වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ආරියරත්නගේ මුල්ම චිත්‍රපට ගීතය

සුනිල් ආරියරත්නගේ මුල්ම චිත්‍රපට ගීතය

'නොනිමි' ගැටලු සාගරයේ
සිතුම් පැතුම් රැලි මාලා
ආසාවේ වෙරළ වැතිර
නිරන්තරව හඬා වැටේ
බලාපොරාත්තුව වැළලූ
සොහොන් බිමේ කොත මුදුනේ
නැවුම් දුඹුල් ප්‍රාර්ථනා
විහඟ සෙනඟ ලැගුම් ගනී

දියේ ගිලී මිය ගිය හිරු
උනා දැමූ සළු පිළි මිස
නෙත සනහන දසුනක් නැත
දෑස දකින තෙක් මානේ'

වික්ටර්ගේ හඬින් මේ ගීතය කැලණියේ 'සරසවි' චිත්‍රාගාරයේ පටිගත කළ දා අපට ප්‍රීතිමත් දිනයක් විය. සතුට දොරේ ගොසිනි. රංජිත් ලාල් චිත්‍රපට කලාව ගැන මෙන්ම සංගීතය ගැන ද තිබුණේ අසාමාන්‍ය දක්ෂතාවයකි. ඔහු විසි දෙනෙකුගෙන් පමණ සමන්විත ලංකාවේ සිටි ඉහළම වාද්‍ය මණ්ඩලය මෙහෙය විය. ඔහුගේ සංගීත නිර්මාණය හා තනු නිර්මාණය මේ තේමා ගීතයට ආලෝකයක් විය. රංජිත් ලාල් නමැති මමත්වයෙන් තොර නිහතමානි මිතුරා අපට මොන තරම් අභිමානයක්ද?

'ඔන්න රන්ජියෝ සුනිල් අපූරුවට ගීතය ලිව්වා. වික්ටර් ඉස්තරම්ම විදිහට කිව්වා'

'ඇයි ලාලෝ උඹේ ටියුත් එක. මියුසික් කොම්පොසිෂන් එක . . .' මම රංජිත් ලාල්ට කීවෙමි.

'හොඳට ආවා නේද? අපි මොනවද සුනිල්ට දෙන තෑග්ග. උඹ හිතලා කියපන්'

'අපි පොත් ටිකක් තෑගි දෙමු. පොත් ජීවිත කාලයටම පවතිනවා'

'උඹම පොත් ටික තෝරපන්'

මම ගුණසේන සමාගමට ගොස් අලුත පිට වූ පොත් අතරින් 'කර්මසෝ සහෝදරයෝ', 'මධ්‍යකාලීන සිංහල කලා', 'මාතර යුගයේ සාහිත්‍යධරයෝ හා සාහිත්‍ය නිබන්ධන' යන පොත් තුන තෝරා ගතිමි.

මේ පොත් තුනේම බන්දුල පද්මකුමාරගේ අත් අකුරින් 'නිම්වළල්ල පිරිසගෙන් පිරිනැමෙන ත්‍යාගයකි' යන වාක්‍යය ලියවාගෙන අපි සුනිල් සිටි නුගේගොඩ නාලන්දාරාම පාරේ පිහිටි ඔහුගේ අක්කාගේ නිවසට ගොස් ප්‍රධානය කළෙමු.

මහින්ද අල්ගම හා ගාමිණී විජේතුංග මගේ ගුවන් විදුලියේ 'යෞවන සමාජයේ' මිතුරන්ය. මේ දෙදෙනාම තුරුණු වියේදීම ප්‍රතිභාව පෙන්නූ කවියන්ය. කෙසේ හෝ ඔවුන් නිම්වළල්ලට සම්බන්ධ කර ගැනීමට මම සිතුවෙමි.

'මහින්ද උඹට අපේ ෆිල්ම් එකේ ගීතයක් ලියන්න අවස්ථාවක් ලැබේවි වගේ. මම රංජිත් ලාල්ට කිව්වා. වෙලාවක ආනන්දයට වරෙන්. ගාමිණී, උඹ අපේ ෆිල්ම් එකේ ඇඩ්වටයිසින් පැත්තට උදව් කරපන්. හොඳ තේමා පාඨයක් දාලා දීපන්' මම දිනක් ගුවන් විදුලියේ කැන්ටිමේදී කීවෙමි.

මගේ යෝජනා දෙකම සම්මත විය. මහින්ද ගීතයක් ලිවීමට ද, ගාමිණී චිත්‍රපටයේ තේමාව මතු කරන ලෙස අමුතුම නැවුම් හා ගැඹුරු අර්ථ සහිතව ප්‍රචාරක පාඨ ලිවීමට ද නිම්වළල්ල පිරිසගේ අනුමැතිය ලැබිණ.

'නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ
නුරා බඳුන් සතුටින් පුරවා
සිනා මැදින් එය ලවන් සිපිද්දී
මල් කුමරුන් මල් සොයා ඇදේ'

මේ ගීතය රූප ගත කරන විට සී. ටී. ගයන 'මල් කුමරුන් මල් සොයා ඇදේ' කොටසේ ලස්සන නව යොවුන් යුවතියක සමඟ නව යොවුන් වියේ සිටි මහින්ද අල්ගම රංගන අවස්ථාවකට සහභාගි වූයේය. අද ඉඳහිට නිම්වළල්ලේ ඒ ගීතය ඇසෙන විට මහින්දගේ කඩවසම් බව දැක ඔහු අද ජීවතුන් අතර නැති බව දැනී ශෝකයක් උපදී.

'විසිතුර' පුවත්පතේ එකල (1969) සිංහල සිනමා වංශ කතාව සතිපතා ලියූ (අතිරේකයකි. පිටු හතරකි) කුමුදු කුසුම් කුමාර මගේ සමීප මිතුරෙකු වීමට වැඩි කල් ගියේ නැත. ඔහු බන්දුල පද්මකුමාරගේ බාල සොහොයුරෙකි. එකල අපට තිබුණේ උසස් විදේශීය කෘති නැරඹීමේ නොතිත් ආසාවකි. නීල් අයියාට (නීල් අයි. පෙරේරා) පින් සිද්ධ වෙන්න ඔහුගේ තනි සංවිධාන ශක්තිය මත පෝලන්ත, ප්‍රංශ, චෙක් චිත්‍රපට උළෙල අපට නැරඹීමට අවස්ථාව ලැබිණ.

අපි රීගල් සිනමාහලේ පැවැත් වූ ජර්මන් චිත්‍රපට උලෙළ වෙනුවෙන් හොඳ සිනමා සඟරාවක් සංස්කරණය කිරීමට සිතුවෙමු. මාත්, කුමුදුත් සංස්කාරකයන් වූ අතර සඟරාව 'දිපානි' මුද්‍රණාලයේ මුද්‍රණ කිරීමටත් ඒ සඳහා වෙළඳ දැන්වීම් සොයා ගැනීමටත් මට හැකි විය. 'කලා' සඟරාවට ලියන මේ සමයේ චිත්‍රපට නිෂ්පාදකයන් කිහිප දෙනෙක් මම දැන සිටියෙමි. කුමුදුත්, මාත් උදේ සිට සඟරාවට ලිපි ලියවා ගැනීමට රෙජී රණසිංහ, තිස්ස අබේසේකර, ඔගස්ටස් විනායගරත්නම්, ලෙස්ලි බොතේජු, බර්ටි ගුණසේකර, පියල් සෝමරත්න, සිරිල් බී. පෙරේරා හමුවීමට ගියෙමු. අපේ සඟරාවේ නම 'සමීප රූප' විය. එහි ශීර්ෂ පාඨය ඇඳ දුන්නේ පියරත්න හේවාබැට්ටගේය. දවල් 3 පමණ විට අපි බන්දුල හා කුමුදුගේ වැඩිමල් සොහොයුරු ප්‍රභාත් කුමාර නැවතී සිටි චමරියට ගියේ දැඩි බඩගින්නෙනි. 'සරසවිය' පුවත්පතේ සේවය කළ ප්‍රභාත් අප දෙදෙනාට අසල කඩයකට ගොස් පාන් රාත්තල් 2 ක් ගෙනවිත් දී ඔහු අතින් සාදන ලද පොල් සම්බෝලයකින් අපේ කුසගිනි නිවන අයුරු සහෝදර ප්‍රේමයෙන් හා කෘතඥතා පූර්වකව මතක් කළ යුතුය.

මා කවදත් පොල් සම්බෝලයට මනාපය. එහෙත් එතෙක් මෙතෙක් කෑ හොඳම හා රසවත් පොල් සම්බෝලය ප්‍රභාත් අතින් සැදූ එදා කෑ සම්බෝලයයි. එය ඔහුගේ හොඳ හිත හා සහෝදර ප්‍රේමය සනිටුහන් කළ සිහිවටනයකි. එකල අප අත තිබුණේ ද සොච්චම් මුදලකි. සිනමා ලේඛනයේ ද චිත්‍රපට කලාවේ සූරයකු වූ ප්‍රභාත් වර්තමානයේ මහියංගනය පැත්තේ පදිංචිව සිටිති.

නිම්වළල්ලේ සම්පත් නම් ධනවත් තරුණයා ලෙස රඟපෑ තිස්ස විජේසුරේන්ද්‍රගේ (ඔහු එකල නාලන්දේ ඉගෙන ගත් අතර 'කලණ මිතුරෝ' චිත්‍රපටයේ රඟපාමින් සිටියේය) නිවසට රංජිත් ලාල් තෝරා ගත්තේ දාස මුදලාලිගේ (ගුණදාස මහතා) ජාවත්ත පාරේ තිබූ සුඛෝපභෝගි නිවසය. දාස මුදලාලි තමා නිදන කාමරය පවා අපට පරිත්‍යාග කොට කිරි කජු කොල්ලන්ගේ වැඩ දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. රංජිත් ලාල්ගේ දෙමාපියන්ගේ කිට්ටු මිතුරෙකු වූ ඔහු පහළොවක් පමණ අප පිරිසට තේ, සිසිල් බීම හා ආහාර සපයා දෙන ලෙස මෙහෙකරුවන්ට අණ කොට තිබිණි.

නිම්වළල්ලේ තවත් ගීතයක් රංජිත් ලාල්ම රචනය කළේය. එය ගැයුවේ නෙවිල් ප්‍රනාන්දුය. දෙලොවක් අතරේ නෙවිල් ගැයූ 'ගයන ගැයුම්' ගීතයට අපි පිස්සු වැටී සිටියෙමු. විරාමයකදී රංජිත් ලාල් ඒ ගීතය ගිටාරයක් වයා ගැයූ අතර අපි අත්වැල් ඇල්ලුවෙමු.

නෙවිල් ප්‍රනාන්දු අපේ හිතවතෙකු වූයේ රංජිත් ලාල් ලියූ මේ ගීතයත් සමඟය. ඇතැම් සන්ධ්‍යාවක නෙවිල් රංජිත් ලාල්ගේ චමරියට පැමිණියේ ගිටාරය ද රැගනය. එය විනෝද සාගරයකි. නිම්වළල්ලේ ගීතයට ඔහු අසීමිත ලෙස ඇලුම් කළේය. මේ ගීතයේ එක් දර්ශනයක කුමුදු කුසුම් කුමාර ද රඟපෑවේය.

'අනන්ත වූ තරු පිපෙන රැයේ
සරා සඳේ සොමි කැන් පාවී
යොවුන් මලක රොන් සොයා ඇදේ
රිදී වලා සළු තුළින් පෙරී'

නෙවිල් එදා ඒ ගීතය ගැයූ අයුරු මට අදත් සිහිපත් වේ. ඔහු අකාලයේ මිය යාම කොතරම් ඛේදජනකද?

අප නිවස අසල සිට තැපැල් ස්ථානාධිපතිවරයකු වූ කිංස්ලි දිසානායක මා හඳුනා ගත්තේ ද ගුණරත්න මාමා නිසාය. 'මධුමතී' නම් ලංකාවේ ප්‍රථම විරුදු නාට්‍යයේ නළුවකු වූ ඔහු කවියකු ලෙස ප්‍රකටව සිටියේය. කිංස්ලි විවාහ වී සිටියේ කොස්ගස් හන්දියේ ලොකුම යූ. ඇන්. පී. කාරයකු වූ විලියොම් සිංඤෝගේ දියණිය නාලිනී සමඟය. නාලිනී අක්කා සහ ඇගේ මවත් අප පවුලේ හිතවතියන්ය. ඇගේ නැඟණිය වූ කාන්ති කල්‍යාණි එකල විශාඛාවේ ඉගෙන ගත් අතර අප පාඩම් කරන කල්ලියේ සාමාජිකාවකි. කිංස්ලිගේ පුත් සංජීව දිසානායක අද දක්ෂ ටෙලි නාට්‍ය හා සිනමා නළුවෙකි.

'රන්ජිත්, 'සිංහල ජාතිය' පත්‍රය පී. මලල්ගොඩ සංස්කරණය කරන්නේ. ඒ පත්‍රයේ සිනමා පිටුව කරන්න මම ඔයාගේ නම යෝජනා කළා. අපි ලබන සතියේ 'සිංහල ජාතිය' ඔෆීස් එකට යමු' කිංස්ලි අයියා මට යෝජනා කළේය.

'දවස' නිවසට සතියකට දෙවරක්වත් මාත්, කුලරත්න ආරියවංශත් ගියෙමු. එසේ යන විට එවකට වේදිකාවේ විශිෂ්ට රංගන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පිනියන් වූ මාක් ඇන්ටනි ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, චන්ද්‍රා කළුආරච්චි, සෝමලතා සුබසිංහ, සැන්ටින් ගුණවර්ධන, කිංස්ලි දිසානායක ආදීන් ගැන ලිවීමට මට අවස්ථාව ලැබිණ.

1969 එම්පයර් සිනමාහාලේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට උලෙළක් පැවැත්විණ. ඒ වෙනුවෙන් මා ලියූ 'ලෙස්ටර් සහ සිංහල සිනමාව' නම් ලිපිය 'විසිතුර' කර්තෘ අමරසේන මහතා විසින් 'විසිතුරේ' මැද පිටුවේ පළ කර තිබුණේ ලෙස්ටර්ගේ එතෙක් තිරගත කර තිබූ චිත්‍රපටවල ඡායාරූප ද සමඟිනි. මගේ නම ද වෙනදාට වඩා ලොකුවට පළ වී තිබුණී. සිනමා පුවත්පතක මගේ ලිපියකට මුල් තැන දී පළ වූ මුල්ම අවස්ථාව එය විය. මුලදී 'විසිතුර' මා ලියූ ලිපිවලට රුපියල් 10 ක චැක්පතක් ලැබුණ ද පසුව එය රුපියල් 15 වී ඉන්පසු රුපියල් 20 දක්වා ඉහළ ගියේය. 1968 වසර වන විට රුපියල් 10 විශාල මුදලකි. පළමුවැනි' රුපියල් 10 චැක් පත ලැබුණු දා එය ගුණසේන සමාගමෙන් මාරු කරගෙන මාත් කුලේත් කොටුවේ වයි. එම්. බී. ඒ. ශාලා කැන්ටිමට ගොස් බඩ කට පුරා ඉඳිආප්පන් කෑවෙමු. අපට පොල් සම්බෝල හා කිරි හොදි නොමිලයේ ලැබුණු අතර ඒ සඳහා වියදම් වයේ (ඉඳිආප්ප හා ප්ලේන්ටී දෙකට) ශත 25 ක් පමණ මුදලකි. ඒ ඉඳිඅප්පමක් අද මෙන් අහස පෙනෙන ඒවා නොවේ. එයින් 5 ක් කෑව ද වේලක් පිරිමසා ගත හැකිය.