|
ස්ටාර් වෝර්ස් ලිපි මාලාවේ මීළඟ කොටස ලබන සතියේ... ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට02 කොටස
බොහෝ අවස්ථාවන්හිදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලබන්නාවූ ජාත්‍යන්තර සම්මාන උදෙසා හිමිවන්නාවූ අවධානය, කිර්තිය හා ප්‍රශංසාව, දේශීය කෙටි හා වාර්තා සිනමාපට විසින් ජයග්‍රහණය කරන්නාවූ ජාත්‍යන්තර සම්මාන කෙරෙහි හිමි නොවන බව සැබෑය.එහෙයින් එකී සිනමාපට ලද ජාත්‍යන්තර සම්මානනිසි ක්‍රම වේදයකට යටත්ව සටහන් පොත් අතරට එක්වීමක් දක්නට නොලැබේ. එනමුදු ගෙවීගිය වසරේදී, මෙරට සිනමාවංශ කථාවට නව පරිච්ඡේදයන් එක්කරලමින් කෙටි සිනමාපට නිර්මාණවේදීන් දෙපළක් ලැබූ අසමසම ජයග්‍රහණයන්ද්විත්වයක් මෙසේ සටහන් තබමි. ප්‍රේක්ෂක සම්මානය - (Audience Award) - පරාමිතික- 11වෙනි මොබයිල් සිනමාඋළෙල-(පැරීස් - ප්‍රංශය) -දෙසැම්බර්, 2015 ප්‍රංශයේ මොබයිල් සිනමා උළෙල,මූලික වශයෙන්ම සිනමාපට උදෙසා වූ අන්තර්ජාතික තරඟාවලියක් (International Competition for Films) වන හෙයින් , සම්ප්‍රදායික සිනමා උළෙලයන්හීදී මෙන් තරඟකාරී අංශ හා තරඟකාරී නොවන අංශ ලෙස බෙදීමක් එහි දක්නට නොලැබේ. උළෙල නියෝජනය කරන සියලුම සිනමාපට උළෙලේ ප්‍රධානතම සම්මානය ඉලක්ක කරගෙන සටන් වදින හෙයින් උළෙලේ තරඟකාරීත්වය අතිශය තියුණු මුහුණුවරක් ගනී.
මිලියන20ක ප්‍රේක්ෂක ආකර්ෂණයකට නතුවූ 2015 මොබයිල් සිනමාඋළෙලේ වඩාත් අවධානය දිනාගත් සම්මානය බවට පත්වුයේ සිනමා ප්‍රේක්ෂකමත විමසුමට බඳුන් වූ ජනතා සම්මානයයි. මෙහිදී මිලියන 2.4ක සිනමා ප්‍රේක්ෂක ඡන්දයෙන් අමිල සී. කුමාරසිංහගේ ‘පරාමිතික’ (Parametric) නම් කෙටි සිනමාපටය උළෙලේ ප්‍රේක්ෂක සම්මානයෙන් පිදුම් ලැබුයේ ශ්‍රී ලාංකේය කෙටි සිනමාපටයක් මෑත ඉතිහාසයේ ලබාගත් වඩාත් තරඟකාරීම සම්මානයට හිමිකම් කියමිනි. ‘පරාමිතික’කෙටි සිනමාපටය ලද පෙරකී ප්‍රේක්ෂක සම්මානය , 68වසරක ශ්‍රීලාංකේය සිනමා ඉතිහාසයේ කුමන හෝ සිනමාධාරාවකට (දීර්ඝවෘත්තාන්ත/වාර්තා/කෙටි) අයත් වූ ශ්‍රී ලාංකේය සිනමාපටයක්,ජාත්‍යන්තර සිනමා උළෙලකදී මිලියන ගණනක ජනතා ඡන්දයෙන් කිරුළු පැළඳී ප්‍රථම සහ එකම අවස්ථාව ලෙසින් සිනමා ඉතිහාසයට එක්විය. නිහඬ කඳුළු බිඳු- අන්තර්ජාතික සිනමා සම්මාන18ක් - ඉලංගෝ රාමනාතන් 2014 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ඇලෙක්සැන්ඩ්‍රීයා අන්තර්ජාතිකසිනමාඋළෙලේදී ‘නිහඬකඳුළුබිඳු’(Silent Tears) නම් කෙටි සිනමාපටය උදෙසා සිය පළමු සිනමා සම්මානයට හිමිකම් කියූ ඉලංගෝරාමනාතන් 2015 වර්ෂයේ සැප්තැම්බර් මස ඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික සිනමා තරඟ උළෙලේදීසම්මානයට පාත්‍ර වූයේ එකී සිනමාපටය උදෙසා ලද 18වෙනි අන්තර්ජාතික ජයග්‍රහණය සනිටුහන් කරමිනි. මෙලෙස 2014 සහ 2015 වර්ෂයන්හීදී ලොව පූරා පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන්හීදී ඉහළම ප්‍රේක්ෂක සහ ජූරි ඇගයීමට ලක්වූ ‘නිහඬ කඳුළුබිඳු’ කෙටි සිනමා සිත්තම, 68වසරක ශ්‍රීලාංකේය සිනමා ඉතිහාසයේ කුමන හෝ සිනමා ධාරාවක් (දීර්ඝ වෘත්තාන්ත/වාර්තා/කෙටි) යටතේ අන්තර්ජාතික සිනමා සම්මානයන් වැඩිම සංඛ්‍යාවකින් පිදුම් ලද ශ්‍රී ලාංකේය සිනමාපටය ලෙස ඉතිහාසයට එක්විය.
ලොවපූරා වාර්ෂිකව විවිධ රටවල විවිධ නගරවල පවත්වන්නට යෙදෙන 3500කට ආසන්න අන්තර්ජාතික සිනමා උළෙලවල පිරිනමන සම්මානයන්හී ප්‍රමිතිය, පිළිගැනීම , තරඟකාරීත්වය හා විශ්වාසනීයත්වය එකිනෙකට වෙනස් බව නොරහසකි. මෙම නිසා ශ්‍රී ලාංකේය සිනමාපට උදෙසා හිමිවන ජාත්‍යන්තර සිනමා සම්මාන මෙරට රාජ්‍යය තන්ත්‍රය විසින් ඇගයීමට පෙරාතුරුව එකී සිනමා සම්මානයන් නිසි අධ්‍යයනයකට හා විශ්ලේෂණයකට බඳුන් කෙරේනම් එය සාධනීය පියවරක් වනු ඇත.
ජාත්‍යන්තර ඇගයීම් ලද ඇතැම් සිනමාපට මෙරට රාජ්‍ය තන්ත්‍රයේ ඇගයීම් ලබද්දී , 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාව ලද සම්මාන අතුරින් වඩාත් තරඟකාරීම සම්මාන ද්විත්වය බවට පත්වූ ‘සිටි ඔෆ් ලලීන්’ සම්මානය (ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ හෝ ගානා පොකුණ සිනමාපටය වෙනුවෙන්) සහ ප්‍රේක්ෂක සම්මානය (අමිල සී. කුමාරසිංහගේ පරාමිතික කෙටි සිනමාපටය වෙනුවෙන්) මෙරට රාජ්‍යය තන්ත්‍රයේ නිසි ඇගයීමට ලක් නොවීම කනගාටුවට තුඩුදෙන්නකි. එමනිසා මෙරට සිනමා කර්මාන්තය තුල බලගතුම රාජ්‍යය ආයතනය වන ‘ජාතික චිත්‍රපට සංස්ථාව’, ලොව පිළිගත් අන්තර්ජාතික සිනමා උළෙලයන්හීදී නිසි ඇගයීම් ලද දේශීය සිනමා අධ්‍යක්ෂකවරු බහුතරයකගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් ‘ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය’ (Film Directors Guild of Sri Lanka) සහ මෙරට සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාම උදෙසා අපිරිමිත සේවයක නියැළෙන හා අන්තර්ජාතික සිනමා උළෙලවල තරඟකාරීත්වය පිළිබඳ අත්දැකීම් බහුලම දේශීය සංවිධානය වන ආසියානු සිනමා කේන්ද්‍රය (Asian Film Centre) යන ආයතන ත්‍රිත්වයේ සුසංයෝගයෙන් මින් ඉදිරියට මෙරටට හිමිවන ජාත්‍යන්තර සිනමා සම්මානයන්හි පිළිගැනීම (recognition) නිශ්චය කරලීම උදෙසා යම් ක්‍රමවේදයක් ඇතිකරලීමට කාලය එළඹ ඇත.
|