|
සී.ටී. සර්වකාලීනයි
සැලසිනේ
සභාපති තුසිත ජයවර්ධන සීගිරි සුකුමාලියේ 16 දා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ ගායන ශිල්පී සී.ටී. ප්‍රනාන්දු සිහිපත් කරමින් පැවැත්වෙන ‘සීගිරි සුකුමාලියේ’ සී.ටී. ප්‍රනාන්දු ගී සැමරුම් ප්‍රසංගය මේ මස 16 වැනිදා සන්ධ්‍යාවේ 6.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි. එදිනට ගුවන්විදුලි සංස්ථාවේ අනුග්‍රහයෙන් සී.ටී ප්‍රනාන්දුගේ ගී ඇතුළත් සංගත තැටියක් එළිදැක්වීමටත් නියමිත අතර මේ ප්‍රසංගය පවත්වනු ලබන්නේ නොමිලයේයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සැලසිනේ රූපවාහිනි ආයතනයේ සංවිධානයෙන් හා මෙහෙය වීමෙන් සිදු කරන මේ ප්‍රසංගය පිළිබඳත්, එහි ඉදිරි කටයුතු පිළිබඳත් සැලසිනේ සභාපති තුසිත ජයවර්ධන සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි. * එදිනට පැවැත්වෙන සී.ටී. ප්‍රනාන්දුගේ මේ ප්‍රසංගය ගැන යමක් කියමු ? සී.ටී. ප්‍රනාන්දු සිහිපත් කරමින් පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයේදි ගායක - ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතයි. ඒ අතර සී.ටී.ගේ පුතා ප්‍රියන්ත ප්‍රනාන්දු සමඟ අයිවෝ ඩෙනිස්, ලක්ෂ්මන් විජේසේකර, මොරිස් විජේසිංහ, කීර්ති පැස්කුවල්, යුග ගී ගායනයෙන් ලතා වල්පොළ හා සමීතා එරන්දතී මුදුන්කොටුව යන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් සිටිනවා. ඒ වගේම ප්‍රසංගය අවසානයේදී පැවැත්වෙන ගීත දාමය උදෙසා පැරැණි පරම්පරාවත්, නව පරපුරේ ශිල්පීන් රැසකුත් ගායනයෙන් සහභාගි වෙනවා. එදිනට ‘මී වදයකි ජීවිතේ’, ‘මල්බර හිමිදිරියේ’, ‘කිමද සුමිහිරියේ’, ‘අවදිවන්න අවදිවන්න’, ‘හෙළ ජාතික අභිමානේ’ ඇතුළු සී.ටී. ප්‍රනාන්දුගේ ගීත දාහතක් ගායනා කරන්නත් සියල්ල සූදානම්. මේ අතර රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් ප්‍රමුඛ කණ්ඩායමක් ප්‍රාසාංගික රංගන දායකත්වයක් ද දක්වනවා. නර්තනයෙන් දායක වන්නේ කුලසිරි බුදවත්ත රංගායතනයේ නර්තන ශිල්පීන් හා ශිල්පිනියන්. සංගීතය සපයන්නේ නවරත්න ගමගේ ඇතුළු වාද්‍ය වෘන්දයයි. කථනයෙන් සමන් අතාවුදහෙට්ටි සහය වෙනවා. ඒ වගේම සී. ටී. ප්‍රනාන්දු පිළිබඳ ඇගයීමක යෙදෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයි. මේ සඳහා ආරාධිතයන් ලෙස කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, ආබාධිත රණවිරුවන් ද සහභාගි වීමට නියමිතයි. නොමිලේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළ ප්‍රසංගයේ මේ වනවිටත් සියලු ප්‍රවේශ පත්‍ර නරඹන්නන් රැගෙන අවසන්. * මෙවැනි සුන්දර ප්‍රසංගයක් ක්‍රියාවට නැඟෙන්නේ කවරෙකුගේ අදහසක් අනුව ද? මේ කාර්ය අපේ විෂයභාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්තයාගේ අදහසක් අනුවයි ක්‍රියාවට නැඟෙන්නේ. එතුමාගේ අමාත්‍යාංශයට සිනමාව, රූපවාහිනිය, ගුවන්විදුලිය කියන සියලුම මාධ්‍යයන් අයත්. එතුමාගේ විශේෂ උවමනාවක් වන්නේ මේ ක්ෂේත්‍රවල දියුණුවට කටයුතු කිරීමයි. ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු සංකල්ප ගණනාවක් ද තිබෙන බව සිහිපත් කළ යුතු කාරණයක්. ඉන් එකක් වන්නේ අප අතරින් සමුගත්තු කලා ශිල්පීන් හා ශිල්පිනියන්ව සිහිපත් කළ යුතුයි කියන අදහසයි. ඒ වගේම වර්තමානයේ ඉන්න කලාකරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීම කියන කාරණය ද ඊටම අයත්. ඒ වැඩපිළිවෙළේ පළමු පියවර ලෙසයි අපෙන් සමුගත්ත හා අප අතර සිටින ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන්ව සමරමින් ඒ අය වෙනුවෙන් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම සිදු වන්නේ. මේ අතර විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ ඇමතිතුමාගේ සංකල්පය යථාර්ථයක් බවට පත්කර ගන්න මේ ගමනට මාර්ගෝපදේශකත්වයක් සපයන අනෙක් අය පිළිබඳයි. ඒ මේ කටයුත්ත කෙසේද කළ යුත්තේ යැයි පවසමින් සහයෝගය ලබාදෙන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ප්‍රවීණ නිවේදක, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් සමන් අතාවුදහෙටිටි, අපේ අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව යන මහත්වරුන් ද අප බෙහෙවින් අගය කළ යුතුයි. * මේ පළමු පියවර සඳහා සී.ටී. ප්‍රනාන්දු වැනි ගායකයකු තෝරා ගැනෙන්නේ ඇයි ? ඇමතිතුමාගේ අදහස තමයි සී.ටී. ප්‍රනාන්දු කියන්නේ සර්ව කාලීන ගායකයෙකු ය කියන අදහස. සී.ටී. ප්‍රනාන්දු කියන්නේ එතුමා පෞද්ගලිකව ඇලුම් කරන ගායකයෙක්. ඒ වගේම ජනාධිපතිතුමා හා අගමැතිතුමාත් ඔහුගේ හොඳ රසිකයන් බව එතුමා වැඩිදුරටත් පැවසුවා. මේ ප්‍රසංගය ගැන ජනාධිපතිතුමාට ආරාධනා කරන්න ගිය අවස්ථාවේ ගයන්ත ඇමතිතුමාට එතුමාගේ සතුට පළ කරලා තිබුණා. ඒ මෙවන් කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. එමෙන්ම මේ කටයුත්තට සී.ටී. ප්‍රනාන්දු වගේ ගායකයෙක් තෝරා ගැනීම පිළිබඳත් ජනාධිපතිතුමා ප්‍රසාදය පළ කරලා තිබුණා. ඒ විතරක් නොවෙයි සී.ටී.ප්‍රනාන්දු කියන්නේ අපි කොයිතරම් දශක ගණනාවක් පසු කරගෙන පැමිණියත් ජෝතිපාල වගේම තවත් එක් නොමියෙන හඬක්. අදත් ප්‍රිය සම්භාෂණයකදි, චාරිකාවකදි ගීතයක් ගැයුවොත් අපට සී.ටී. ප්‍රනාන්දුගේ ගීතයක් අසන්නට ලැබෙනවා අනිවාර්යයයි. * මේ වැඩපිළිවෙළ ප්‍රසංග මාලාවක් ලෙස ඉදිරියේදීත් දකින්නට ලැබෙන්නේ කුමන ආකාරයෙන් ද? දෙවැනි පියවර යටතේ ඇමතිතුමාගේ සැලසුම වන්නේ ලතා වල්පොළ, මොහිදින් බෙග් ඇතුළු කලා ශිල්පීන් ගණනාවක් වෙනුවෙන් යම් යම් කාල පරාස ඇතුළේ මේ වගේ ප්‍රසංග සංවිධානය කරන්නයි. * එක් විදියකින් මෙවැනි ප්‍රසංග මාලාවක ආරම්භය පවසන්නේ වර්තමානයේ බොහෝදෙනාට නොඇසෙන සුභාවිත ගීතය ප්‍රචාරය කිරීම ද? වර්තමානය වනවිට ගීත රැල්ල, සංගීත රැල්ල කොයි පැත්තට ද යන්නේ කියලා අපට පෙනෙන්න තියෙනවා. අලුත් එෆ්.එම් හා විද්‍යුත් මාධ්‍ය සංස්කෘතිය නිසා බොහෝ දුරට අවරගණයේ ගීත සාහිත්‍යයක් ව්‍යාප්ත වෙමින් යන යුගයකයි අප ජීවත් වෙන්නේ. ඒ නිසයි ඇමතිතුමා කියන්නේ මේ සුභාවිත ගීත ඊළඟ පරම්පරාවට දායක කළ යුතුයි කියලා. මෙන්න මේ කාරණයයි ඇමතිතුමාගේ සංකල්පයේ ගැබ්වෙලා තිබෙන යටි අරුත වන්නේ. එපමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස ගැනෙන්නේ හැත්තෑව දශකයයි. ඒ යුගයේ බිහි වූ විශාල ගායක - ගායිකාවන් පිරිසක් අපට ඉන්නවා. ටී.එම්. ජයරත්න, සෝමතිලක ජයමහ, නීලා වික්‍රමසිංහ කියන්නේ ඒ අයගෙන් කිහිපදෙනෙක් පමණයි. ඉදිරියේදි මම ඇමතිතුමන් එක්ක එකතු වී සැලසිනේ ආයතනයෙන් ‘හැත්තෑවේ ගී සැදෑව’ නමින් සුභාවිත ගීතයෙන් පිරුණු ප්‍රසංග කිහිපයක් පැවැත්වීමේ යම් බලාපොරොත්තුවකුත් තිබෙනවා. ඒ හැත්තෑවේ දශකයේ ශිල්පීන් හා ශිල්පිනියන් සහභාගි කරගෙනයි. 16 වැනිදා පැවැත්වෙන මේ කටයුත්ත ඔස්සේ ඒ සඳහා අත්දැකීමක් ගැනීමත් අපට හැකි වේවි. * වර්තමානයේ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඇසෙන ගීත සම්බන්ධයෙන් ජනතාවගෙන් නැගෙන්නේ චෝදනාවක්. ඒ සඳහා යමක් කිරීමේ වගකීම ජනමාධ්‍ය අමාත්‍යතුමාටත් පැවරෙනවා? ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට බොහොම මධ්‍යස්ථ තැනකයි ඉන්නේ. ඊට දැඩි නීතිරීති පනවන්න, අත පොවන්න, ඇඟිලි ගහන්න යන්නේ නැහැ. එහෙම වුණත් එතුමා විශ්වාස කරන්නේ ඒ ඇතුළේ මාධ්‍ය කලාව හරි දිශානතියකට යා යුතු බවයි. එතැනදි මේ සංගීත හා ගීත සාහිත්‍යය, අවරගණයේ සිට අර්ථපූර්ණ ගීත කලාවක් දක්වා රැගෙන යෑම අපට නීතියෙන් කරන්න අමාරු කාර්යයක්. ඒ නිසා මේ සඳහා ඉස්සෙල්ලාම කළ යුත්තේ ප්‍රේක්ෂකයාගේ සිතේ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. * ඒ අදහස සාර්ථක කර ගැනීමට නම් කුමක්ද කළ යුත්තේ ? හොඳම උදාහරණය අපි සිතන්නේ වර්තමාන පරපුර ඉල්ලන්නේ මේ කාලයේ ජනප්‍රිය ගීත කියලයි. ඒ ගැන බොහෝ නාළිකාත් පවසනවා. එහි ඇත්තකුත් නැතිවා නොවෙයි. හේතුව වන්නේ එෆ්. එම්. සංස්කෘතිය හරහා හොඳ ගීත ශ්‍රවණය කරන්න තිබුණු ඉඩකඩ නැති කරලා අලුත් පරම්පරවට සුභාවිත ගීතයෙන් බැහැර වුණු ගීත කලාවක් හඳුන්වා දීමයි. එවැනි දේ සිදුවුණේ වාණිජ පරමාර්ථ මුල්කරගෙනයි. එවිට අලුතින් බිහිවුණු පරපුර සිතන්නේ මේ තිබෙන්නේ අපේ ගීත සාහිත්‍ය බවයි. ඔවුන් මේ අතර වෙනස දකින්න නම් සුභාවිත ගීතය ශ්‍රවණය කිරීමේ ඉඩකඩ නිර්මාණය කරදිය යුතුයි. ඒ යහපත් අරමුණ වෙනුවෙන් පෙනි සිටින්නට පෞද්ගලික නාලිකාවලට වඩා රාජ්‍ය නාලිකාවලට (ශ්‍රව්‍ය දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍යයයන්ට) වගකීමක් හා යුතුකමක් තිබෙන වග මමත් පිළිගන්නවා. ඒ අයත් අර රැල්ලේම ගියොත් සිදුවෙන්නේ හොඳක් නොවෙයි. ඒ වගේම මෙතැන වාණිජ තරගයකුත් තිබෙන බව අප අමතක නොකළ යුතු කාරණයක්. ඒ නිසා සමබරව යා යුතු හුඟක් පැති තියෙනවා. ඒ ගැනත් විමසමින්, සමබරව ගමන් කිරීම උඩුගං බලා පීනනවා වගේ දුෂ්කර කාර්යයක් වෙන්නත් පුළුවන්. නමුත් එය කොයිතරම් දුෂ්කර වුවත් අපට පැවරී තිබෙන්නේ ජාතික වගකීමක්. ඒ ඊළඟ පරම්පරාව සුභාවිත ගීතයත් සමඟ ඒකාත්මික කිරීමයි. මෙය මාධ්‍ය ආයතනයක් විදියට අනිවාර්යයෙන්ම කළ යුත්තක්. එහෙත් මේ සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීමට තිබෙන ඉඩකඩ අඩුයි. නමුත් ඒ හිඩැස පුරවන්න අපේ මාධ්‍ය ආයතනවලට පුළුවන්. * වගකිව යුතු ආයතනයක් විදියට ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ගීතය සම්බන්ධයෙන් වන මේ කාරණා පිළිබඳ යම් නීති මාලාවක් හෝ පිළිගත හැකි ක්‍රමවේදයක් සියලුම මාධ්‍ය ආයතනවල ස්ථාපිත කිරීමට හැකියාව තිබෙනවා නේද ? ඒ කාරණය හොඳ බව මමත් හිතනවා. නීතිරීති මගින් නොවෙයි යම් නියාමනයක් විදියට ඒ කටයුත්ත කළ යුතු බවයි මා සිතන්නේ. පෞද්ගලික නාලිකාවලට දොස් කියමින් විවේචනය කරනවාට වඩා රාජ්‍ය මැදිහත් වීමකින් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙමින් නියාමනයක් ලබාදීමයි අප කළ යුත්තේ. ඒ ඔස්සේ ඔවුන්ට මග පෙන්වීමකුයි කළ යුත්තේ. ඊට පස්සේ රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කර ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒ ඔවුන්ටත් මේ ජාතික යුතුකමට එකතු වෙන්න කියලා. ඒ මගින් මෙය විය යුතු දෙයක් බව ඔවුන්ට හැඟවිය යුතුයි. එහෙම වුණොත් ඔවුන් ඒ අදහස ප්‍රතික්ෂේප කරයි කියලා මම හිතන්නේ නැහැ.
|