර කරන්නට තිබූ වුවමනාව මත හැරී ඈ නැවට ගොඩට ආවාය. 'ඇයි නංගියේ රෙදි හෝදන්නේ නැද්ද?' 'අක්කේ, පරක්කු උණා. කෑම අරගෙන ඉස්පිරිතාලෙට යන්න ඕනෑ. තාම ඉව්වේ නෑ' සුනීතා වෑකන්ඩියට නැඟ පැවසුවාය. දහවල් ද සවස ද සුමිත් බලන්නට ගිය ඇය ඒ ගැන විචාලේ නැත. සැන්දෑවේ මානවී හමු වී මේ කාරණය විමසිය යුතු යැයි සුනීතා තීන්දු කොට ගත්තේ හැන්දෑවේ ගෙදරට යන ගමන්ය. ඇය මානවී දකින්නට ආවේ එම අරමුණ ඇතුවය. 'මට ඇත්තම කියපං නංගි' ඈ අසද්දී මානවීගේ ඇස්වලට නැගුණ කඳුළ සුනීතා නොදුටුවාය. මානවී කිසිත් නොකියා බිත්තිය පැත්තට හැරුණාය. 'අක්කා හිතනවාද එහෙම දෙයක් තියෙයි කියලා' ටික වේලාවකින් මානවී ඇසුවාය. ඒ කාලය ඇතුළත බිත්තියේ ඇඳුණ සෙවණැලි සමඟ සෙල්ලම් කරන්නට මානවී උත්සාහ දරනු සුනීතා බලා සිටියාය. 'මං අක්කලා ගාවට ආවේ සල්ලි බලාගෙනත් නෙවේ. ඒක දන්නවනේ. අන්තිමට මට සිද්ධ උණේ අහක යන කතාවක් අහන්න' මානවී ඇඳේ පැත්තකට හැරුණාය. සාක්කුවට දැමූ පිරිත් නූලක් ඇගේ ගෙලෙහි තිබිණ. 'මං ගැන එහෙම හිතපු එකත් පව් අක්කෙ' සුනීතා, මානවීගෙන් එබඳු ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූවාය. උස් හඬින් කතා කරන්නට මානවී අකමැති වූයේ කතාබහ අත්තම්මාට නොඇසෙන්නටය. 'අක්කගේ රත්තරං පවුලට මං හින්දා අවුලක් වෙයිනේ. අක්කලා සාප්පුවට කව්රු හරි හොයා ගන්න' 'නෑ! නංගියේ' සුනීතා මානවී අස්වසන්නට තැත් කළාය. මානවී, 'නෑ නෙමේ අක්කා, අක්කා හිතුවේ අයියත් මාව බස්සවන්න ආ එක ගැනනේ. එදා ඒ වෙලාවේ ඒ මනුස්සයා නොහිටින්න සමහර විට මං අලියට අහුවෙලා' සුනීතා ආපසු ගියේ කම්පිත වූ හදවතකිනි. මානවී හැරී බලද්දී මොකද්දෝ පාර්සලයක් තිබිණ. එහි තිබුණේ කිරි පිටි වර්ගයකි. ඇය එය පැත්තකට දැමූවාය. රාත්‍රියේ ඇය අම්මාට කතා කළාය. මානවී අනතුරකට මුහුණ දුන් වග ඇසූ සැණින් නිර්මලා පැමිණියාය. අනතුරුව දවස් දෙකකට පසු ඇය ආපසු ගියාය. 'අම්මේ මං අම්මා ගාවට එන්නං' මානවී අම්මාගෙන් ඇසුවේ දුරකතනයෙනි. නිර්මලා වැඩ නිම වී පැමිණ රාත්‍රියේ බත් කන්නට සැරසුණ පමණි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් මානවී ඇසූ පැනයට නිර්මලා අන්දමන්ද වූවාය. 'අනේ පුතේ, මෙහෙ ඇවිත් කොහොමද?' 'ඇයි අම්මේ' 'පුතේ මාත් ඉන්නේ කාමරේක' නිර්මලා පැවසුවේ කෑම පැත්තකට දමා අත සෝදා ගනිමිනි'. 'බෑ! අම්මේ මට සුමානයක් හරි අම්මා ළඟට එන්න ඕනෑ. අහන්න එපා ඇයි කියලා. මං එනවා' මානවී එතරම් හිතුවක්කාරියකැයි නිර්මලා නොසිතුවාය. කුඩා කල පටන්ම මානවී ඇයට වඩා සමීප වූයේ අත්තම්මාටය. එහෙත් ඇය එක්වරම මෙලෙස ඉල්ලන්නේ ඇයි. 'අත්තම්මාට ෆෝන් එක දෙන්න පුතේ' නිර්මලා මානවීට තවත් කාරුණික වූවාය. 'අත්තම්මා මොනවා කිව්වත් මම එනවා. නැත්නම් මාව හොයන්න එපා' 'එහෙම නෙෙයි පුතේ. මට මේ දවස්වල ඔයා එක්කන් එන්න නිවාඩු ගන්න බෑ. මං ඇවිත් ගියා විතරනේ' 'නැහැ! මම බස් එකේ එන්නං. මගේ අතේ ෆෝන් එක තියෙනවා. කොළඹ බස් එකක නැග්ගම හරිනේ' 'ඔයා කොහොමද ළමයෝ පාර හොයා ගන්නේ' 'මට පුළුවන්' මානවීගේ හඬ ස්ථිර එකකි. බැලූ බැල්මට අහිංසක පෙනුමැති තම දියණිය මේ තරම් හිතුවක්කාරියකැයි නිර්මලා නොසිතුවාය. නිර්මලාට ඇති වූයේ බියකි. තමා ජීවත් වන්නේ ඇය වෙනුවෙනි. නිර්මලාට ඇයගේ අතීතය සිහිපත් වූවාය. අත්තම්මා කාමරයට ආවේ ඒ මොහොතේය. 'මෙන්න අත්තම්මා ඉන්නවා. අත්තම්මාට කියන්න. මම හෙට එනවා' අත්තම්මාත් අම්මාත් ටික වේලාවක් කතාබහේ යෙදෙනු මානවී අසා සිටියාය. 'ඇයි දරුවෝ ඔයා මේ වගේ හිතුවක්කාර වෙන්නෙ' අත්තම්මා ඇසුවේ අම්මා දුරකතනය තැබූ පසුය. 'නෑ! අත්තම්මේ මම ගියාට එනවා. මං අම්මා ළඟට යන්ඩ ඕනෑ' 'ඒ ළමයත් කොච්චර මහන්සි වෙනවද? දැන් ඔයත් ගිහිල්ලා' මානවී එක්වරම අත්තම්මා දෙස හැරී බැලුවාය. 'නෑ මට යන්ඩ ඕනෑ' සියල්ලෝම නිහඬ වූවාසේය. අත්තම්මා අත්තා ළඟට ගියේය. 'මේ කෙල්ලට අම්මා ගාවට යන්ඩ ඕනෑ කියන්නේ' අත්තම්මාට හිතුණේ ඇය තවමත් අනතුරෙන් පසුව තෝන්තු ගතියකින් පසුවන බවය. 'මට අම්මා ගාවට යන්න බැරි ඇයි' මානවී කෑගාවාය. 'ඔයාට යන්ඩ ඕන නම් මම බස් එකට ඇරලවන්නම්. අම්මාට කියන්ඩ මඟදී ඔයාව ගන්ඩ කියලා' අත්තා තීන්දුව දුන්නේය. ඔහු මානවීට නවතින්න යැයි නොකීවේය. අත්තම්මා පුදුමයෙන් බලා සිටියේ එබැවිනි. බස් රියේ මානවී නංවා තනිවම පැමිණි අත්තා වැව් බැම්ම මතට වී ටිකක් වෙලා බලා සිටියේය. 'මොකද වෙද මාමේ' ඔහු කල්පනාකට වැටී සිටි අයුරු දැක කිසිවකු ඇසුවේය. අත්තා කිසිත් නොකියා ගියේය. මානවී රැගත් බස් රිය කොළඹ බලා ඉගිල්ලුණේය. තවත් ඉදිරියට යද්දී එය සෙනඟින් පිරී ඉතිරී ගියේය. හුරු පුරුදු ගස් වැල් ද, වට පිටාවද පසුකර තමන් යන බව මානවීට දැනිණි. දුම්රියක් සමඟ බස් රිය තරඟ වදිනු මානවී දුටුවාය. බස් රිය නගරයක වටරවුමකින් කරකැවිණි. මානවීට බියක් ඇතිවිණ. හිතුවක්කාරකමට පැමිණිය ද අම්මා මඟහැරුණොත් ගන්නා ඊළඟ පියවර ඇය කුමක්දැයි කල්පනා කළාය. 'හැම එකටම මූණ දෙනවා' මානවී තනියම සිතා ගත්තාය. |