|
||||
සොබා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මා දුටුවේ
පිපී බිඳෙන දිය බුබුලේ ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ටතම ගීතවලින් එකක් වූ අතීතයෙන් ගඟ ගලා බසී ගීතයෙහි එන අවසන් පද වැල එපරිද්දෙනි. ගීතය රචනා කරන ලද්දේ ද, ගීතය ඇතුළත් චිත්‍රපටයේ තිර රචනය කරන ලද්දේ ද, තිර රචනයට පාදක වූ නවකතාව රචනා කරන ලද්දේ ද, ඒ සියල්ල එක්තැන් කොට එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද එක් අයෙකි. කොටින්ම කිවහොත් ඔහු සියයක් මිනිසුන් එක් කළ එක් අයකු විය. ඒ මහගම සේකරයන්ය. චිත්‍රපටය තුංමං හන්දියයි. තමාගේම නවකතාවලින් තමාගේ තිර රචනය ලියා තමාම ගීත රචනා කොට තමා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට රාශියක් අපේ සිනමාවේ වෙයි. ඒ සෑම අධ්‍යක්ෂණයක්ම තම තිර නාටකය ද, ගීතය ද, නවකතාව ද කොටින්ම චිත්‍රපටය ද විනාශ කර ගත්තේ මහගම සේකරයන් යනු කවියෙකි. ලේඛකයෙකි. චිත්‍ර ශිල්පියෙකි, නාට්‍ය රචකයෙකි, පරිවර්තකයෙකි ආදී වූ වශයෙන් විවිධ භූමිකාවන් රාශියක එකවර නියැළුණෙකි. ඒ හැම අංශයකම ඔහුගේ විශිෂ්ටත්වය මැනවින් මුද්‍රා ගත කොට තිබිණි. ඔහුගේ මුල්ම කෘතිය ධවල සේනාංකය. ඒ ආතර් කොනන් ඩොයිල්ගේ ඓතිහාසික නවකතාවක් වූ ද වයිට් කම්පැනි කෘතිය සිංහලට පරිවර්තනය කිරීමකි. ඒ 1956 වසරේදීය. පුංචි අයට කවි කතාන්දර නමින් ළමා පද්‍ය කෘතියක් එළිදක්වන සේකරගේ මුල්ම පද්‍ය සංග්‍රහය එළි දකිනුයේ ව්‍යංගා නමිනි. ඒ කේ. ජයතිලක සමඟය. සද්දන්ත හා තවත් නාටක, මූදු පුත්තු ඔහුගේ නාට්‍ය කෘතීන් වෙති. මූදු පුත්තු රචනා කරන ලද්දේ ගුණසේන ගලප්පත්ති සමඟය. මූදු පුත්තු ගාෂියා ලෝකාගේ යෙර්මා කෘතියේ පරිවර්තනයකි. සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ ඔහුගේ පද්‍ය නිර්මාණයන් වෙති. තුං මං හන්දිය හා මනෝ මන්දිර නවකතා විය. මහගම සේකර ගේ ගීත එකතුවක් 1972 දී පළ විය. සේකරයන්ගේ අග්‍රඵලයක් සේ ගැනෙන ප්‍රබුද්ධ මෙන්ම හංස ගීතය හා තවත් නිර්මාණ සේකරගේ නොපළ ගීත, කෙටි කතා හා චිත්‍ර එකතුව එළි දුටුවේ ඔහුගේ මරණයෙන් පසුය. ස්වර්ණතිලකා ඔහු නිර්මාණය කරන ලද සංගීතමය නාට්‍යයකි. සේකර අතින් රචනා වූ තවත් නාට්‍ය පිටපත් රාශියකි. 1929 අපේ‍්‍රල් 7 වැනිදා ගම්පහ රදාවානේදී උපත ලද මහගමගේ සමරසේකර වඩා පතළ වූයේ මහගම සේකර නමිනි. ඔහු ජීවත් වූයේ වසර 46 කි. එනම් 1976 ජනවාරි 14 වැනිදා ඔහු ජන්මාන්තරගත විය. අදට සේකරයන් මෙලොවින් සමුගෙන හරියටම වසර 40 කි. මගේ මතකය අනුව ඔහු ජීවත්ව සිටියදී අවසන් වරට රචනා කරන ලද ගීතය පණ්ඩිත් අමරදේවයන් විසින් ගයන ලද මහවැලි ගීතයයි. සිරිපද ලස සමනොළ සිරසේ යනුවෙන් ඇරඹෙනුයේ එයයි. එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පොල්ගොල්ල වේල්ල විවෘත කරමින් එම ගීතය ගැයුවේ ජනවාරි 8 වැනිදාය. සේකර හා අමරදේව සුසංයෝගය මෙරට ගීත ක්ෂේත්‍රයේ අග්‍රඵල නෙළුහ. සේකරයන් වඩාත් කීර්තිමත් වූයේ කවියකු හැටියටය. එහෙත් ටෛම්ස් ලංකාදීපයට ඔහු අතිශය අපූරු ළමා කතා රාශියක් රචනා කර ලද්දේය. මේ අතර කෙටි කතා ද වෙයි. සතර අත පතළ අප්‍රමාණ කුසලතා පිරි මිනිසුන් ජීවත් වනුයේ කෙටි කාලයක යැයි යන විශ්වාසය පරිද්දෙන්ම සේකරයන් ද ජීවත් වූයේ කෙටි කලකි. එහෙත් එම කෘතීන් සියවස් ගණනාවක් වුව පවතින්නේය. තුංමං හන්දිය වූ කලී මහගම සේකරයන්ගේ එකම වෘත්තාන්ත චිත්‍රපටයයි. මිය යන්නට ආසන්න සමයේ ඔහු ප්‍රබුද්ධ කෘතිය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැරසිණි. එහි ප්‍රධාන චරිතය සඳහා තෝරා ගෙන තිබුණේ ධම්ම ජාගොඩය. සේකරගේ අකල් මරණයත් සමඟ එය අතරමඟ නතර විණි. තුං මං හන්දිය චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ චිත්‍ර බාලසුරියයි. ඔහු එයට පෙර 'පරසතු මල්' චිත්‍රපටය නිෂ්පාදකවරයා විය. 1980 වසරේදී ජාතික කතෝලික සිනමා පර්ෂදය මඟින් 70 දශකයේ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස විචාරකයන්ගේ ඡන්දයෙන් තෝරා ගත්තේ තුං මං හන්දිය චිත්‍රපටයයි. එමෙන්ම 1997 වසරේදී ලාංකික සිනමාවට පනස් වසර පිරීම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට දහය විචාරක ඡන්දයෙන් තේරා ගනිද්දී තුං මං හන්දිය එම දහය ඇතුළට අයත් විය. (එම දහයේ හොඳම චිත්‍රපට දෙකක් නිපද වූ එකම නිෂ්පාදක චිත්‍ර බාලසූරියයි). අත්‍යන්තයෙන්ම දේශජ වූ මානුෂික අනුභූතියක් තේමා කොට ගනිමින් එම තේමාවෙන් යථාර්ථයට සහ සත්‍යයට අංශු මාත්‍රයක හෝ කඩතොළුවක් නොවන ආකාරයකින් සූචනය කිරීම උදෙසාත්, අභව්‍ය නොවන සමාජ වංශ කතාවක ගුණාත්මක බව රැකෙන පරිදි, එම අනුභූතිය සිනමාත්මක නිරූපණයක් බවට පත් කිරීම සඳහාත්, දේශීය පසුබිමක මිනිසාගේ ඉරණම පිළිබඳ ඛේදය ප්‍රකට වන ආකාරය කෙරෙහි හෘදයාංගමව හා දයානුකම්පා පූර්වකව, සංවේදශීලී බවක් ප්‍රකට කිරීම උදෙසාත්' යනුවෙන් තුං මං හන්දිය උදෙසා 1980 වසරේදී 70 දශකයේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය පිරිනැමීමේදී හේතු පාඨයේ සඳහන්ව ඇත්තේය. තුං මං හන්දිය චිත්‍රපටයට පාදක වනුයේ අබිලිං අප්පුහාමි නම් නිර්ව්‍යාජ ගැමි කලාකරුවා වටා ගෙතුණකි. ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ටතම චරිත නිරූපණයන් අතර තුං මං හන්දියට අත් වනුයේ ඉහළ තැනකි. අබිලිංගේ සොයුරියගේ පුත්‍රයා වූ සිරිසේන තමාට නොලැබුණු ඉහළ කලාකරුවකු වීම සඳහා ලලිත කලා විද්‍යාලයට යැවීමට ඔහු මඟපාදයි. තුං මං හන්දිය පුරා අබිලිං නමැති නිර්ව්‍යාජ කලාකරුවා මෙන්ම අපේ මිනිසුන්ගේ මිනිසත් හැඟීම් පිළිබඳව ඉතා සියුම් ස්පර්ශයක යෙදේ. සේකරගේ පද්‍ය සංග්‍රහයන් ඇතුළත බොහෝ සමකාලීන කවීන් අබිබවා යන ජීවන දෘෂ්ටියක් දැක ගත හැක්කේය. තුං මං හන්දිය චිත්‍රපටය පුරාම කවියකු අබිබවා එකී ජීව දෘෂ්ටිය සහිත සිනමාකරුවකු දැක ගත හැක්කේය. තුං මං හන්දිය චිත්‍රපටයට පූර්වයෙන් මහගම සේකරගේ සිනමා හා බැඳුණේ ගීත රචකයකු හැටියටය. ඔහු මුල් වරට චිත්‍රපට ගීතයට ප්‍රවිෂ්ට වනුයේ ගැටවරයෝ චිත්‍රපටයේ එන 'ආරිච්චි බෝරිච්චි' ගීතය රචනා කරමිනි. ලාංකික සිනමා ගීත පිළිබඳ විමර්ශකයකුට චිත්‍රපටයට අදාළව රචනා කරන ලද ගීත අතර ආරිච්චි බෝරිච්චි ගීතයට ලබා දිය හැක්කේ ඉහළ තැනකි. චිත්‍රපට ගීතය පිළිබඳ සිය ළා හිරු දහසක් කෘතියෙහි සඳහන් කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ සඳහා උදාහරණ සපයයි. ගැටවරයෝ චිත්‍රපටයේ එම ගීතය ගයනු ලබනුයේ බෝට්ටු කම්හලක සේවය කරන ගැටවරයන් පිරිසක් අවුරුදු උත්සවයකදීය. අනතුරුව මහගම සේකරයන් පරසතු මල්, වෙසතුරු සිරිත, ආදරයයි කරුණාවයි, රන්සළු, බිනරමලී, සත් සමුදුර, සාරවිට ඇතුළු චිත්‍රපට රාශියකට ගී රචනා කළේය. ඔහු 'සරසවිය' සම්මාන දිනා ගත්තේ ද ගීත රචකයකු ලෙසටය. තුං මං හන්දිය නිර්මාණය කරන සමයේ සිනමා කරණයෙහි කාර්මික පක්ෂය පිළිබඳ සේකරයන් විධිමත් දැනුමක් ලබා සිටියේ නැතැයි ඇතැම්හු පවසති. මේ සමයේ තැනුණු ඇතැම් චිත්‍රපට සඳහා කාර්මික අධ්‍යක්ෂවරුන්, සංස්කරණ උපදේශකවරුන් සහ කැමරා කෝණ නිර්මාණකරුවන් ආදී වූ නෙයෙක් විධි නාමාවලියන් ඇත්තේය. එහෙත් සේකරයන්ගේ චිත්‍රපටයේ කාර්මික උපදෙස් යනුවෙන් පමණක් කැමරා අධ්‍යක්ෂ සුමිත්ත අමරසිංහට අමතර ටයිටලයක් ඇත්තේය. සේකරයන් චිත්‍ර ශිල්පියකු වූ බැවින් තුං මං හන්දිය තිර රචනයේදී සෑම රූප රාමුවකට පාහේ චිත්‍ර අඳින ලද බව පැහැදිලිය. එවිට චිත්‍රපටයේ කැමරා ඇස මෙන්ම කාර්මික උපදේශක සුමිත්ත අමරසිංහයන්ට කළ යුතුව තිබුණේ සේකරයන්ගේ සිතැඟි ඉටු කිරීම පමණි. කෙසේ වෙතත් චිත්‍රපටයට දායක වන සියල්ලෝම පාහේ විශිෂ්ටයෝය. සංස්කරණ ශිල්පී ජයතිස්ස දිල්ලිමුණි විය. දිල්ලිමුණි, ටයිටස් තොටවත්තයන් ගේ ගෝලයාය. සේකරයන් හා හැම විටම බැඳෙන පණ්ඩිත් අමරදේවයන් මෙන්ම කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන ද එබන්දන්ය. ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැලකෙන සිටිසන් කේන් චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙරාතුව එහි අධ්‍යක්ෂ ඕසන් වේල්ස් කිසි කලක චිත්‍රපට දර්ශන තලයකට හෝ නොගිය වග වාර්තා වේ. එහෙත් තමාගේ කටයුත්තට ඇති කැපවීමත් නිරවුල් මනසත් විශිෂ්ට ලෙස අන්‍යයන් සිය අවශ්‍යතාව සඳහා මෙහෙයවීමටත් වේල්ස්ගේ ජයග්‍රහණය විය. තුං මං හන්දිය අරභයා මහගම සේකරයන් අතින් පළ වන විශිෂ්ටත්වය ද එයයි. එහි දායක වූ බොහෝ පිරිස සේකරයන්ගේ ප්‍රතිභාව වටහා ගන්නා ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයන්ය. මේ සියල්ල සිනමාරූපී මාධ්‍යය ගොඩ නැංවීමට මෙහෙයවීමට මහගම සේකරයන් සමත් වෙයි. ඒ වන තෙක් ඔහු විසින් නිරත වන ලද සියලු කලාවන්ට වඩා සිනමාවේ ඇති ජීව ගුණ හා මහේශාක්‍ය බව සේකරයන් විසින් වටහා ගන්නා ලද්දෙකි. ඒ බව ඔහුගේ පුවත්පත් සාකච්ඡාවලදී හෙළිදරව් වෙයි. එහෙත් සිනමාව යනු මිල අධිකම කලාව බැව් අප අමතක නොකළ යුතුය. මහගම සේකරයන් හැම විටම කලා මාධ්‍යයේ පදනම විය යුත්තේ අව්‍යාජත්වය වග ඇදහුවේය. එමෙන්ම තාත්වික ස්වරූපය මිනිස් ඇසට ලක් කොට හදවත සසල කිරීමෙන් රසයක් ජනිත කිරිම පහසු බව මහගම සේකර විශ්වාස කළේය. තුං මං හන්දිය පමණක් නොව ඔහුගේ සියලු නිර්මාණකරණයෙන් ඉස්මතු වනුයේ එම සසල කිරීමයි. අද මෙන් ජාත්‍යන්තර උත්සව පැටව් නොගැසූ එකල තු මං හන්දිය ලොව පිළිගත් සිනමා උත්සව තුනකට සහභාගි වෙයි. ඒ ටෂ්කන්ට්, කාලෝවිවාරි හා අන්තර් ජාතික කතෝලික සිනමා සංවිධානය උදෙසාය. තුං මං හන්දිය යනු මහගම සේකර නම් අව්‍යාජ කලාකරුවාගේම ජීවිතයේ එක් කොටසකැයි සිතෙන තරමට නිර්ව්‍යාජ බව පැහැදිලිය. චිත්‍රපටය අවසාන වනුයේ අබිලිංගේ මරණයත් සමඟ යළි ගමෙන් පිට වෙන සිරිසේන තුං මං හන්දියට පැමිණීමත් සමගය. චිත්‍රපටය ආරම්භ වනුයේ ද එම තුං මං හන්දියේමය. මේ තුං මං හන්දිය ජීවිතය සමඟ කෙතරම් බද්ධ වන්නේද? එපමණක් නොව චිත්‍රපටයක් හා නවකතාවක් නිසා තුං මං හන්දිය කොතරම් ප්‍රසිද්ධ වී ද යත් අදටත් රදාවානේ තුං මං හන්දිය එතරම් පරසිඳුය. ගමෙන් පිටව තුං මං හන්දියට පිවිසෙන සිරිසේන තෝරා ගත යුත්තේ කවර මාර්ගයක් ද යන්න පිළිබඳ අවිනිශ්චිත භාවයට එළැඹෙමින් චිත්‍රපටය සමාප්ත වෙයි. වසර හතළිහකට පසු අද තුං මං හන්දියට පිවිසෙන කලාකරුවකු තෝරා ගන්නේ අබිලිං හෝ සිරිසේනගේ අවිනිශ්චිතභාවය ද? එසේ නැතිනම් අබිලිංගෙන් උගත් දෙය අන්තර් ජාලය ඔස්සේ හෝ ලොවට අලෙවි කරන්නේ කෙලෙස යන්නද? මහගම සේකරයන් වියෝ වී දශක හතරක් ගෙවෙන දින තුං මං හන්දිය් නතරවන තරුණ කලාකරුවකු අබිලිං, සේකර, සහ තමා අතරම අතරමං නොවනු ඇතිද? |
||||