වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




මම බය නැතිව පාරේ යනවා

මම බය නැතිව පාරේ යනවා

‘මේ වගේ ආදරයක්’ සමඟ යළි ප්‍රේක්ෂකයන් අතරට එන චන්ද්‍රන් රත්නම්

‘ආදර කතාව‘ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසි චන්ද්‍රන් රත්නම් ඉන් පසු ‘පොරොන්දුව‘, ‘ජනේලය’, ‘අලිමංකඩ’ ‘ ‘ A Common Man’’ වැනි සම්මානනීය චිත්‍රපට ද ප්‍රේක්ෂකයා වෙත රැගෙන ආවේය. කැමරා කාචයක්, රූප රාමුවක් පිළිබඳ පවා දැනුමක්, අවබෝධයක් නොමැති නමට පමණක් අධ්‍යක්ෂවරුන් බිහි වන යුගයක චන්ද්‍රන් රත්නම් රූප මාධ්‍යයේ අපූර්වත්වය විනිවිද දුටු අපේ කාලයේ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකි. සිනමාව පිළිබඳ ඕනෑම අංශයක දැනුමක් හා පරිචයක් ද ඔහු සතුය.

‘මේ වගේ ආදරයක්’ චන්ද්‍රන් රත්නම්ගේ නවතම චිත්‍රපටයයි. ආදරය පිළිබඳ නැවුම් අත්දැකීමක් රැගෙන එය දැන් ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රදර්ශනය වේ. සිය නවතම චිත්‍රපටය ප්‍රමුඛ කොට ගනිමින් වත්මන් සිනමාවේ අර්බුදය පිළිබඳ චන්ද්‍රන් රත්නම් අප හා කළ ආන්දෝලනාත්මක කතාබහකි මේ.

ඔබේ අලුත්ම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ‘යොවුන් ආදරය’ පිළිබඳ කතා පුවතක්. ඇයි මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ?

චිත්‍රපට කිහිපයක් පිළිබඳ අදහස මගේ හිතේ නිතරම කැරකෙනවා. චිත්‍රපට විස්සක්, විසි පහක් විතර. හැබැයි ඒවා කවදා කෙරෙයි ද කියන්න මම දන්නේ නෑ. මට විතරක් නෙවේ හැම ඩිරෙක්ටර් කෙනෙකුටම අයිඩියාස් තියෙනවානේ. ඒවා අදට හරි යනවද, ගැළපෙනවාද දන්නේ නෑ. පසුගිය කාලේ වැඩිපුරම පෙන්නුවේ හිස්ටොරිකල් එපික්ස් නේ. හුඟාක්. ඉතිං මට හිතුණා පොඩි වෙනසක් කරලා මේ තරුණ පිරිසට චිත්‍රපටයක් හදන්න ඕනෑ කියලා. ඒ නිසා තමයි මම අදට ගැළපෙන, අද පරපුරට ඔබින මේ වගේ ආදර කතාවක් හැදුවේ.

‘ආදර කතාව‘ ඔබේ මුල්ම චිත්‍රපටය. ඊටත් ඔබ තේමා කර ගත්තේ ආදරය?

ඒක මම හැදුවේ 1983 දි. හැබැයි ඒ ආදර කතාවට පසුබිම් වුණේ ජනවාර්ගික අර්බුදය. ඒක අපේ පවුලේම එක්තරා අවාසනාවන්ත සිදුවීමක් පසුබිම් කර ගනිමින් තමයි මම නිර්මාණය කළේ. ජනවාර්ගික අර්බුදය එහෙම නැතිනම් මේ සිංහල, දෙමළ ජාතීන් අතර තිබුණ විරසකය, කොහොමද ආදරයට බලපෑම් ඇති කළේ කියන එක. කොටින්ම ‘ආදර කතාව‘ මගේ මවුපියන්ගේ කතාවයි. මගේ තාත්තා දෙමළ. අම්මා සිංහල. ඔවුන්ගේ ජීවිතවල තිබුණ ඛේදවාචකය තමයි මම ඒ චිත්‍රපටයට ගොනු කර ගත්තේ.

නමුත් ‘මේ වගේ ආදරයක්’ වෙනස්ම ආදර කතාවක්?

කොහොමද මේ අයිඩියා එක මගේ හිතට ආවේ. අපේ තියෙනවා ෆ්ලයින් ස්කූල් එකක්. ඉන්ජිනියරින් කොලේජ් එකක් තියෙනවා. කින්ස්ටන් යුනිවර්සිටියත් එක්ක ලන්ඩන් යුනිවර්සිටියත් එක්ක අපට සම්බන්ධකම් තියෙනවා. ඉතින් මම දවසක් දැක්කා ඉන්ස්ටක්ටර් කොල්ලො ටිකක් කෙල්ලක් දිහා බලනවා. ඉතිං මට හිතුණා මේ සිදුවීම අරගෙන චිත්‍රපටයක් කරන්න. පුංචි සිද්ධියක්. ඒත් ඒකෙන් සුන්දර ආදර කතාවක් නිර්මාණය කරන්න පුළුවන් කියලා මට හිතුණා. එහෙම තමයි මම මේ චිත්‍රපටය හැදුවේ.

අනුජ් රණසිංහ කියන නවකයා ඔබ මෙහි ප්‍රධාන නළු චරිතය සඳහා තෝරා ගන්නවා. අද අපේ සිනමාවේ තරු සංකල්පය බිඳ වැටී තිබෙන නිසා ද ඔබ නවකයෙක් ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ?

අද සිනමාවේ ඉන්න ඔය ‘තරු’ කියලා හඳුන්වන අය දාලා චිත්‍රපටයක් කරලා ඒක සාර්ථක වෙයි කියලා අපට සහතිකයක් දෙන්න බෑ. කථන්දරය හොඳ නම් අලුත් අය දාලා කරන්න පුළුවන්. මේ ස්ටාර් වැලියු එකක් තිබුණා කියලා කථන්දරේ හරි නැතිනම් ෆිල්ම් එක දුවන්නේ නෑ. එහෙම දුවවන්න බැහැ. මම හැමදාම හැමෝටම කියන්නේ හොඳ ස්ක්‍රිප්ට් එකක් නැතිව චිත්‍රපටයක් කරන්න එපා කියන එකයි. ඒක දුවන්නේ නෑ.

මේ චිත්‍රපටයේ සීමිත පිටපත් සංඛ්‍යාවක් තමයි ඔබ ප්‍රදර්ශනයට මුදා හැරියේ?

මම හිතන්නේ මේ චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමය සම්පූර්යෙන්ම වැරැදියි. ඒකට මම විරුද්ධයි. අපේ නිෂ්පාදකයෝ චිත්‍රපට හදනවා. අවුරුද්දකට පෙන්නන්නේ නෑ. ඒගොල්ල පොලී ගෙවනවා. ඒගොල්ල දුප්පත් වෙනවා. නළු, නිළියෝ නාකි වෙනවා. අපිත් නාකි වෙනවා. මේ කථන්දරෙත් නාකි වෙනවා. ඒ ඔක්කොම වැරැදියි. ලෝකයේ එහෙම නෙවෙයිනේ කොරන්නේ. ඇමරිකාවේ කොරන්නේ නෑ. ඉන්දියාවේ කොරන්නේ නෑ. ඒගොල්ලන්ට වෙන සිස්ටම් එකක් තියෙනවා. ඇයි අපි ඒ සිස්ටම් එක බලලා ඒ වගේ කොරන්නේ නැත්තේ. තේමාව පරණ වුණොත් චිත්‍රපටයෙන් වැඩක් නෑනේ.

අවුරුදු දෙක තුන ගිහින් තමයි සමහර චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ. දැන් ‘බොරදිය පොකුණ’ ප්‍රදර්ශනය වුණේ අවුරුදු දොළහකට පස්සේ?

ඉතිං මොනවටද? චිත්‍රපටයක් හදන්නේ සල්ලි හම්බු කරන්න. මේක චිත්‍රපටය හදලා ‘බබා’ වගේ තියාගෙන ඉන්නවා. මොනවට ද බබා? මේකට කියන්නේ ෂෝ බිස්නස්. ඒගොල්ලෝ ෂෝ එක ගැන විතරයි කතාව. බිස්නස් එක ගැන කතාවක් නෑ. පික්චර් එක ඉවර වුණාම ප්‍රොඩියුසුරුයි, ඩිරෙක්ටරුයි තරහා වෙලා. නිෂ්පාදකයා කළකිරෙනවා. අධ්‍යක්ෂවරයා සම්මානයක් අරගෙන ෂෝක් එකට ඉන්නවා.

ලෝ සුපතල සිනමාවේදී ස්ටීවන් ස්පීල්බර්ග් සමඟ

ලෝකේ වටේ යනවා?

ලෝකේ වටේ යනවා. මල් මාලා දානවා. එයා මේ ප්‍රොඩියුසර් ගැන කතා කරන්නෙත් නෑ. මේ ඔක්කොම වැරැදියිනේ.

හැබැයි මේක හරියට බැලුවොත් නිෂ්පාදකවරයාගේවත්, අධ්‍යක්ෂවරයාගේවත් වැරැද්ද නෙවෙයිනේ. මේ සිස්ටම් එකේ වැරැද්ද?

සිස්ටම් එකේ වැරැද්ද. ප්‍රොඩියුසර් කෙනෙක් මම හඳුන්වන්නේ ඒන්ජල් කෙනෙක් විදිහට. එහෙම ඒන්ජල්ලා අද නෑ. එහෙම ඒන්ජල් කෙනෙක් හමු වුණොත් මම කියන්නේ වැඳලා වැඳලා තියාගන්න ඕනෑ. එයාට උදවු කරන්න ඕනෑ සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කළොත් තව එකක් හදයි. තවත් එකක් හදයි. ඒත් ලංකාවේ එක චිත්‍රපටයක් හැදුවොත් ඒ නිෂ්පාදකයා කළකිරෙනවා. එයාට සිනමාව විතරක් නෙවේ ජීවිතෙත් එපා වෙනවා.

හරි, ඒක නිවැරැදි කරන්න ඕනෑ කවුද?

ආණ්ඩුව අපේ මේ ඉන්ඩස්ට්‍රි එක බදාගෙන, හිර කරගෙන ඉන්නවා. රිලීස් කරන්න. මේක අල්ලගෙන ඉන්න එපා. දෙයියනේ ආණ්ඩුව අපේ මේ බිස්නස් එක අල්ලගෙන ඉන්න එපා. මේක රිලීස් කරන්න ප්‍රයිවට් සෙක්ටර් එකට. මේක ඉන්ඩස්ට්‍රි එකක්. මම නම් වශයෙන් කියන්නේ නෑ. අපි කියමුකෝ ස(ර්)කිට් A, B, C කියලා.

ඒ කියන්නේ ප්‍රදර්ශන මණ්ඩල?

ඔව්. අපි ස(ර්)කිට් ඒ එකට යනවා. චිත්‍රපටය පෙන්වනවා. රිලීස් කරන්න පුළුවන් ද ඇහුවාම ඔවුන් කියනවා ‘නෑ මේක අපේ  Style එක නෙවේ. අපි මේකට ආසා නෑ කියලා. එතකොට මම යනවා  B  එකට. ආ . . . චිත්‍රපටය හොඳයි. අරකයි මේකයි සේරම කියනවා. ඒත් වැඩේ කෙරෙන්නේ නෑ. දැන් තරුණ ළමයි චිත්‍රපටයක් හදනවා. ඒවා හොඳ ද නරක ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒත් අපි ඔවුන්ගේ නිර්මාණ එළි දක්වන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනෑ.

ප්‍රවීණයන්ගේ චිත්‍රපට පවා ප්‍රතික්ෂේප කරන ප්‍රදර්ශන මණ්ඩල ඒකාධිකාරයක් පවතින රටේ කොහොමද ඔවුනට ඒ අවස්ථාව ලබා දෙන්නේ?

අන්න එතනදි තමයි ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. මේ තරුණ ළමයින්ට චාන්ස් එකක් දෙන්න තමයි ආණ්ඩුවේ ස(ර්)කිට් එකක් තියෙන්න ඕනෑ. හැබැයි අනෙක් අයට ප්‍රයිවට් සෙක්ටර් එක. හොඳ නම් දුවනවා. නැතිනම් නෑ. දැන් මේ මිනිස්සු කියනවා ඉලෙක්ෂන් කාලේ ෆිල්ම් දාන්න එපා කියලා. මොන පිස්සුද? පික්චර් එක හොඳයි නම් දුවයි. නරක නම් ගලවයි. ඉලෙක්ෂන් තිබ්බා, වෙසක් තිබ්බා, මේ රාමසාන් තිබ්බා, ක්‍රිස්මස් තිබ්බා කියලා ඒවා මට වැඩක් නෑ. මට ඕනෑ කාලෙට මම පික්චර් එක දානවා. සමහරු කියනවා ස්කෝලේ කාලේ චිත්‍රපට දාන්න එපා කියලා. එහෙම නෑ. චිත්‍රපටය හොඳ නම් ස්කූල් කට් කරලා හරි චිත්‍රපටය බලයි. අපිත් එහෙම කෙරුවේ. දැන් මොකක්ද වෙනස. මම කියන්නේ ඕනෑ ආණ්ඩුවකට මේ ඉන්ඩස්ට්‍රි එක අත් හරින්න. උදව්වක් එපා.

මෑතකදී ඔබ ප්‍රකාශ කර තිබුණා සිනමාව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර කර්මාන්ත අමාත්‍යාංශයට භාර දිය යුතුයි කියලා?

එහෙම නේද...? මේ මීඩියා මිනිස්ට්‍රි එකට මොකක්ද මේකෙ තියෙන සම්බන්ධය? මොකක්ද ඔයා මට කියන්නකෝ. චිත්‍රපට සංස්ථාව තියෙන්නේ ජනමාධ්‍යය අමාත්‍යාංශය යටතේනේ. ගැළපෙන්නේ නෑනේ. ෆිල්ම් කෝපරේෂන් එක, එක කාලයක් තිබුණා බොහොම හොඳයි. දැන් නරකයි කියනවා නෙවෙයි. සෙන්සර් බෝඩ් තියෙන්න ඕනෑ. ක්‍රොන්ට්‍රෝල් තියෙන්න ඕනෑ. දැන් අවුරුදු 40 ක් තිස්සේ මම ඇමරිකාවට යනවා. එනවා. ෆිල්ම්ස් හදනවා. අනේ මම මේ ඇත්ත කියන්නේ ආණ්ඩුවලින් මට මොනම උදව්වක්වත් දුන්නේ නෑනේ.

ඔබ සංස්ථාවෙන් ණය අරගෙන නැතිද කවදාවත් චිත්‍රපටයක් හදන්න?

නෑ... ඉස්සර පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට පොඩි ණය මුදලක් දුන්නා. ඒකත් නැවැත්තුවානේ. ඒක මදි. මේක පුද්ගලික අංශයකට දෙන්න දෙයියනේ. එතකොට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු හොඳ චිත්‍රපට හදයි. ඇයි මා(ර්)කට් එකේ හොඳ තරගයක් තියෙනවානේ. හැම චිත්‍රපටයක්ම පෙන්වන්න ඕනෑ තමයි. ඒත් මේවා මුදා හරින්නේ ප්‍රයිවට් සෙක්ටර් එකෙන්. ඔවුන් තමයි තීරණය කරන්නේ මේ චිත්‍රපටය රිලීස් කරනවද නැද්ද කියලා. රිලීස් එකක් ගන්න බැරි කට්ටියට තමයි ආණ්ඩුව උදවු කරන්න ඕනෑ. වෙන ස(ර්)කිට් එකක් තියාගන්න ඕනෑ ඒකට. එතකොට ඒකටත් යයි මිනිස්සු බලන්න. හැබැයි ඒක සුමානෙන් දෙකෙන් ගලවන එක වෙනම වැඩක්. චාන්ස් එක දුන්නනේ. තරුණ කොල්ලෝ හරි, නාකි කොල්ලෝ හරි කමක් නෑ. පික්චර් එක හොඳ නැතිනම් හොඳ නෑ.

සම්භාව්‍ය පස්වැනි මණ්ඩලය වගේ සිනමා මණ්ඩලයක් යළිත් ස්ථාපිත කරන්න යැයි ඇතැමුන් යෝජනා කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ මතය?

මේ මණ්ඩල කතා මට නම් තේරෙන්නේ නෑ. චිත්‍රපටය හොඳයි නම් ඒක ගන්න. පෙන්නන්න. ලෝකෙ සිස්ටම් එක ඒකයි. අපි ඇයි එතනින් වෙනස් වෙන්නේ. සිනමාව කියන්නේ ලෝකයේ බොහෝ රටවල ඉතාමත් දියුණු කර්මාන්තයක්. ඇමරිකාවේ, ඉන්දියාවේ, ඉනදුනීසියාවේ, සිංගප්පූරුවේ නිෂ්පාදකයෝ හරි පොහොසත්. අපේ නිෂ්පාදකයෝ දුප්පත්. මම කියන්නේ අපේ නිෂ්පාදකවරයෙක් චිත්‍රපටයක් හැදුවොත් අයෙත් හදන්නේ නෑනේ.

ජාතික චිත්‍රපට සංස්ථාව බිහි වෙන්නේ 1972 සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේදී. එදා පටන් අද දක්වාම කිසිම රජයකින් සිනමාවට සුගතියක් වුණේ නෑ කියලාද ඔබ කියන්නේ?

නෑ ... සිරිමා බණ්ඩාරනායක යුගයේදී ඒ සිස්ටම් එක තිබුන විදිහට ඒක හොඳයි. නමුත් දැන් ඒක වැඩක් නෑ. ඒ සිස්ටම් එක දැන් අවුට් ඔෆ් ඩේට්. යල් පැනලා. අපි ඇයි ඒ යල් පැනපු වලිගෙ අල්ලගෙන ඉන්නේ. හැම ක්ෂේත්‍රයම වෙනස් වෙනවා. ඒත් සිනමාව එතනමයි. එහෙමමයි. ඇයි තේරෙන්නේ නෑ. තේරුම් ගන්න වුවමනාවක් නෑ ඒගොල්ලන්ට. මේ ලොකු එකක් කියනවා ඇක්ට් එක කියලා. FILM ACT  එක. අනේ දෙයියනේ මොකක්ද මේ ඇක්ට් එක. ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ සෙලෝලයිඩ් මොකක්ද ඩිජිටල් මොකක්ද කියලාවත්. ඒ මොකවත් තේරෙන්නේ නෑ.

අපේ සිනමාව ඩිජිටල්කරණය විය යුතුයි කියා හැමෝම කියනවා. ඒත් එය තවම යථාර්ථයක් බවට පත් වී නැහැ?

මල්ලී, මම ඔයාට කථන්දරයක් කියන්නම්. අවුරුදු අටකට කලින් ඒ කියන්නේ 2007 දී මම පැනසොනික් ඩිජිටල් ප්‍රොජෙක්ටර්ස් විසි හතරක් ලංකාවට ගෙනාවා. කෝපරේෂන් එකට ගියා මේක දාන්න කියලා. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒ ප්‍රොජෙක්ටස් ටික මගේ වෙයාර් හවුස් එකේ දූවිලි කකා, පුස් කකා තිබ්බා. ඒක කරන්න දුන්නේ නෑ.

කොහෙන්ද ඔබ ඒවා ගෙනාවේ?

ඉන්දියාවෙන්. නමුත් ඔරිජිනල් මේඩ් ඉන් ජපෑන් පැනසොනික්. ඉන්දියාවේ  U. F. O  එක මට උදවු කෙරුවා. එක ප්‍රොජෙක්ටර් එකක් ඇමරිකානු ඩොලර් 35,000 යි. ඒවා විසි හතරක් තිබුණා මේ මගේ කාමරේ. එකක් මම දුන්නා නොමිලේ මේ ෆිල්ම් කෝපරේෂන් එකට. ඒක දිරලා යන්න ඇති.

එතකොට අනෙක් ප්‍රොජෙක්ට(ර්)ස්වලට මොකද වුණේ?

ඔවුන් මට කිව්වා ‘මහත්තයෝ ඔයාලගෙ ලංකාවේ මේක කොරන්න බෑ වාගේ’ කියලා. අර විසිතුන ආපසු අරගෙන ගියා. කොහෙද ගෙනිච්චේ, නේපාලයට. ඔක්කොම ප්‍රොජෙක්ට(ර්)ස් ටික ඔවුන් මිලදී ගත්තා. නෑ මම කියන්නේ ඇයි මාව නැවැත්තුවේ. ඇයි මාව නැවැත්තුවේ? මාව  Block කෙරුවා. මට හෙල්ලෙන්න බෑ. මම සල්ලි හම්බ කරන්න කරපු දෙයක් නෙවේ. මම කිව්වා ඕනෑ නම් ෆිල්ම් කෝපරේෂන් එක හරහා මේ වැඩේ කරන්න කියලා. අපේ කර්මාන්තය දියුණු වෙන්න ඕනෑ. එහෙම කෙරුවා නම් මගේ චිත්‍රපටත් මේ  D C P  දාලා ඒ සිනමාහල්වලට මුදා හරින්න පුළුවන්. ඒක වුණේ නෑනේ. මම අහන්නේ ලංකාවේ ඩිජිටල් ප්‍රෙජෙක්ට(ර්)ස් විසි හතරක් තිබුණා කාමරේක. කට්ටියම ඕක දන්නවා.

ඔබ ජාත්‍යන්තර සිනමාව, එහි ප්‍රමිතිය වගේම තාක්ෂණය පිළිබඳ හසල දැනුමකින් යුත් අයෙක්. මම හිතන්නේ එබඳු පුද්ගලයෙක් අපේ මේ පුංචි රටේ ඉන්නවා නම් ඒ ඔබම පමණක් වෙන්නට ඇති?

පුතා මේකයි, අවුරුදු හතළිහක් තිස්සේ මම හිටියේ ඇමරිකාවේ. ඇමරිකාවේ කොහෙද? හොලිවුඩ්වල. මගේ ඔළුවේ තිබුණේ හැම වෙලේම සිනමා. සිනමා. සිනමා. මම එහෙ චිත්‍රාගාරවල වැඩ කළා. යුනිවර්සල් සදන්ඩ් සිනමා ස්කූල් කැලිෆෝනියා එකේ මම සිනමාව ඉගෙන ගත්තා. අවුරුදු හතළිහක් තිස්සේ මම ඇමරිකාවේ හිටියට එනවා, යනවා, එනවා, යනවා. 1979 දී මම ‘ද ෆිල්ම් ලොකේෂන් සර්විස්’ කියන ආයතනය හැදුවා. මම හොලිවුඩ්ස් ෆිල්ම්ස් ගෙනාවා. ෆොරින් ෆිල්ම්ස් පනහක් විතර ගෙනාවා ලංකාවට. ෆොරින් එක්ස්චේන්ජ් අමාරු වෙලාවේ මම විදේශ විනිමය ගෙනාවා ලංකාවට.

චන්ද්‍රන් රත්නම් නාමය තරමටම ‘ෆිල්ම් ලොකේෂන් සර්විස්’ එකත් ප්‍රසිද්ධ වුණා?

ඔව්. මම මේකට තවත් කීප දෙනෙක් ගත්තා. ඔවුන් එතකොට කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. මම ඒ අයට හොඳ පුහුණුවක් ලබා දුන්නා.

ඩේවිඩ් ලීන් වැනි දැවැන්ත සිනමාකරුවෙක් යටතේ ශිල්පය හදාරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒක විශ්මිත ආරම්භයක්?

ඒක මගේ වාසනාව. මට දෙවියන් දුන්න වාසනාවක්. මට අවුරුදු දාහතයි. මම ඩේවිඩ් ලීන් එක්ක වැඩ කළා Stand by Prop Man  හැටියට. Stand by Prop Man Y කවුද? ඩිරෙක්ටර් එක්ක හිටගෙන ඉන්නවා එයාගේ ලඟ එයාගේ මූණ බලාගෙන. එයාගේ හිතේ තියෙන්නේ මොනවද කියලා දැනගෙන ඒ ඉව ඔස්සේ කටයුතු කරන කෙනා. එහෙම මම මාස නවයක් ඩේවිඩ් ලීන් ළඟ හිටියා. ඉතින් ඒක තමයි මගේ යුනිවර්සිටි ට්‍රේනින් එක. එයා මොකුත් හිතන්න ඉස්සර වෙලා මම වැඩේ කෙරුවා. මම හිටියේ එච්චරටම එයාගේ මොලේ ළඟ.

ඒ කියන්නේ අධ්‍යක්ෂවරයාගේ කාර්යය විතරක් නෙවේ?

මට ඔයාට තේ අල්ලන්නත් පුළුවන්. කෑම දෙන්න පුළුවන්. ලොකේෂන්, බාත් රූම් හෝදන්නත් පුළුවන් මට. තේරුණාද? කැමරාත් පුළුවන්. ප්‍රොප්ස් පුළුවන්. මේකප් පුළුවන්. එඩිටින් පුළුවන්. එක්ස්පර්ට් නෙවෙයි, ටිකක් පුළුවන්. මම වෝන(ර්) බ්‍රද(ර්)ස් එකට ගියාම මට රස්සාවක් දුන්නා එතන. මම කැමරා ඩිපා(ර්)ට්මන්ට් එකේ ඇසිස්ටන්. එතන ප්‍රධානියා මට කිව්වා දැන් ඔයා කැමරාමන් වෙන්න කියලා. මම කිව්වා අනේ බෑ කියලා. මාව වෙන ඩිපා(ර්)ට්මන්ට් එකකට දාන්න කිව්වා. ඉතින් ඒ වගේ මම දියුණු වෙලා එනකොට පැන්නා වෙන ඩිපා(ර්)මන්ට් එකකට. ඇයි මගේ හිතේ තිබුණේ ඒ නොලේජ් එකත් එක්ක ඇවිත් ලංකාවේ ස්ටුඩියෝ එකක් දාන්නනේ. ඒක තමයි මගේ ඩ්‍රීම් එක. තාම ඒක වුණේ නෑ. මිනිස්සු මාව නැවැත්තුවා. නැවැත්තුවා. නැවැත්තුවා. නැවැත්තුවා.

නමුත් ඒ සිහිනය තාම ඔබේ හිතේ තියෙනවා?

ඔව්. කවදා හරි ඒ සිහිනය මම සැබෑවක් කර ගන්නවා.

ලංකවේ සිනමාව ගැන ලොකු කලකිරීමක් තියෙනවා වගෙයි?

එහෙම නැත්තේ නෑ. නමුත් මම ඒ චිත්‍රාගාරය හදන්න ඕනෑනේ. මම මැරෙන්න කලින් ඒ දැනුම රටට දෙන්න ඕනෑ. ඒක රටට දුන්නේ නැතිනම් මම රටට හරි සේවයක් කළේ නෑ. ආණ්ඩුවේ සහයෝගය මට ඕනෑ නෑ. මම තනියම ඒක කොරනවා.

‘A Common Man’’ චිත්‍රපටයේ ලෝක පූජිත රංගන ශිල්පී බෙන් කිංස්ලි හසුරවන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ ලංකාවේ කිසිම අධ්‍යක්ෂවරයකුට ලැබුණේ නෑ එහෙම අවස්ථාවක්?

මම හොලිවුඩ් එකේනේ උන්නේ. මට නළුවෙක් ඕනෑ නම් ඉතිං ඒක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඉතිං බය වෙන්නේ නැතිව අපි හිතනවානේ ඒ වගේ පැත්තක් ගැන ටිකක්. ඒ ප්‍රොඩියුසර් මගෙන් ඇහුවා කවුද ඔයාට ඕනෑ ඇක්ටින්වලට. මම කිව්වා බෙන් කිංස්ලි කියලා.

බෙන් කිංස්ලි පිළිබඳ ඔබේ පෞද්ගලික අදහස?

ඔහු හරිම ප්‍රොෆෙෂනල් නළුවෙක්. ෆිල්ම් එක හරි විශ්වාසයෙන් කෙරුවා. මිනිහා නියමෙට දුන්නා. මම එයාට මෙහෙම කරන්න, අරෙහෙම කරන්න එපා කියලා කිව්වාම ‘යර්ස් සර්’ කියලා වැඩේ කළා. ඔහු ලෝකයේ නොම්බර එකේ නළුවෙක්.

හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය හා හොඳම රංගනය යන සම්මාන ත්‍රිත්වයෙනුත් ‘A Common Man’ ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වුණා?

මේක ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් එකක්. ඉන්ටර්නැෂනල් කියන්නේ මොකක්ද ලෝකයේ හැම තැනම. භාෂාවක් නෑ. 2013 දී පැවැති ‘මැඩ්රිඩ්’ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදි තමයි මේ සම්මාන හිමි වුණේ. මේක ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක්. ‘බෙස්ට් ෆොරින්’ ෆිල්ම් නෙවේ. මේක ‘බෙස්ට් ඒෂියන් ෆිල්ම්’ නෙවේ. ජාත්‍යන්තර සිනමා උළෙලක ඕනෑම භාෂාවක් විවෘතයි. ඉතින් දෙයියනේ මම කොහොමද හිතන්නේ බෙස්ට් ෆීචර් ෆිල්ම්, බෙස්ට් ඩිරෙක්ටර්, බෙස්ට් ඇක්ටර් සම්මාන තුනම ඒ චිත්‍රපටයට ලැබෙයි කියලා. ලැබුණා. ඉතිං මට හොඳයි. දෙවියන් මාව බලා ගන්නවා. බය නැතිව පාරේ යනවා.

‘According to matthew’ ඔබේ මීළඟ චිත්‍රපටය. ඒ පිළිබඳ කෙටියෙන් යමක් කියමු?

මැතිව් පීරිස්, රසල් ඉංග්‍රම් කතා පුවත කවුරුත් දන්නවානේ. ඒ සත්‍යය සිදුවීම් අළලා තමයි මම ‘මැතිව්’ චිත්‍රපටය නිර්මාණය කළේ. තව මාස දෙකකින් ඒක රිලීස් කොරනවා. ඒක ජාත්‍යන්තර චිත්‍රපටයක්. ලෝකෙ හැම තැනම එක පාරටම රිලීස් කොරනවා. ලොස් ඇන්ජලීස්, ලන්ඩන්, ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකාවේ මෙහි මංගල දර්ශනය පෙන්වන්නේ එකම දවසේ. මම හිතන්නේ ඒක අපේ සිනමාට අලුත් අත්දැකීමක්. අලුත් පෙරළියක්.

තවත් අලුත් චිත්‍රපටයකට සූදානම් වෙන බවකුත් දැනගන්න ලැබුණා?

මගේ අලුත් ෆිල්ම් එකත් මේ ඩ්‍රාමා ලව් ස්ටෝරි එකක්. හැබැයි තරුණ පිරිස්වලට නෙවෙයි. මිඩිල් ඒජ් එකේ කට්ටියට. ඒක මම කරන්නේ ලැන්වේජස් දෙකකින්. සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන්. ඒකෙ නම ‘ආගන්තුකයෝ’ කියලා. කොල්ලයි, කෙල්ලයි දෙන්නම ලංකාවේ. දෙන්නටම සිංහලයි, දෙමළයි පුළුවන්. රිලීස් කරන කොට යාපනේ දානවා දෙමළෙන්. අපි හැම දෙයක්ම කරන්න ඕනෑ කර්මාන්තයේ දියුණුවට. ඒ වගේම අපි ලෝකෙත් එක්ක එකටම යන්න ඕනෑ. ලංකාවේ මුළු ජනගහනයෙන් 2% ක් තමයි චිත්‍රපට නරඹන්නේ. ඒකෙන් කොහොමද අපි දියුණු වෙන්නේ. ඉන්දියාවේ එහෙම නෑ. හොලිවුඩ් එකේ එහෙම නෑ. අනෙක හම්බ කරන සල්ලි මාස දෙකකින් හම්බ කරන්න ඕනෑ. D. V. D. කාලේ වෙනකල් ඉන්න හොඳ නෑ.

හොඳයි, කොහොමද ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ප්‍රතිචාර හරි හොඳයි. සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මම මුදා හැරියේ D. C. P වලින්. මේ චිත්‍රපටය නරඹන්න තරුණ කට්ටිය හෝ ගාල එනවා තියටර් එකට. අද එක ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එනවා. හෙට තව ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එනවා. අම්මලා, තාත්තලා එක්කත් එනවා. ඉතින් මේ ඕඩියන්ස් එක මගේ පළමුවැනි චිත්‍රපටයේ ඕඩියන්ස් එක වගේ තමයි. ‘ආදර කතාව‘ බලන්න ස්කෝලේ කට් කරලා එදා කොල්ලො, කෙල්ලෝ ආවා.