|
හතර දෙනාම සූරයෝ
ආචාර්ය රීඩ් රිචඩ්ස් විශ්වවිද්‍යාලයේ දේශනවලින් අනතුරුව කාලය යොදවන්නේ විශ්වය පිළිබඳ වූ අත්හදා බැලීම් වෙනුවෙනි. එහි එක් පරීක්ෂණයක ප්‍රතිඵලයක් අනුව ඔහු සිය මිතුරන් දෙදෙනෙක් සහ පෙම්වතිය සමඟින් සමාන්තර විශ්වයකට පිවිසේ. එහිදී සිදුවන්නේ පුදුම සහගත දෙයකි. ඔවුන්ගේ භෞතික ස්වභාවය වෙනස්වීමකට ලක් වේ. මෙම මිතුරු කණ්ඩායමේ වගකීම ගෙන කටයුතු කරන්නට රීඩ් රීචඩ්ස් හෙවත් මිස්ටර් ෆැන්ටාස්ටික් හට ලැබෙන්නේ සිරුරේ නම්යශීලිභාවයයි. රබර් සේ වන මිස්ටර් ෆැන්ටාස්ටික් හට සිරුරේ හැඩය වෙනස් කරගත හැකි වන අපූරු බලයක් ලැබේ. රීඩ් රිචඩ්ස්ගේ පෙම්වතිය සුසන් ස්ට්රෝම්හට බාධක මැඬලීමේ බලයක් හිමි වේ. අන් අයට නොපෙනී සිටින්නට ඇයට හැකියාව ලැබේ. ඉන්විසිබල් වුමන් ලෙසින් නම් ලබන්නේ ඇයයි. සුසන්ගේ බාල සොයුරා ජොනී ස්ට්‍රෝම් හියුමන් ටෝච්ය. ඔහුට ලැබෙන්නේ ගින්දර පාලනය කිරීමේ බලයයි. ගුවනින් ගමන් කිරීමටද හියුමන් ටෝච්හට පුළුවන. ඔහු ගින්දරද නිපදවයි. බෙන් ග්‍රිම් නැමැති අනෙක් මිතුරා නම් කේන්තිකාරයෙකි. තින්ග් ලෙසින් හැඳින්වෙන ඔහුහට ලැබෙන්නේ තැඹිලි පැහැ විශාල ගලක ස්වරූපයකි. ඔහුගේ විශාල සිරුර ඕනෑම බාධාවකට ඔරොත්තුදීමේ හැකියාවෙන් යුතු වේ. අනෙකුත් සියල්ලන්ම මිනිස් ස්වරූපය ගන්නාවිටදී ග්රිම්හට විකෘති ස්වභාවයක් හිමි වේ. මීට දස වසරකට පෙර 2005 වසරේදී රිදී තිරයේ දිග හැරුණු Fantastic Four (ෆැන්ටාස්ටික් ෆෝ) චිත්‍රපටයේ මේ වීර චරිත කළ වික්‍රමයන් ඔබගේ මතකයේ රැඳි ඇතුවාට සැක නැත. මේ අරුම පුදුම සුපිරි සිව්දෙනා අභිමුව ඇත්තේ විශාල අභියෝගයකි. දුෂ්ට සතුරෙකුගෙන් පෘථිවිය බේරා ගැනීමේ වගකීම ඔවුන්හට පැවරී ඇත. මේ වෙනුවෙන් මෙම සුපිරි සිව්දෙනා වෙනත් විශ්වයක් වෙත යවනු ලැබේ. එහිදි එල්ල වන ගැටලුව නම් එම විශ්වය තුළ ඔවුන්ගේ බලයන් සීමාවීමයි. මෙම සතුරා කලක් ඔවුන්ට මිතුරුව සිටි අයෙකි. එනිසා සතුරා ඔවුන්ගේ සියලු තතු දනියි. ඔවුන් සියලු බලයන් යොදවන්නේ මිනිස් වර්ගයා වෙනුවෙන් සහ පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙනි. තම බලයන් පවා සීමාවීමේ තත්ත්වයක් හමුවේ ඔවුන්හට පෘථිවිය බේරාගත හැකි වේවිද? ඔබගේ ලෝකයට වීරයන් බිහිකළ මාවල් චිත්‍ර කතා ඇසුරින් නිර්මාණය වූ ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස්් විසින් බෙදා හරින ලද ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපටය පළමුවරට 2005 වසරේදී තිරගත විය. ටිම් ස්ටෝරි විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ලෝන් ගෘෆීඩ් ආචාර්ය රීඩ් රිචඩ්ස් ලෙසින්ද, ජෙසිකා ඇල්බා සුසන් ලෙසින්ද, ක්‍රිස් එවන්ස් ජොනි ස්ට්‍රෝම් ලෙසින්ද, මයිකල් එවන්ස් තින්ග් ලෙසින්ද චරිත නිරූපණය කළහ. එහි දෙවැන්න Fantastic Four : Rise of the Silver Surfer (ෆැන්ටාස්ටික් ෆෝ : රයිස් ඔෆ් ද සිල්වර් සර්ෆර්) නම් විය. සිල්වර් සර්ෆර්ගෙන් පෘථිවිය බේරා ගැනීමේ වික්‍රමය එහි ඇතුළත් විය. ටිම් ස්ටෝරි විසින් එය අධ්‍යක්ෂණය කළේය. 1994 වසරේදී ද ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එය ප්‍රේක්ෂකයන් හමුවට නොපැමිණියේය. ඔලේ ෂැනොන් විසින් අධ්‍යක්ෂණය කළ ඒ සඳහා වැය වූ වියදම අමෙරිකානු ඩොලර් මිලියනයකි. ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපට මාලාවේ තෙවැන්න ඔබට දැක ගැනීමේ අවස්ථාව දැන් උදාවී ඇත. හෙට (07 වැනිදා) සිට ප්‍රදර්ශනය අරඹන එය ජෝෂ් ට්රැන්ක්ගේ අධ්‍යක්ෂණයකි. අමෙරිකානු ඩොලර් මිලියන 122ක පිරිවැයක් දරා නිර්මාණය කර ඇති එය සුපිරි වීරයන් සිව්දෙනාගේ වික්‍රමයන් විනාඩි සියයක් පුරා ගෙන එයි. නව නිර්මාණයේ මයිකල් ටෙලර් රීඩ් රිචඩ්සන් ලෙසින්ද, කේටි මාරා සූසන් ස්ට්‍රෝම් ලෙසින්ද, මයිකල් බී. ජෝර්ඩ්න් ජොනි ලෙසින්ද, ජෙමී බෙල් බෙන් ග්‍රිම් ලෙසින්ද චරිත නිරූපණය කරති. 2005 වසරේ තිරගත වූ ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපටය කා අතරත් කතා බහට ලක් වූ නිර්මාණයක් විය. එය විචාරක ප්‍රසාදය නොදිනූ එහෙත් ජනතා ප්‍රසාදය දිනූ සිනමා නිර්මාණයක් ලෙසින් විශේෂ වූයේය. අමෙරිකානු ඩොලර් මිලියනයක වියදමින් නිර්මාණය කළ එය එමෙන් තුන් ගුණයකට වඩා වැඩි ආදායමක් උපයා ගත්තේ ප්‍රේක්ෂයන්ගේ ඉහළ පැසසුම් ලබමිනි. එහෙත් විචාරකයන් නම් ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාර පළ කළේ නැත. ඔවුන් එය දුටුවේ අනවශ්‍ය ලෙසින් දිගු කළ කම්මැලිකමක් ඇති කරවන නිර්මාණයක් ලෙසිනි. නමුත් එදාට වඩා අද වෙනස්ය. දස වසරක් ගත වනවිටදී තාක්ෂණයේද විශාල පෙරළියක් සිදුවී තිබේ. විචාරකයන් අසාර්ථක යැයි කියන විටදී ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත් චිත්‍රපට මාලාවකට තවත් නිර්මාණයක් කිරීම පිළිබඳව අද කාගේත් අවධානය යොමු වී තිබේ. එහෙයින් මෙම ව්‍යායාමයේ සාර්ථකත්වය හෙටින් පසු දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත.
|