|
ONE WAY තනි අතට යන පාරක් 16 දා සිට ස්වාධීන රූපවාහිනියේ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රත්නායකගේ නිර්මාණයක්
තේජන සෙනෙවිරත්න වයස පනහ ඉක්ම වූ නිවුණු ගතිගුණ ඇති අයෙකි. වර්තමානයේ අංගොඩ මානසික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු ලෙස සේවය කරන ඔහු තලවතුගොඩ ආශ්‍රිතව ජීවත් වෙයි. තේජන විවාහ වී සිටින්නේ දමිළ කාන්තාවක් සමඟයි. ඔවුන් දෙදෙනාට පිරිමි දරුවකු සිටියි.
තේජන සාම්ප්‍රදායික මනෝ වෛද්‍යවරයකුට වඩා අතිශය වෙනස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ මනස සුවපත් කළ හැකි බැව් තරයේ අදහන වෛද්‍යවරයෙකි. තරුණයෙකු ලෙස දකුණු කොළඹ මානසික රෝහලේ සේවය කරන ඔහුගේ ගති පැවතුම් තුළ දැකිය හැකි විශ්වීය බව ප්‍රේක්ෂකයා තුළ විස්මිත බවක් ඇති කරවයි. ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපන් තේජනගේ මව සහ පියා මිය ගොසින්ය. මානසික රෝගී වැඩිමහල් සහෝදරියත් සමඟ පැරැණි තරමක් විශාල නිවසක ඔහු ජීවත් වෙයි. උතුරුකරයට මාරුවිමක් ලබන තේජන තම සහෝදරියත් සමඟ තමා කිසි කලෙකත් බලාපොරොත්තු නොවූ අතිශය දුෂ්කර වූ යුද භීෂණය සහිත ප්‍රදේශය බලා යන්නේ මහත් කනස්සල්ලකිනි.
කාලය ගෙවීයද්දී දමිළ සිවිල් තරුණයෙකු රෝහලට ඇතුළත් වෙයි. ඔහු නමින් මුගේන්ද්‍රන්ය. දෙවනුව මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන විජිත නම් වූ හමුදා නිලධාරියා ඇතුළත් වෙයි. මුගේන්ද්‍රන් එල්. ටී. ටී. සාමාජිකයෙකු බව නොදත් තේජන ඔහුට ප්‍රතිකාර කරයි. විශ්වීයත්වයෙන් යුතු සිදුවීම් පෙළක් මධ්‍යයේ යුද සොල්දාදුවා සමඟ සිටින මෙකී එල්. ටී. ටී. තරුණයාත් මනෝ වෛද්‍යවරයාත් යන පිරිස එක් වාට්ටුවක කල් ගෙවනු පෙනෙයි. ජාතීන් අතර සමගිය පවත්වා ගැනීමට යුගයේ අවශ්‍යතම මොහොතක ජාති, ආගම් බේදවලින් තොර මිනිසත්කම පිළිබඳව කතා කෙරෙන 'තනි අතට යන පාර' නැමැති මෙකී කතාව තුළ තන්හාව, ප්‍රේමය, ආශාව වැනි පිටතින් මිනිසත්කම වසාගත් ආත්මාර්ථයන්ට එපිටින් ඇති නිසර්ග මිනිස් ආධ්‍යාත්මය පිළිබඳව කතා කෙරෙයි. අවසානයේ මිනිසත් බව පවතිනුයේ දූරදර්ශී බව, ඉවසීම, කරුණාව සහ යසසින් හෝ අයසින් හෝ සසල නොවන චිත්ත ස්වභාවය යන ගුණාංග තුළින් බැව් පේ‍්‍රක්ෂකයාට පසක් කරවයි.
|