වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




පිය පුතු රස කතා

පිය පුතු රස කතා

පුතා මා අබිබවා ඉහළට යා යුතුයි

- සංගීත්

අසරණයන්ට පිහිට වන්නැයි තාත්තා මට කියනවා

- සනුක

සංගීත් වික්‍රමසිංහ කිව්වම කවුද නොදන්නේ. කලක් කණ්ඩායම් සංගීත කලාවේ ජනප්‍රියතම ගායකයකු මෙන්ම වාදකයකු ද වූ හෙතෙම මේ වන විට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් නිර්මාණකරණයේ යෙදී සිටිනවා. මේ සංගීත්ගේ පුතු සනුක. ඔහු ද පියා ගිය අඩි පාරෙහි පියවර තබන්නට පටන් ගෙන දැන් කලක් ගත වෙලා. ඉතින් උදා වූ නව වසරේ හා හා පුරා කියා පිය පුතු ලිපි මාලාවට එකතු කර ගන්නේ සංගීත් සහ සනුකව.

මට මුලින්ම දැනගන්න ඕනෑ සනුකගේ නමෙහි තේරුම. කවුද ඒ නම දැම්මේ? ඔබද? මා පිළිතුරක් බලාපොරොත්තු වුණේ සංගීත්ගෙන්?

දැන් මේ ලිපියට අනුව ඒ විස්තරේන්ම මේ සඳහා ප්‍රවේශයක් ගන්න පුළුවන්.

සංගීත් රැල් බුරුල් හැර කතාව පටන් ගත්තා. සනුක ඒ දෙස බලා සිටියේ තමන් පවා නොදන්නා දෙයක් දැනගන්න හදන අයකු වගේ කියලයි මට හිතුණේ. ඇත්තටම සනුක එදා තමයි තමන්ගේ නම හැදුණ අයුරු දැනගත්තේ.

මෙයා ඉපදුණු වෙලාවටම අනුව නමකට සුදුසු අකුරු ඉල්ල ගත්තා මගේ හිතවත් කෙනෙකුගෙන්. අපට ලැබුණේ 'ස' සහ 'උ' කියන අකුරු. මගේ නමත් පටන් ගන්නේ 'ස' අකුරෙන් හින්දා මට ටිකක් සතුටු හිතුණා. ඒත් බිරියට ටිකක් අප්සට් මොකද එයාගේ නම රේණුකා. ඒ අකුරු එකක්වත් එතන නැහැනේ. ඉතින් මං කල්පනා කළා බිරියගෙත් හිත නොරිදෙන්න සනුකට නම තියන්න. මගේ නමින් 'ස' ගත්තා. ඊට පස්සේ බිරියගේ නමින් 'නු' 'ක' අකුරු දෙක අරගෙන සනුක කියලා නම තිබ්බා.

මොකක්ද තාත්තේ එකේ තේරුම?

සනුකගේ මුවින් ඉබේටම ඒ පැනය ගිලිහුණා.

මමවත් දන්නේ නෑ පුතේ තේරුම.

සංගීත් පිළිතුරු දුන්නේ හිනාවකුත් සමඟින්.

සනුක මේ වන විට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙක්. කවද ද කොහොමද ඔබට දැනුණේ ඔහු සංගීතයට දක්ෂයකු කියලා?

කිරිබොන කාලේ ඉඳලා මෙයා සංගීතකාරයා. එහෙම කියන්නේ මොකද දන්නවද, පුතා අඬන දවස්වල මං නළවන්න සින්දු කියනවා. සමහර වෙලාවට කැසට් එකක් ප්ලේ කරනවා. ඒක නැවැත්තුව ගමන් මෙයා අඬනවා. ආයෙත් ප්ලේ කරද්දී හෝ සින්දු කියද්දී හිනා වෙවී ඉන්නවා. නැවැත්තුව ගමන් ආයේ අඬනවා.

තාත්තාට මතකද මං ඉස්සර පොඩි පොඩි සින්දු කෑලි කියනවා. තාත්තා තමයි ගිටාර් ගහන්නේ.

සනුක සංගීත්ගේ කතාවට ඌණ පූර්ණයක් කළා.

මං ඒ කලේ වැඩිපුරම කැමැති කියන්න සුනිල් එදිරිසිංහ මහත්මයාගේ රන් මලක් ලෙස. හැම උදෑසනකම එය කියනවාමයි. කාලයක් මගේ ජාතික ගීය වෙලා තිබුණේ ඒක. ඔය කාලේ රූකාන්ත අංකල්ගේ ගීතත් ඉතාම ජනප්‍රියයි. සුවඳ දැනී දැනෙනවා, සුදුමුදු වැල්ලේ ආදී ගීතත් බැරි බැරි ගාතේ තාත්තගේ ගිටාරයේ නාදයට කියනවා.

සංගීත්ට මතකද සනුකට අරන් දුන්නු පළමු සංගීත භාණ්ඩය?

ඔව්. හොඳට මතකයි. ක්ලැසිකල් ගිටාර් එකක් තමයි අරන් දුන්නේ. දර්ශන පියරත්න කියලා මගේ මිත්‍රයෙක් හිටියා. ඔහු රට ගිය වෙලාවක ක්ලැසිකල් ගිටාර් එකක් ගෙනත් තිබුණා. දර්ශනගෙන් තමයි මට එය හිමි වුණේ. මං එය ඔහුගෙන් මිලදී ගත්තෙත් පුතා වෙනුවෙන්මයි. ඊට පස්සේ මං අමරනාත් රණතුංග ගාවට සනුකව යැව්වා ක්ලැසිකල් ගිටාර් වාදනය පිළිබඳ හදාරන්න. ඔහු කැපවීමෙන් එයට සහභාගි වුණා.

සනුක ගායකයකු වශයෙන් වේදිකාවට ආවේ කොහොමද?

මගේ පාසල කොළඹ රාජකීය විදුහල. එහි අපේ බැච් එකේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුණා 'සගා' නමින්. මං එහි සිං කළා. තාත්තටත් එන්න කියලා තිබුණා ඒක බලන්න.

සංගීත්ට මතකද ඒ මොහොත?

පියකු විදහට මං එදා ගොඩක් සතුටු වුණා. මට දැනුණු සන්තෝසෙට මට හිතුණා කවදා හරි සනුක මාවත් අබිබවා යාවි කියලා. ඒක තමයි මගේ එකම පැතුම.

සනුක පුංචි කාලේ දඟයෙක් ද? ඔබෙන් ගුටිකාලා එහෙම තියෙනවාද?

දඟ නැහැ කියන්නත් බැහැ. පොඩි පොඩි දඟ වැඩ කළා. මෙයා තමන්ගෙම මතයේ ඉන්න කෙනෙක්. ටිකක් හිතුවක්කාරයි. අන්න ඒ වගේ වෙලාවන්වලදී මං පස්සට හොඳවැයින් දෙකක් ගහලා තියෙනවා.

සනුක මොනවද කරපු පොඩි පොඩි දඟ වැඩ?

මං හරි ආසයි පිඟන් පොළවෙ ගහන්න. පොඩි කාලේ නොතේරුම්කමටයි එහෙම කළේ. කුස්සියේ තියෙන පිඟන් උස්සගෙන සාලෙට ඇවිත් ඩෝං ගාලා පොළවෙ ගහනවා. මේ පිඟන් සෙල්ලම ඉවසගන්න බැරිව තාත්තා බෙලෙක් පිඟන් ගෙනාවා වීදුරු පිඟන් ඉවත් කරලා.

සනුකගේ කල වයසත් හරි නේද?

ඒක තමයි මටත් තියෙන එකම ගැටලුව.

මොකක්ද සංගීත් කිව්වෙ? හරියට තේරුණේ නැහැ?

පුතයි මමයි පොඩි කාලේ ඉඳලම යාළුවෝ වගේ. හැම දෙයක්ම කියා ගන්නවා. නමුත් මෙයා ගැහැනු ළමයි සම්බන්ධයෙන් කිසි දෙයක් කියන්නේ නැහැනෙ. ඒවා කියන්නේ අම්මත් එක්ක.

ඇත්තද සනුක?

ඔව්. හැබැයි මේ වන විට මට ප්‍රේමවන්තියක් නැහැ.

ඒ වුණාට ඇති තරම් ගැහැනු යාළුවො ඉන්නවනෙ පුතා ඔයාට.

ඔව් තාත්තේ එයාලා යාළුවො පමණයි.

සංගීත් විවාහයේදී පුතාට මොන වගේ උපදෙස් මාලාවක් ද මේ වන විට ලබා දෙමින් සිටින්නේ?

කිසි දෙයක් මෙයාට කියන්නේ නැහැ. පුතාට ගැළපෙන කෙනා එයා තෝර ගනියි කියලා මට ෂුවර්.

සනුක කවදා හරි ගායිකාවක් තෝරා ගත්තොත්?

ඒක එයාගේ කැමැත්තනෙ.

සනුක පියා කලක් කාර්යබහුලම සංගීත ශිල්පියෙක්. බොහෝ අවස්ථාවල නිවසෙහි ඉන්නට නැතුව ඇති?

තාත්තා වැඩවලට යන්නේ රෑ වෙලානේ. එහෙම වුනාම මං හැමදාම නිදා ගන්නට කලින් තාත්තට කෝල් කරනවා. අද තාත්තා මට කතා කරනවා. මොකද මං වැඩිපුරම ඉන්නෙ නිවසින් පිට නිසා.

සංගීත් ද හඬ අවදි කළා.

සනුක ගැන අදටත් අපි හොයලා බලනවා. මෙයාගේ අධ්‍යාපන කටයුතු නිසා කොළඹ නැවතිලා ඉන්නේ. නවාතැනට ආවා කියන කෝල් එක එනකම් අපි එයා ගැන හිත හිත ඉන්නේ.

සංගීත් ඔබට දුන්නු හොඳම ඔවදන මොකක්ද?

තාත්තා නිතරම මට කියන්නේ අසරණයන්ට පිහිටවන්න කියන කාරනාව. ඔහු කාලයක් තිස්සේ කරගෙන ආව සත්කාර වගයක් තිබුණා. දැන් මං තමයි ඒව කරන්නේ. අසරණ අයගේ සිත සතුටු කළාම අපේ හිතත් පිරිසිදු වෙනවා. තාත්තා තමයි මට ඒක කියලා දුන්නේ.