වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මේ වසරේ රිදී තිරයට එන ශක්තිමත් කාන්තා චරිත

මේ වසරේ රිදී තිරයට එන ශක්තිමත් කාන්තා චරිත

2015 වසර ඉන්දියානු සිනමාව ස්ත්‍රී කේන්ද්‍රීය චිත්‍රපට නිර්මාණය කළ වසරක් බවට ප්‍රකටයි. ශක්තිමත් කාන්තා චරිත බොහොමයක් ගෙවී ගිය වසරේ සිනමාවට එක්වුණා. ‘පීකු’, ‘මසාන්’, ‘NH10’, ‘තනූ වෙඩ්ස් මනූ රිටන්ස්’ ‘කැබරේ’ සහ ‘මාගරිටා විත් අ ස්ට්‍රෝ’ ඒ අතරින් ප්‍රධාන වුණා. 2016 නව වසරේදී ද එවැනිම තවත් ශක්තිමත් කාන්තා චරිත කිහිපයක්ම රිදී තිරයට පැමිණීමට නියමිතයි.

නීර්ජා : නීර්ජා බෙනොත්ගේ චරිතය රිදී තිරයට නැගෙන විටදී ඇයගේ චරිතයට පණ් පොවන්නේ සෝනම් කපූර් විසිනි. නීර්ජා බෙනොත් ඉන්දියාවේ ප්‍රසිද්ධ ගුවන් සමාගමක සිටි ප්‍රධාන ගුවන් සේවිකාවක වූ අතර 1986 වසරේදී Pan AM Flight 73 ගුවන් යානය මංකොල්ලකරුවන් පිරිසකගේ යටතට පත්වීමෙන් පසු කරච්චිහිදී ඔවුන් විසින් ඇය ජීවිතක්ෂයට පත් කරනු ලැබුයේ, ඇය මගීන්හට ගුවන්යානයෙන් පිටවීමට උපකාර කිරීම හේතුවෙන්. නීර්ජා ලබන පෙබරවාරි මාසයේදී තිරගත කිරීමට නියමිතයි.

ජායි ගන්ගජල් : ප්‍රියංකා චොප්රා ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි උසස් කාන්තා පොලිස් නිළධාරිනියකගේ චරිතය නිරූපණය කරනවා. ප්‍රකාශ් ජා අධ්‍යක්ෂණය කරන ජායි ගන්ගජල් මේ වසරේ මාර්තු මාසයේදී තිරගතවීමට සූදානම්.

සරබ්ජිත් : පකිස්තානු බුද්ධි අංශයන් විසින් ත්‍රස්තවාදියකු ලෙස හඳුනා ගැනෙන සරබ්ජිත් සිංගේ ජීවිත කතාවක් වන මෙහි ඔහුගේ සොයුරිය ලෙස අයිශ්වර්යා රායිත්, බිරිඳ ලෙස රිචා චධාත් ශක්තිමත් කාන්තා චරිත නිරූපණය කරනවා. ලබන මැයි මාසයේදී සරබ්ජිත් තිරගත කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් තිබෙනවා.

චෝක් ඇන්ඩ් ඩස්ටර් : ජුහි චවුලා සහ ශබානා අස්මි ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ගුරුවරියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවක් අතර සම්බන්ධතාවය ගැන කියවෙන තවත් ස්ත්‍රී කේන්ද්‍රීය චිත්‍රපටයක්. චෝක් ඇන්ඩ් ඩස්ටර් හෙට සිට තිරගත කිරීමට සූදානම්.

දීපිකා ට දැන් 30 ක්

30 වන වියට පත් වීම බොහෝ බොලිවුඩ් නිළියන්ගේ වෘත්තීය ජීවිතයේ පසුබැස්මක් සනිටුහන් කර තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරනවා. කෙසේ නමුත් වර්තමානය මීට වඩා වෙනස් වන බවයි අද ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ගේ ජීවිත කියා පාන්නේ. පසුගිය 5 වනදා 30 වන වියට පත් දීපිකා පදුකොන් ත්, 33 වන වියෙහි සිටින ප්‍රියංකා චොප්රා ත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වයේත් වෘත්තීය ජීවිතයේත් ඉතා ඉහල ස්ථාන වල වැජඹීම මෙයට හේතුවයි.

දීපිකාත් ප්‍රියංකා සේම සිය වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර ලෙස ජාත්‍යන්තර සිනමාවට අවතීර්ණ වී සිටින බවයි බොලිවුඩයෙන් ආරංචි වන්නේ.