වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මොකුත් ඕනෑ නෑ පුතේ මට ළඟක පාතක නැතුව ඔබ මට

මොකුත් ඕනෑ නෑ පුතේ මට
ළඟක පාතක නැතුව ඔබ මට

බුද්ධදාස ගලප්පත්ති

තීර්ථය අසබඩ සිට ලියා එවන වග නම්...

සම්මාන ලාභි ජනමාධ්‍යවේදියෙකු වන බුද්ධදාස ගලප්පත්ති නවකතාව, කෙටි කතාව, ගීතය මෙන්ම කවියද සිය ප්‍රකාශ මාධ්‍යයන් බවට පත්කර ගත්තේය. 70 දශකයේ නූතන පරපුරේ කවියෙකු ලෙසින් ඔහුහට ඉහළ ජනප්‍රියත්වයක් හිමිවිය. 1971 වසරේදී ආචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ජයලත් මනෝරත්න සමඟින් ‘දොළොස්මහේ පහන’ සමූහ කර්තෘත්ව කවි සංග්‍රහයෙන් පසුව ඔහු ප්‍රථම ඒක පුද්ගල කාව්‍ය සංග්‍රහය ‘කැටපත් පවුර’ එළිදැක්වූයේ 1972 වසරේදීය. එතැන් සිට 2007 වසරේ ‘නිම්නැති තුන්යම’ දක්වා ‘පාර වසා ඇත’, ‘රැජිනක් හැඬුවාය’, ‘දෙදෙනාම දියණියෝ’, ‘නිශ්චලයි රාත්‍රිය’, තුරුලිය අකුරු විය’, ‘දවස හෙටයි’ යන කාව්‍ය සංග්‍රහයන් කවියට පෙම්බැඳි සහෘදයන් වෙත තිළිණ කළේය.

හෙට (15) තවත් සුවිශේෂ දවසකි. අට වසරකට පසු ඔහු කවි එකතුවක් සමඟින් ඇවිත්. බුද්ධදාස ගලප්පත්ති සිය නවතම කාව්‍ය එකතුව ‘තීර්ථය අසබඩ’ ලෙසින් නම්කර ඇත.

ඔබ කවි එකතුවක් තිළිණ කරනනේ වසර අටකට පසුවයි. ඒ වෙනුවෙන් මේ තරම් කාලයක් ගන්නට හේතුව?

මම නිම්නැති තුන්යම පළ කළේ 2007 වසරේදීයි. ‘තීර්ථය අසබඩ’ එළිදක්වන්න අවුරුදු අටක් ගත වුණා. ඒක ලොකු කාලයක් තමයි. නමුත් හැමදාම මගේ කවි පොත් එළිදැක්වීම අතර ලොකු කාල පරාසයන් තිබුණා. අවුරුද්දකට කවි පොතක් හෝ දෙකක් එළිදක්වන්න ඕනෑ යැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම කවි ලිවීම මහා දුෂ්කර අභ්‍යාසයක්. නිරන්තරයෙන් කවි සංකල්පනා හිතට එන්න පුළුවන් වගේම කවි කුරුටු ගෑවෙන්නත් පුළුවන්. නමුත් නිර්මාණකරුවන් ලෙසින් අපි පාඨකයන් අතරට යා යුත්තේ අපේ නිර්මාණ ගැන අපිම තෘප්තිමත් වූ පසුවයි.

විශේෂයෙන්ම කවිය සියුම් භාව ප්‍රකාශන මාධ්‍යයක්. ඒක වර්තමානයේ එක රැයකින් සුපර් ස්ටාර්ස්ලා බිහිවීම වගේ සිදු වෙන්නේ නැහැ. ඒ වගේම වඩාත්ම සියුම් ප්‍රකාශන මාධ්‍ය වෙන්නෙත් කවිය. ඒ නිසා ඒ වෙනුවෙන් ලොකු කාලයක් වෙන් වෙනවා.

‘තීර්ථය අසබඩ’ ජනගත කිරීම ගැන සඳහන් කළොත්?

මහවැලි කේන්ද්‍රයේදී හෙට (15) හවස 3.00ට ‘තීර්ථය අසබඩ’ දොරට වඩින්න සූදානම්. දොරට වැඩීමේදී කෘතිය ගැන කතා කරන්නේ නැහැ. මේ සම්ප්‍රදාය මම හැමදාම පිළිපදින්නක්. මෙදින ප්‍රධාන සහ එකම දේශනය පැවැත්වෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ කවියා වන පරාක්‍රම කොඩිතුවක්කු විසින්. එම දේශනයට තේමාව වන්නේ ‘කාලය සමඟ ගමන් කිරීම’ යන්නයි.

ඔබගේ අනෙකුත් කාව්‍ය කෘති දොරට වැඩියේ නම් ඔබගේ ජීවිතයේ විශේෂ දිනයන් මුල්කර ගෙනවීම විශේෂ වුණා. හෙටත් ඔබට එවැනි විශේෂ දිනයක්ද?

හෙට දවස විශේෂ වන්නේ ‘තීර්ථය අසබඩ’ දොරට වැඩීම නිසා පමණයි. මෙම කවි එකතුව එළිදැක්වීමට විශේෂිත දවසක් වෙන්කර ගැනීමට අපහසුතාවයක් ඇති වුණේ ප්‍රධාන ආරාධිතයාගේ පැමිණීම නිසා. මන්ද ඔහු මාස කිහිපයක විවේකයක් වෙනුවෙන් විදෙස්ගත වෙන්න සූදානම්ව සිටින්නේ. මගේ ඉල්ලීම නිසා ඔහුට ‘තීර්ථය අසබඩ’ දොරට වැඩීමට සහභාගි වීමට පහසු දිනයක් යොදා ගන්න සිදු වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ කවියාගේ ඉල්ලීමට අනුව විශේෂිත දිනයෙන් බැහැර වෙන්න මට සිදු වුණා.

හැත්තෑව දශකයේ කවිය සමාජ යථාර්ථයේ පිළිබිඹුවක් වුණා කිව්වොත් නිවැරදියි. ඔබත් හැත්තෑව දශකයේ කවියෙකු ලෙසින් සමාජ යථාර්ථය පිළිබඳ කතා කළත් මෙම නව කවි පෙළ එතැනින් එහා පැත්තක සංවේදිතාව ගෙන එනවා?

මුල් කාලයේ කවිවල සමාජ විෂමතාමව පිළිබඳ කවි ලියවුණා. නමුත් මෑත කාලයේ ඊට වඩා සමාජ, ආර්ථික දේශපාලන පසුබිම විවිධ විපර්යාසවලට භාජනයවී තිබෙන බවත් දකින්න පුළුවන්. දේශපාලනය ඒ අතර කැපී පෙනෙනවා. හැත්තෑව දශකයේදී අපි සමාජ විෂමතාව, පොදු ධර්මතාව, ඇති නැතිකම, ශිෂ්‍ය අරගලය ආදි දේ ගැන කතා කළා. නමුත් මෑත යුගයේදී දේශපාලනය මේ කාරණාවලට විවිධාකාරයෙන් බලපෑම්කර තිබුණා. රාජ්‍ය වෙනස් නොවීම, අධිකරණයට මෙන්ම මාධ්‍යයට නිදහස සීමාවීම, ප්‍රකාශන අයිතීන් නැතිවීම, භාෂණයට, ලේඛනයට තහංචි පැනවීම වැනි දේ ඔස්සේ සමාජයේ දකින්න ලැබුණේ සංකීර්ණත්වයක්.

ඒ වගේම වෙනස්ම ආකාරයේ ගැටළු, අභියෝගවලට මුහුණ පාන්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය නිර්මාණකරුවෙකුට දැනෙන්නේ වෙනස්ම ආකාරයකින්. හැත්තෑව, අසූව සහ අනූව දශක මම දුටු ආකාරය මගේ පෙර කවි පොත්වලින් පිළිබිඹු වෙනවා. අද ඒ තත්ත්වය මට දැනෙන්නේ වෙනස් විදියටයි. එය මගේ අලුත් කවි එකතුවෙන් පිළිබිඹු වෙනවා. පටාචාරා චරිතය ගත්තොත් ඇය මගේ පැරණි කවි පොත්වලත් සිටියා. ‘තීර්ථය අසබඩ’ කවි එකතුවේදීත් පටාචාරා දෙස දෙයාකාරකින් බලනවා.

“තී රාගාධික ගැහැනියක නොවීද
නොවීය තී හද ගැබ
ආලයක් ප්‍රේමයක්
තිගේ මා පිය සිටු මැදුරෙහි
මෙහෙකාරකම් කළ මා හට
වී ද තී හද මැදුරෙහි
සැලමුතු ප්‍රේමයක්?”

පටාචාරා ආත්මාර්ථකාමී ගැහැනියක වුණා නේද කියලත් දැන් හිතෙනවා. රාජ්‍ය තන්ත්‍රයට හිමිකම් කියන ඇය මෙහෙකාර තරුණයාගේ කම්සැපට ලොල් වෙලා ගියත් ඇය අතරමං වෙන්නේ නැහැ. ඈ සසරින් එතෙර වුණා. තමා සමඟින් දරුවන් සසරේ අතරමං වූ බව සැමියා විමනසවා.

“සිටු මැදුර සැප හැරපියා
කම් සැපතට ම ලොබ වී
මා හා දරු දෙදෙන බිලි දී
අතරමං වී ද තී දිවි කතරෙහි
නැති සසරින් එතෙර වූවා තී
තනිව ම අප අතහැර”

කවියා කියන්නේ තුන්වැනි ඇසකින් බලන පුද්ගලයෙක්. හැම දෙනාම අනුකම්පාවෙන් බැලූ පටාචාරා දෙස කිසිවෙකුත් මෙලෙස බලා නැතුව ඇති. නමුත් ඒ පටාචාරා තවත් අයුරකින් මෙහිදී කවියට නැඟුණා.

“උකසට තබා ගේ දොර
අම්මා එවූ මුදලට
සිව් වසරක්ම දුක් විඳ
දිනාගත් කොළ කැබැල්ලක් වේ
ඉන් කෙලෙස රකින්නද
ළඳක් ඔබ වන් සියුමැලි?

සිටු මැදුරටම වී ඉන්න ඔබ
සැදෑ කල ඇවිදින්න සඳළුතලයේ
පෙරදා මෙන් මට අත වනමින්
දුහුල් ඇඳුමින් සැරසී
අත් නොහැර පුරුදු සක්මන

නොපෙනුනත් කෙදිනක හෝ
සක්මන් කරනු ඔබ එහි
ලියන්නම් මම පටාචාරා වත
අලුත් අරුතක් ඊට එක්කොට”

මෙම කෘතිය ‘තීර්ථය අසබඩ’ ලෙසින් නම් කරන්න විශේෂ හේතුව?

මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මම විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන් පුද්ගලයෙක්. පසුගිය දශකයේදී හදිසි අනතුරකින් සිදු වූ බිරිඳගේ වියෝව, ඊට නුදුරු කාලයේදීම හදිසි අනතුරකින් මගේ බාල සහෝදරයාගේ ජීවිතය අහිමිවීම මගේ හදවත කම්පනයට පත් කළා. විශේෂයෙන් බිරිඳගේ හදිසි වියෝව නිසා දරුවන් දෙනො සමඟින් මට තනිව ජීවිතයට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් මම යාත්‍රිකයෙක් ලෙසින් නොසැළී ජීවිත ගංඟාවේ ජීවන යාත්‍රාව තොටුපොළ දක්වා පදවාගෙන යනවා. කිසි දෙයකින් මම පරාජයට පත් වුණේ නැහැ. දරුවන්ට තියෙන සෙනෙහස, හිතමිතුරන්ට තිබෙන ළෙංගතුකම නැති වුණේ නැහැ. ඒ වගේම මගේ නිර්මාණ කාර්යයන් සාර්ථකව කරගෙන යනවා. මේක ඇත්තටම පොඩි අරගලයක සංකේතයක්.

ඔබ එදා ‘දොළොස්මහේ පහන’ වගේම ‘කැටපත් පවුර’ එළිදැක්වූ දිනය සහ අද ‘තීර්ථය අසබඩ’ එළිදක්වන අවස්ථාව අතර දැනෙන වෙනස?

මේ අවස්ථාවන් දෙක අතරේ විශාල වෙනසක් තියෙනවා. ඒ දවස්වල සාමාන්‍යයෙන් එළිදැක්වීම් තිබුණේ නැහැ. පොත සාමාන්‍ය පරිදි මුද්‍රණයෙන් පිටවෙලා පොත් සාප්පුවට යැවීම තමයි එදා සිදු කෙරුණේ. මම මගේ කවි පොතක් ලෙස ප්‍රසිද්ධියේ ජනගත කළේ ‘නිම්නැති තුන්යම’ කෘතිය යි. කෙහොම වුණත් අද විවිධ මාධ්‍ය ඔස්සේ කෘතියක් පාඨක ප්‍රජාව වෙත ළං කිරීමේ අවස්ථා උදා වෙලා තියෙනවා. අපට ළෙංගතු පාඨකයන් සමඟ මේ අවස්ථාව බෙදාහදා ගන්න ලැබීම ගැන තෘප්තිමත්. නමුත් එදින මගේ කෘතිය ගැන කතා කරනවාට නම් මම කැමැති නැහැ. මොකද කියවා නැති පොතක් ගැන පාඨකයන් ඉදිරියේ විචාර කිරීම පිළිබඳ මගේ පැහැදීමක් නැහැ. එලෙස විචාර කළත් ඇතැම් දේශකයන් රචකයා සිටියදී කෘතියේ අඩුපාඩු පෙන්වා දෙන්න පෙළඹෙන්න් නැතිකමක් තියෙනවා. එවැනි ගැටළු නිසා මගේ කෘති දොරට වඩින්නේ හරවත් දේශනයක් සමඟින්. කෙහොම වුණත් එදාට වඩා අද කවි එකතුව දොරට වැඩීම ගැන විශාල සන්තෝශයක් දැනෙනවා.

‘තීර්ථය අසබඩ’ කවි එකතුවේ ඔබ වඩාත් සංවේදි කළ කවි සංකල්පනාව ගැනත් සිහිපත් කරමු?

මේ කවි එකතුවේ මා වඩාත් සංවේදී කවියෙන් තමා කෘතිය අවසන් වෙන්නේ. එය මගේ පුතු සමඟින් බැඳී තියෙනවා. ඔහු විදෙස් අධ්‍යාපනය ලබා දැන් එහි රැකියාවක නිරතව සිටිනවා. තාත්තයි පුතයි වුණත් අපි දෙන්නා හොඳම යහළුවෝ දෙදෙනෙක් වගේ. නිවාඩුවට ඇවිත් ගියත් ඔහු නැති පාළුව මට ලොකුවට දැනෙනවා. මගේ උපන් දිනයට පුතා මගෙන් අහනවා එනකොට මොනවද ගේන්න ඕනි කියලා.

“මේ සැරේ උපන් දිනයට
තාත්තාට මොනවද එවන්නේ”

රැවුල කපන්න ට්‍රිමර් එකක් හරි ස්මාර්ට් ෆෝස් එකක් එවන්නද කියලා අහනවා. ඒ වෙලාවේ මට මතක් වුණේ මීට වසර විස්සකට පමණ පෙර මම විදෙස්ගත වූ කාලයක සිදුවීමක්. පුංචි පුතා මට කියනවා රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් ගේන්න කියලා. සපත්තුවේ සයිස් එක අම්මා එවලා ඇති කියනවා. ඒ එයාගේ ළමා කාලයේ අපේක්ෂාව. ඉතිං මගේ පුතා අද වැඩිහිටියෙක් වෙලා මගෙන් අහනවා තාත්තාට මොනවාද ගේන්න ඕනි කියලා. ඇත්තටම පුතා ළඟ නැතුම මට විශාල පාළුවක් දැනෙවා. එය මානුෂිය සම්බන්ධයක ප්‍රතිඵලයක් නිසා සංවේදි වූ අවස්ථාවක්.

“මොකුත් ඕනෑ නෑ පුතේ මට
ළඟක පාතක නැතුව ඔබ මට”

වර්තමාන සමාජයේ කවියට තිබෙන ඉඩකඩ පිළිබඳ ඔබේ හැඟීම?

කවුරු මොනව කිව්වත් කවිය අපෙන් ඈත් වෙන දෙයක් නොවෙයි. හොඳ කවියට තාම තැනක් තියෙනවා. වල්පල් ලිව්වොත් නම් පාඨකයන් දුරස් වේවි. යොවුන් පරපුරේ කවි කිවිඳියන් රැසක් අද බිහි වෙලා ඉන්නවා. වැඩිහිටියෙක් ලෙසින් මට ඒ ගැන ආඩම්බරයක් දැනෙනවා.

අන්තර්ජාලය වර්තමානයේ කවිය ප්‍රචලිත කිරීමේ ප්‍රමුඛ මාධ්‍යයක් බවට පත් වෙලා. මේ පිළිබද ඔබේ මතය?

අන්තර්ජාලයේ කවිය ගත්තොත් විශේෂයෙන් මුහුණු පොතේ කවියට මගේ කැමැත්තක් නැහැ. එහි නිර්මාණවලින් බහුතරය බොල් නිසරු නිර්මාණ. ඒවා කවි ලෙසින් සළකන්න බැහැ. මුහුණු පොතේ තම තමන්ට ඕනි දෙයක් ලියන්න පුළුවන්. ඒවා කවුරුවත් සංස්කරණය කරන්නේ නැහැ. ඒවා තමන්ගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේ ප්‍රතිචාර, ලයික් මත තක්සේරු වෙනවා. පට්ට කියයි, එළ කියයි නැත්නම් සුපර්බ් කියයි. ලයික් වැඩි වූ පමණින් හොඳ කවියක් වෙන්නේ නැහැ. නියමාකාර කාව්‍යකරණයට පිවිසෙන කෙනෙක් ඒවාට රැවටෙන්නේ නැහැ.