|
බැලීම තහනම් නිසා අපේ ගෙදර රූපවාහිනියක් නැහැ
ජයලාල් රෝහණ කියයි
“ඔහොමම යමු. ” ජයලාල් රෝහණ ඉස්සර වූයේ වෙනත් කතාබහකට ඉඩ නොතබාම ය. නව වසරේ තේ මේසය සරසා ඇති ෆෑන්කේක් පිඟාන සිටින්නේ අප පැමිණෙනතුරු යැයි මට සිතුණේ එවිට ය. ඒ ඔහු පසුපස ගිය අපට දිස් වූ කෑම මේසය දුටුවිට නිතැතින්ම අපේ සිතට පිවිසුණු සිතුවිල්ලකි. රසවත් ඔසු කෝප්පය පානය කිරීමට ප්‍රථම ඔහුගේ දියණිය හා බිරින්දෑ මේනකා ප්‍රියානි පුරසිංහ සුරතින් නිම වූ මේ රසවත් කෑම රස බලනතුරු ජයලාල් රෝහණ මේසයේ එක් කොණක අසුන් ගනියි. මේ අතුරතුර කඩිසරව එහාටත්, මෙහාටත් යමින් මේනකා කරන සංග්‍රහය අපට සිහිපත් කරන්නේ ආගන්තුක සත්කාරයට ඈ කෙරේ ඇති ළැදියාවයි. “එහෙම නම් ඔහොමම කතාව ආරම්භ කරමු. ” සුහදශීලී සංග්‍රහය අතරම අපි කතාබහ ආරම්භ කළෙමු. යළිත් ඔහු අපූරු ටෙලි නාට්‍යයක රඟපෑමකට සහභාගි වී මේ පැමිණියේ මාස කිහිපයකට පසුව ය. “ මොකක්ද මේ අලුත්ම ටෙලි නාට්‍යය ” ‘ඉසුරුයෝගය’ ටෙලි නාට්‍යයේ මුතුමිණ අපගේ මතකයෙන් ලෙහෙසියට අමතක නොවන චරිතයකි. “ලාංකේය ටෙලි නාට්‍ය රසිකයන්ට රස විඳීන්න අලුත්ම නාට්‍යයක්. සුසිරන් ද සිල්වා ඊළඟ කටයුත්තට පය තියලා තියෙනවා. ඒක නම් කරලා තියෙන්නේ ‘නැට්ටුක්කාරයෝ’ නමින්. ‘මේ සියල්ල කඩා වැටෙනතුරු නටමු.’ ඒ එහි ස්ලෝගන් එකයි. මෙහි එක් සැලසුමක් රූගත කරලා අවසන්. නව වසරට නිවෙසේ සිටිය යුතු නිසා අප සියලුදෙනාම ගෙදර ආවා. නැවතත් අනෙක් කොටසේ රූගත කිරීම් ආරම්භ කරන්නේ මේ මාසයේ මැදක දී. හොඳ වස්තු බීජයක්. කොළඹට ඇවිත් ව්‍යාපාරයක් පටන් අරගෙන කෝටිපතියෙක් වුණු මුදලාලි කෙනෙකුගේ පුතා වටායි කතාව විකාශය වන්නේ. පුතාටත් අවුරුදු හතළිහක්. මම රඟපාන්නේ ඔහුගේ චරිතයයි. ” නාට්‍ය පිළිබඳත්, අධ්‍යක්ෂවරයා පිළිබඳත් තවත් බොහෝ දේ ජයලාල් රෝහණ අප හා පවසන්නේ දිගු කතාබහකට මුල පුරමිනි. කුමන කටයුත්තක නියැළුණත් පොතපත කියැවීමත්, අධ්‍යාපන කටයුතුවල නියැළීමත් ඔහු අතපසු නොකරයි. “ මේ දවස්වල ඔබ අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නේ නැද්ද ? ”
එහි ඉගැන්වෙන්නේ බෞද්ධ දර්ශනය, ජ්‍යෝතිශය හා ආයුර්වේදය කියන විෂයයන්. ඒ වගේම වෘද්ධත්ව කළමනාකරණය. ලංකාවට ඒ විෂය අලුත් වුණාට ලෝකයට ඒ විෂය අලුත් නැහැ. ලෝකයේ හොඳම වෙළෙඳ පොළක් තියෙන විෂයයක්. 2017 වනවිට ලෝකයේ වැඩිහිටි ජනතාව සියයට තිස්පහක් දක්වා ඉහළ යනවා. ඒ වනවිට ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත්වේවි. ඒ ගැන අපේ වගේ රටක් එහෙම නොහිතුවාට ඇමෙරිකාව වගේ රටක් ඒ ගැන හිතනවා.” මොන දේ කිව්වත් මූහුණටම කියන ජයලාල් අවසාන මොහොතේ පැවසුවේ ඔහු දරන එක් මතයකි. කොයිම වෙලේ බැලුවත් කුමක් හෝ වැඩක නිරත වන ජයලාල් වැන්නකුට මේ තරම් වැඩ කිරීමට කාලය තිබේදැයි පැනයක් අපගේ සිතට නැගෙයි. “ ඔබ කාලය කළමනාකරණය කරගන්නේ කොහොම ද?” “ පැහැදිලිවම මම හොඳට කාල කළමනාකරණය කරන කෙනෙක්. ඒකටයි මිනිස්සුන්ට දින පොතක් කියලා දෙයක් තියෙන්නේ. මාර්තු වනතෙක් මගේ දිනපොතේ සියල්ලම සැලසුම් කරලයි තියෙන්නේ.පෙර සූදානම මම හරියට අගය කරන දෙයක්. සාමාන්‍යයෙන් මම උදේ තුනට අවදි වෙනවා. පෙළක් දවස්වලට බැරිව යනවා. එතකොට මගේ නෝනා මට තුනට නැඟිටින්නකෝ කියලා විහිළු කරනවා. හතර වෙද්දි නම් අනිවාර්යයෙන්ම නැඟිටිනවා. අපේ අය වැඩ කරන්න ඕන වෙලාවට සැහැල්ලුවෙන් ඉඳලා වැඩ කරන්න ඕන වෙලාවට අඬනවා.” ජීවත්ව සිටින කාලයේ කාලය අපතේ නොයවා වැඩ කිරීමට නව වසරේ ඔහුගෙන් අපට ලැබෙන්නේ අපූරු පාඩමකි. ඒ කතාබහ අතර කඩිසරව වැඩපළවල නියැළෙන මේනකා ඉඳහිට පැමිණ සිනහවක් පායි. ඔහුගේ නිවෙසේ කටයුතු කෙරෙන්නේත් කාල කළමනාකරණයකට අනුව ය. ඒ පිළිබඳ අපට පවසන්නේ මේනකා ය. “ජයලාල් නිවෙසෙන් යන්න ඉස්සර කුස්සියට අවශ්‍ය දේවල් සම්පාදනය කරලයි නිතරම යන්නේ. ඒක හැමදාම එයාගේ සිරිතක්. ඔහු නැති වුණත් දහ පහළොස් දෙනෙකුට උයන්න කෑම අපේ මුළුතැන්ගෙයි තිබෙනවා. දේශීය කෑමවලට වගේම වසවිස නැති කෑමවලට මුල්තැන දෙන නිසා වත්තේ හැකි ප්‍රමාණයෙන් කෑමට අවශ්‍ය එළවළු, පලතුරු වවලයි තියෙන්නේ. ඒ අතර නෙල්ලි, තිත්ත නෙල්ලි, කොස්, විවිධ කොච්චි වර්ග බොහොමයි.” මුළුතැන්ගෙයට ඇගේ අත දික්වෙයි. එසැනෙන් අපට පෙනෙන්නේ නියමිත ස්ථානවල ගබඩා කර ඇති බඩුබාහිරාදියයි. ජයලාල්ට මේ පුරුද්ද පැමිණෙන්නේ ඔහුගේ පියාගෙනි. නිවෙස පිටුපස ඇති පර්චස් විස්සක ඉඩම වෙන්කර ඇත්තේ ඖෂධ පැළ සිටුවීම සඳහා ය. මේ වනවිටත් වෙන් වූ ඒ ඉඩ ප්‍රමාණය විසල් රැක් වැවුණු කැලෑවකි. ජයලාල්ගේත් - මේනකාගේත් සිත් බැඳෙන්නේ විශ්වවිද්‍යාලයේ පටන්ම ය. ඒ බැඳී හාදකම අදටත් එහෙමම ය. “ඇය නිවෙසේ කටයුතුවලින් ඔබව සම්පූර්ණයෙන්ම නිදහස් කරලා ද තියෙන්නේ ”
සිය බිරිය අගය කිරීමට ද ජයලාල් අමතක නොකළේ හොඳ සැමියකුගේ අගය ද සිහිපත් කරමිනි. මේනකා උසස් පෙළට නර්තනය හා නාට්‍ය හා රංග කලාව උගන්වන උපාධිධාරී ගුරුවරියකි. දියණිය ජනුසිකා ය. උසස් පෙළ ඉගෙනුම ලබන ඕ ගම්පහ යශෝධරා දේවි විද්‍යලයේ ශිෂ්‍යාවකි. හින්දි බස මෙන්ම සංගීතයට බෙහෙවින් කැමැත්තක් දක්වන ඇයගේ ඉදිරි ජීවිතය පෙළගැසෙන්නේ ඒ ඔස්සේ ය. පුතා තිසල් ආදිත්‍ය ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඉලෙක්ට්‍රෝනික් අංශයට බර තිසල් ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළ පන්තියේ ය. “රූපවාහිනිය නරඹන්න මා නිවෙසේ අයට තහනම් කරලයි තියෙන්නේ. ඒ නිසා අපේ නිවෙසේ රූපවාහිනියක් නැහැ. ගුවන්විදුලිය නම් අහනවා. ඒත් රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය පමණයි අපි අහන්නේ. මිනිස්සුන්ව අමතන, මිනිස්සුන්ගේ උවමනා ඇතුළේ ඉන්න එකම ගුවන්විදුලි සේවාව එපමණයි.” ඔහු එසේ පවසන්නේ වර්තමානයේ තිබෙන ජනමාධ්‍ය සේවා පිළිබඳ ඇති අකැමැත්ත ද ප්‍රකාශ කරමිනි. ඔහුගේ අවසන් කැමැත්ත සිය දරුවන්ට අනාගතයේ කිසිවකුටත් කරදරයක් නොවී ජීවත් වීමට අවශ්‍ය පාර සැදීමට ය. විශේෂයෙන්ම දුවට නිවෙසක් තැනීමෙන් පසුව මිය ගියාට කම් නැතැයි ඔහු පැවසුවේ ය. එමෙන්ම මේ දිනවල ඔහු වෙනස්ම කටයුත්තකට අත පොවා ඇත. ඒ වේදිකා නාට්‍යයක් ලිවීමේ කටයුත්තයි. “කුමාර තිරිමාදුරයි මට මේ යෝජනාව ගෙනෙන්නේ. 1987 කළ ලෝකා නාට්‍යයේ දෙවැන්න මේ දවස්වල නිර්මාණය වෙමින් යනවා.” ඒ අතර මගේ නෙත ඇදී යන්නේ ඈතින් පෙනෙන කැන්ද ශාකයක කොළයක් සුළඟට නැටවෙන දෙසට ය. එය පවසන්නේ කොස්සින්න ගම්මානයේ අසිරියයි.
|