වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ මාව සුදු කරන්න කියන අය වැඩියි

අනේ මාව සුදු කරන්න කියන අය වැඩියි

අංග රචනා ශිල්පී රංජිත් තිලකසිරි

මුල්ලේරියාවේ උපන් රංජිත් තිලකසිරි අංගරචනා ශිල්පය දැන හඳුනා ගන්නේ අවුරුදු අටේ පටන් ය. ඒ ඔහුගේ තාත්තා වූ කේ.ඒ.ඩී.සෝමදාස නිසා ය. මන්ද රංජිත්ගේ පියා ඒ වනවිටත් වැල්ලම්පිටිය පිහිටි රොබින් තම්පෝගේ ආර්.ටී.ස්ටුඩියෝවේ සෙට්එකේ සේවය කළ බැවිනි. තාත්තා නිසා නිතරම එහි යන එන රංජිත්ට ආර්.ටී. ස්ටුඩියෝව නිවෙස තරම් හුරුපුරුදු තැනක් බවට පත්වූයේ නිතැතිනි. මෙවර ‘හැඩවැඩමැද’ට සහභාගි වන්නේ ඔහුයි.

ඒ ස්ටුඩියෝවේ දි ඔබ මොනවද දැක්කේ ?

චිත්‍රපටයක් රූගත කිරිමේ පටන් කැමරා කිරීම දක්වාත්, අංගරචනා කිරීම් කටයුතුත් මා නිතරම වගේ එහිදි දැක්කා. ගාමිණී ෆොන්සේකා , ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු, ජීවරාණි, සන්ධ්‍යා, විජිත මල්ලිකා ඇතුළු බොහෝ නළු - නිළියන්වත් මෙහිදී මට දකින්නට ලැබුණා. ගාමිණී ෆොන්සේකා බොහොම හැඩකාරයි.

මොනවගේ චිත්‍රපට ද එහිදී රූගත වුණේ ?

‘සුදෝ සුදු’, ‘සැඟවෙන සෙවණැල්ල’, ‘මහදැන මුත්තා’, ‘හතර වටේ’, ‘හතර කේන්දරේ’, ‘සැනසිලිසුවය’ ඇතුළු චිත්‍රපට රාශියක් ස්ටුඩියෝව ඇතුළේ රූගත කිරීම් සිදුවුණා. ඒ කාලයේ රොබින් තම්පෝ එක අවුරුද්දකට චිත්‍රපට තුනක් විතර නිෂ්පාදන කටයුතු කළ බව මට මතකයි. මෙතැනදියි මම ඒ සියලුදෙනාව දැනහඳුනා ගන්නේ.

ගාමිණී ෆොන්සේකා එහෙම ඔබත් සමඟ කතා කරලා තියෙනව ද?

මම පුංචි කාලයේ ඔහුත් එක්ක කතා කරලා තියෙනවා. ඔහු හැමෝමත් එක්ක කතා කරන නළුවෙක් නොවෙයි. එයාට වැඩ නැත්නම් ඒ ස්ටුඩියෝවේ ඉස්සරහ තිබුණු ජෑම් ගහයටට වෙලා කකුලක් පිට කකුලක් දමාගෙන පොත් කියවන විදිය මට අද වගේ මතකයි. ඒ වනවිට ගාමිණීට ලස්සන රේසින් කාර් එකක් තිබුණා.

මේ චිත්‍රපටවල අංගරචනා කටයුතු කළ අංගරචනා ශිල්පියාවත් ඔබට මතක ද?

ලෙනී කුරුප්පුයි එතැන අංගරචනා ශිල්පියා ලෙස කටයුතු කළේ.

ඔබ අංගරචනයට යොමු වන්නේ කුමන වර්ෂයේ ද?

ඒ 1974 වසරයි. ඒ මම ඕලෙවල් කළා විතරයි.

ඔබ අංගරචනයට යොමු වන්නේ ඒ කාලයේමද?

ඔව්. එදා රූගත කිරීම් සිද්ධ වුණේ කේ. වෙන්කට්ගේ ‘ශ්‍රී පතුළ’ චිත්‍රපටයයි. එතැනදි මාව දැක්ක ලෙනී කුරුප්පු මහත්තයා රංජිත් මොනවද මේ දවස්වල කරන්නේ කියලා මට කතා කළා. නිකම් ගෙදරට වෙලා ඉන්න බව කිව්වට පස්සේ මගේ ඇසිස්ටන් විදියට කටයුතු කරන්න පුළුවන්ද කියලත් ඔහු මගෙන් විමසුවා.

ඒ වෙලාවෙම ඒ ආරාධනාව ඔබ පිළි ගත්තද?

ඔහු අංගරචනා කටයුතුවලට මට කතා කළේ ඒ වෙලාවේ පටන්ම ඊට සහය කර ගන්නයි. මම හිතන්නේ ඒ වනවිට වෙලාව දවල් 12.30 විතර වුණු බව මට මතකයි. මමත් දෙපාරක් හිතන්නේ නැතිව ඒ ආරාධනාව පිළි ගත්තා. ඒ නිසයි අද දක්වාම මේ රැකියාවේ මා නිරත වන්නේ.

කාලයකදි ලෙනී කුරුප්පු සිනමාවෙන් සමුගන්නවා ?

ඔව්. ඒත් ඔහු මාව රෙජී සිල්වා ළඟට එක්ක ගෙන ගියා. ඔහුටත් ඒ වනවිට සහය අංගරචනා ශිල්පියෙක් සිටියේ නැහැ. ඒ නිසා රෙජී මාව ඔහුගේ සහය අංගරචනා ශිල්පියා විදියට තියා ගත්තා. ඔහුත් සමඟ මම චිත්‍රපට විස්සක විතර වැඩ කළා.

මේ අතර ඔබට තවත් ප්‍රවීණයෙකු මුණ ගැසෙනවා?

ඒ ඩබ්ලිව්. සෙල්වරාජ් මහත්තයා. ඔහුත් සමඟත් මා චිත්‍රපට දහයක විතර වැඩ කළා. ඊළඟටයි මට හැඳල චිත්‍රාගාරයේ ඉන්න සුබ්බයියා මුණ ගැසෙන්නේ. ඔහුත් සමඟත් මම චිත්‍රපට කිහිපයකම වැඩ කරනවා. ඊට පස්සෙයි මට සේන සමරසිංහව හඳුනා ගන්න ලැබෙන්නේ. ඔහුගේ ‘චංචල රේඛා’, ‘ඇතින් ඈතට’ වගේ චිත්‍රපටවලට සහභාගි වෙන්න ලැබෙන්නේ මේ හඳුනා ගැනීමත් සමඟයි.

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකත් ඔබට අංගරචනා ශිල්පියෙකු ලෙස කටයුතු කරන්න ලැබෙනවා නේද?

ඒ ‘මයුරිගේ කතාව’, ‘උතුමාණෙනි’, ‘මිස් මල්ලිකා’ චිත්‍රපටයි.

ලෙනී කුරුප්පුගේ සහයකයා ලෙස යන ආධුනික ඔබට මුලින්ම පැවරෙන පාඩම මොකක් ද?

ශ්‍රී පතුළ’ චිත්‍රපයටයි මා මුලින්ම සහභාගි වන්නේ. එහදී ටිෂූ එකක් අරගෙන එහි රඟපෑ රෙස්කොඩිප්පිලිගේ මුහුණේ දහඩිය ටච් කරන්න යැයි ලෙනී කුරුප්පු මහත්තයා මට කිව්වා. මුලින්ම ඒ කටයුත්ත කරන්න මට ටිකක් බය හිතුණා.රෙස්කොඩිප්පිලි මගේ අතින් අල්ලලා ‘යකෝ කිට්ටු වෙයන් මට’ කියලා කිව්වා.

තනිවම අංගරචනා කරන්න ලැබුණු චිත්‍රපටයේ මුහුණ මතක ද?

ඒ ‘මගේ අම්මා’ චිත්‍රපටයේ රඟපෑ අනුෂ්කා මැදිවකගේ මුහුණයි. එතැන් පටන් රුක්මණී දේවි, ගාමිණී, ජෝ, ටෝණි, විජය, මාලිනී. ගීතා, ශ්‍රියාණි, නීටා, වීණා, සෝනියා දිසා අතුළු ඒ කාලයේ සිටිය නළු - නිළියන් සියල්ලන්ම මගේ අතෙන් අංගරචනය වුණා.

හාහාපුරා කියා තනිවම චිත්‍රපටයක් භාර ගත්ත දවස මතක ද?

ඒ ‘මිස් මල්ලිකා’ චිත්‍රපටයයි. මගේම කියලා අංගරචනා බඩු බාහිර ආදිය අරගෙන අංගරචනා කටයුතු කළේ ‘සුද්දා’ චිත්‍රපටයේයි.

සිනමාවට ආයුබෝවන් කියන ඔබ කාලයකදි දැන් ඉන්න ආයතනයට යොමු වෙනවා ?

චිත්‍රපට හතළිස් පහක විතර වැඩ කළාට පස්සේ රූපවාහිනි ආයතනයට අංගරචනා ශිල්පින් ගන්නවා කියලා පත්තරේ දැම්ම දැන්වීමට මම අයැදුම්පතක් එවනවා. මේ අතර ස්වාධීන රූපවාහිනිය රජයට ගන්නවා. එහි ප්‍රවෘත්ති අංශය පටන් ගත්ත නිසා අංගරචනා ශිල්පීන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියකින් ඩෙරික් ප්‍රනාන්දු එතැනට ගන්නවා. කාලයකදි ඔහු ශිෂ්‍යත්වයක් ලැබෙන නිසා ඒ ඇතිවන අඩුව පුරවන්න මමත්, නිමල් රාජපක්ෂවත් ස්වාධීන රූපවාහිනියට අර ගන්නවා. ඊට පස්සෙයි 81 වසරේ අන්තිම වනවිට රූපවාහිනියට පැමිණෙන්නේ.

මේ වනවිට ඔබ ජාතික රූපවාහිනියට ඇවිත් දිගු කාලයක් ගතවෙලා නේද?

අවුරුදු තිස්පහක් පමණ වෙනවා. සිනමාවෙන් ගෙනාව දේ රූපවාහිනියට අවශ්‍ය විදියට වෙනස් කර ගත්තා.

ඔබ වැඩ කළ ටෙලි නාට්‍යයත් බොහොමයි ?

‘ළාහිරු දහසක්’ ටෙලි නාට්‍යයෙන් ආරම්භ කළ ඒ කටයුත්ත අවසන් කළේ ‘බෝගල සවුන්දිරිස්’ගෙන්. ‘ගම්පෙරළිය’, ‘යශෝරාවය’, ‘රන් කහවණු’, ‘අත්ත බිඳෙයි’ආදී ටෙලි නාට්‍ය රාශියක්ම හැඩවැඩ වුණේ මගේ අංගරචනයෙන්.

රූපවාහිනියකට අංගරචනය වෙනුවෙන් මුලින්ම සම්මානයක් රැගෙන එන්නේ ඔබයි?

ඒ විජය රූපවාහිනි සම්මාන උලෙළේ දී ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍ය වෙනුවෙන්. ඊට පස්සේ 1996 දි සිග්නීස් සම්මාන උලෙළේ දි ‘ගජමන් නෝනා’ වෙනුවෙන් වගේම ‘ඉසිවර අසපුව’ සඳහාත් අංගරචනයට සම්මාන ගෙනාවා. ප්‍රථමයෙන්ම රාජ්‍ය සම්මානයක් ගේන්නත් මට හැකියාව ලැබුණා. ඒ ‘බෝගල සවුන්දිරිස්’ ටෙලි නාට්‍යය වෙනුවෙන්.

මේ නිර්මාණ කටයුතුවලදි සිදුවුණු විශේෂ සිදුවීම් ගැන මතකය අවදි කරමු ද?

‘බෝගල සවුන්දිරිස්’ නාට්‍යයේදි දවසක් එහි තිබුණු පතලට බහින්න අපට සිදුවුණා. අපිත් එක්ක හිටිය නෝමන් පලිහවඩන මහත්තයා පතලට බැස්සේ ටිකක් බයෙන් වගේ. අඩි විස්සක් විතර බැස්සට පස්සේ වවුල්ලු කිහිපදෙනෙක් එහාට මෙහාට යන්න පටන් ගත්තා. ඒ නිසා අපි ටිකක් නෝමන් මහත්තයාව බය කළේ මේ පතල්වල යම් යම් සිදුවීම් සිද්ධ වන බව පවසමින්. ඒ ගැන ඇහුව විතරයි ඔහු එකපාරටම ආයෙත් උඩට නැග්ගේ සැනෙන්. එදා නම් අපට හිනා නොවි සිටීමට බැරිවුණා.

අංගරචනයේ දි කරදරයක් බවට පත්වුණු නළු - නිළියෝ ඔබට මුණ ගැසිලා තියෙනව ද?

බොහෝ පැරැණි අය නම් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉටු කරනවා. එත් ඒ අතර නිර්මාණයේ රූප රාමුවට ඔවුන්ව සුදු කරන්න කියලා කියන අය තමයි වැඩිපුර ඉන්නේ. නැත්නම් කියන්නේ කහ කරන්න කියලයි. ඒ කාරණයට නම් තරුණ, මහලු කියලා වෙනසක් නැහැ.

ඒ වගේ අවස්ථාවලදි ඔබ මොකද කරන්නේ ?

නිශ්ශබ්දව සිටීමයි අපට කළ හැක්කේ. නැත්නම් රූපලාවණ්‍ය ශිල්පයේත්, ටෙලි නාට්‍යයේ අංගරචනයෙත් වෙනස ගැන අපි ඔවුන්ට කියලා දෙනවා.

ඇයි මෙහෙම වෙන්නේ ?

අංගරචනය කියන්නේ තාක්ෂණයත් සමඟ යන විෂයයක්. අපි නළුවාට හෝ නිළියට වගකිව යුතු විෂයයක්. ඔය කහ කිරිල්ල තියෙන්නේ ඉන්දියන් නාට්‍යවලයි. ඒ නිර්මාණවල අම්මාගේත්, දුවගෙත් වෙනසක් නැහැ. ඒ නිසා ඒ වගේ දේවල් අපේ නිර්මාණවලටත් අද බෝවෙලා.

ඔබගේ තනතුර සඳහන් වෙන්නේ සහකාර අධ්‍යක්ෂ අංගරචනා යනුවෙන්. තව කොපමණ කාලයක් මේ කටයුත්තේ ඉන්නද කල්පනා කරන්නේ ?

මට විශ්‍රාම යන්න තව වැඩි කාලයක් නැහැ. ඊට පස්සේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නයි හිතාගෙන ඉන්නේ.