වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය – ජීවන් කුමරතුංගයන්ගේ රංගනය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

පී. වයි. අනුලාවතී, කුඩගම, අවිස්සාවේල්ල

අර්ජුන් - හොඳ අධ්‍යක්‍ෂවරුන් යටතට ලැබුණා නම් ජීවන්ට හොඳ නළුවකු වීමට බෙහෙවින් ඉඩ තිබුණා.

ප්‍රශ්නය – ‘සිංග මචං චාලි’ මෙය කිනම් භාෂාවකට අයත්ද. මෙහි සිංහල තේරුම කුමක්ද? අනේ අර්ජුන් සහෝ, ඔබ දන්නේ නැත්නම් ලාල් වීරසිංහ ගෙන්වත් අහලා පිළිතුරු දෙනවාද?

සුනිල් චනද්‍රසේකර, යාගොඩමුල්ල, කොටුගොඩ

අර්ජුන් – ‘සිංග මචං සේරු සේරු’ ගීතයට අනුව චිත්‍රපටයේ එන ටෙනිසන් කුරේ පවසන වදනක් මේ.

ප්‍රශ්නය – ‘සුරතලී’ චිත්‍රපටයේ එක්තරා ජවනිකාවක ප්‍රවීණ ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල එම ජවනිකාවේ රඟපාන බව මම තේරුම් කර දුන්නත් මගේ මිතුරා කියන්නේ එම ජවනිකාවේ රඟපා ඇත්තේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා කියායි. අර්ජුන් අයියේ මේක ටිකක් තේරුම් කර දෙන්න?

ආරී එගොඩවත්ත, දෙමටගොඩ

අර්ජුන් - මම හිතන්නේ මේ ජවනිකාවේ රඟපාන්නේ ජෝතිපාල. ක්‍රිස්ටි මේ චිත්‍රපටයේ රඟපා නැහැ.

ප්‍රශ්නය - මෙරට චිත්‍රපට නිෂ්පාදනය කර මහජන ප්‍රදර්ශනය සඳහා සිනමාහල්වලට අවස්ථාවක් නොදී, ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා එම චිත්‍රපට ඉදිරිපත් කිරීම ගැන ඔබගේ අදහස කුමක්ද?

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල

තටාකය පාර, කෑගල්ල

අර්ජුන් - සිනමා ශාලා අවස්ථා උදාකර ගන්න කලින් විදේශ රටවල්වලට තෝරා ගන්නේ චිත්‍රපට කිහිපයක් පමණයි. මම නම් එහි කිසිම වැරැද්දක් දකින්නේ නැහැ.

ප්‍රශ්නය - සුපිරි නළු රන්ජන් රාමනායක ගේ ඔබ කැමැතිම හා අකැමැතිම චිත්‍රපට දෙක මොනවාද?

ආනන්ද වික්‍රමආරච්චි, ඉහළ තල්දූව

අර්ජුන් – මම කැමැතිම ඔහුගේ ‘පිටගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට. අකැමැතිම ‘ජය කොතනද’ චිත්‍රපටයට.

ප්‍රශ්නය – ලතා වල්පොල ගායනා කළ ‘පුන්සඳ එළියයි’ සංදේශය චිත්‍රපටයේ ඇතුළත් මෙම ගීතයට නැටුමක් ඉදිරිපත් කරමින් රඟපෑ නිළිය කවුද?

අතුල රම්‍යසිරි,

පානදුර

අර්ජුන් – කාන්ති ගුණතුංග

ප්‍රශ්නය – අර්ජුන්, ඔබ ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතන්නෙ?

නිලූකා, අවිස්සාවේල්ල

අර්ජුන් – මම මෑත කාලයේ කිසිම ටෙලි නාට්‍යයක් නරඹා නැහැ.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10