වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජැනට් ජැක්සන් අවදානමක

ජැනට් ජැක්සන් අවදානමක

අමෙරිකානු පොප් ගායිකා ජැනට් ජැක්සන්ගේ ඉදිරි සංගීත ප්‍රසංග කිහිපයක්ම අවලංගු කරලා. මේ වනවිට ඇය ශෙල්‍යකර්මයකට නියමිතව සිටීම එයට හේතුවයි. ජැනට්ගේ ස්වර තන්ත්‍ර සම්බන්ධයෙන් ඇති වී තිබෙන අයහපත් තත්ත්වය නිසා මේ දිනවල ජැනට් සිටින්නේ වෛද්‍ය උපදෙස් පිළිපදිමින්.

49 හැවිරිදි ග්‍රැමී සම්මානලාභි ජැනට්, පොප් රජු මයිකල් ජැක්සන්ගේ නැගණිය යි. ඇය වහාම ශෙල්‍යකර්මයකට භාජනය කළ යුතු බවට වෛදය උපදෙස් ලැබී තිබෙනවා. එසේම මෙම ශෙල්‍යකර්මය තරමක් සංකීර්ණ බවත් ආරංචියි. කෙසේ නමුත් ඇයගේ නවතම ගීත එකතුව Unbreakable වෙනුවෙන් Unbreakable World Tour නමින් ලොව පුරා පැවැත්වෙන ප්‍රසංග මාලාව දැනටමත් ආරම්භ කර අවසන්.

පසුගිය අගෝස්තු 31 වැනිදා සිට ලබන ජුනි 29 වැනිදා ලෝ පුරා විවිධ ස්ථානයන්හි පැවැත්වූ මෙම ප්‍රසංග මාලාව අතරතුර ඔක්තෝබර් මාසයේ පවත්වන්න යෙදුනු ප්‍රසංග කිහිපයක් අවලංගුකර ජැනට් විවේක ගත්තා. කෙසේ නමුත් ශෛල්‍යකර්මය හේතුවෙන් ජනවාරි 09 වැනිදා සිට මාර්තු දක්වා වන ප්‍රසංග සියල්ලද අවලංගු කරලා.

කන්දෙන් කන්ද

කඳු නැගීම ඉතාම දුෂ්කර වගේම අභියෝගාත්මක දෙයක් වුණත් අද බොහෝ දෙනා කඳු නැඟීම කරන්නේ හරිම ආසාවෙන්. ඇත්තටම ගොඩක් අය කඳු නගින්නේ විනෝදෙට. ඒ අතරේ ප්‍රසිද්ධ තරුත් සිටිනවා. පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් මේ විදියට කඳු නගින්න ප්‍රිය කරන තරුවක්.

පසුගියදා ඔහු උතුරු ඉන්දියාවේ මීටර් 6,660ක් උසැති මේරු කඳු මුදුන තරණය කළා. සම්පූර්ණයෙන් හිමෙන් වට වූ මේරු කන්ද ටිම්බර්ලේක් තරණය කරන ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබුණා. ටිම්බර්ලේක් ඉතාම උනන්දුවෙන් මේ කඳු මුදුන තරණය කළ බව ආරංචියි. කඳු තරණය කරන්නෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක් වන ජිමී චින් හා එලිසබෙත් චායි විසින් 2015 වසරේදී මේ කන්ද පිළිබඳ වාර්තා චිත්‍රපටක් නිර්මාණය කළා.

පච්ච කුච්ච නෑ

ටැටූ කලාව අද ලෝකයේ සෑම තැනකම ඉතාම ජනප්‍රිය වී ඇති කලාවක්. ටැටූ කලාවට හෙවත් පච්චවලට ආදරය කරන බොහෝ දෙනා මේ ඔස්සේ විවිධාකාර රූප රටා තම සිරුරේ සටහන් කර ගන්න උනන්දු වෙනවා. එහිදී තමන්ගේ වැඩියෙන්ම තම සිත ගත් දේවල්වලට ප්‍රමුඛ ස්ථානය හිමි වෙනවා.

හොලිවුඩ් නිළි හෙලන් හන්ට්ගේ දියණියත් තම අතේ පච්චයක් කොටලා. දියණිය විතරක් නොවෙයි ඇයගේ යෙහෙළියත් තම අත්වල ඇඳි පච්චයේ දැක්වෙන්නේ හෙලන්ගේ මුහුණ දැක්වෙන අලංකාර සිතුවමක්. දියණියගේ යෙහෙළියත් හෙලන්ට තම දියණිය වගේම බව හෙලන් පවසනවා. පනස් දෙහැවිරිදි හෙලන්, දියණිය සහ ඇයගේ යෙහෙළියගේ දෑත් සමඟින් ගත් ඡායාරූපය ට්විටර්හි පළ කළේ ‘මගේ දියණියන්’ ලෙසින් නම් කරමිනි.

හොඳ හිත වෙනුවෙන් තිළිණයක්

ජනප්‍රිය සටන් නළු ජැකී චෑන් පසුගියදා අපූරු ප්‍රදානයක් කළා. ඔහු මේ පරිත්‍යාගය සිදු කළේ කෞතුකාගාරයක් වෙනුවෙන්. තායිවානයේ කෞතුකාගාරයක් වෙනුවෙන් ප්‍රදානය කළ ලෝකඩ ප්‍රතිමා දෙකක් වන මෙම ප්‍රතිමා අතරින් එකක් මකර හිසක් සහ අනෙකෙන් අශ්ව හිසක් දැක්වෙනවා. එම ප්‍රතිමා ධාරකයේ පැරණි චීන ආදර්ශ පාඨයන්ද සඳහන්.

තායිවානය චීනයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණේ 1949 වසරේ සිවිල් යුද්ධයෙන් පසුවයි. ජැකී චෑන් මේ පරිත්‍යාගය සිදු කරන්න හේතුව චීනය සහ තායිවානය අතර සහයෝගීතාව වර්ධනයයි.

වෙන්වුණත් ආදරේ

ඕස්ට්‍රෙලියානු ජාතික නළු ලියම් හෙම්ස්වර්ත් සහ අමෙරිකානු ජාතික ගායිකාවක මෙන්ම නිළියක වන මිලි සයිරස් ගැන අලුත් ආරංචියක් ඇවිත්.

හන්ගර් ගේම්ස් චිත්‍රපට මාලාවේ තරුව ලියම් සහ මිලී අතර පෙම් කතාව ආරම්භ වුණේ 2009 වසරේදීයි. ඒ The Last Song  චිත්‍රපටයේ රූගත කිරීම්වලදීයි. 2012 වසරේදී විවාහ ගිවිස ගත් ලියම් සහ මිලී ලොස් ඇන්ජලීස්හි එක්ව වාසය කළා. නමුත් 2013 වසරේදී කිසිවෙකුත් නොසිතූ පරිද්දෙන් ලියම් සහ මිලි වෙන්වුනත් දෙදෙනා අතර මිතුදම සැමදා පවතින බව ලියම් පැවසුවා.

අලුත් අවුරුද්දේ අලුත් ආරංචිය නම් මේ දෙදෙනා ආයෙමත් එක් වෙන්න තීරණය කර ඇති බවයි. ඒ බව හෙළිවුණේ ලියම් සහ මිලී දෙදෙනා එකට පසුගිය නිවාඩුව ඔස්ට්‍රේලියාවේදී ගත කිරීමයි. මේ දෙදෙනාගේ ආදරය තවමත් වෙනස් වෙලා නැති බව ළගම හිතවතුන් පවසා තිබුණා. ඒ වගේම මේ දෙදෙනා ආයෙමත් අලුතෙන් ජීවිතය පටන් ගන්නත් තීරණය කරලා.