වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘රන්සළු’ මෙහෙණිය ජීවිතයටම බලපෑවා

‘රන්සළු’ මෙහෙණිය ජීවිතයටම බලපෑවා

සුහාෂිණි අතුකෝරළ

චරිතයක් වෙනුවෙන් හිස මුඩු කළ ප්‍රථම ලාංකේය නිළිය

ඔයා ඒ කාලයේ ලස්සනට ඉන්න ඇති?

ලස්සන ජීවිතයට බරක්.

මේ සංවාදය ඔබේ මතකයට නැඟෙන්නේ ‘රන්සළු’ චිත්‍රපටයෙන්. එහිදී පුණ්‍යා හීන්දෙණිය සුජාතා ලෙසින් මෙත්තා මෙහෙණින් වහන්සේගෙන් බණ අසා සිය ජීවිතය වෙනස්කර ගන්නීය.

රන්සළු චිත්‍රපටය තිරගත වූයේ 1967 වසරරේදීය. එදා මෙත්තා මෙහෙණින් වහන්සේගේ චරිතයට පණ පෙවූයේ සුහාෂිණි අතුකෝරළ යි. එදා මෙදාතුර කාලයේ චිත්‍රපට ගණනාවක් එකතු වුවද එදා මෙත්තා මෙහෙණින් වහන්සේගේ චරිතයට පණ පෙවූ සුහාෂිණි නම් ඒ එකඳු සිනමා නිර්මාණයකින්වත් එයින් පසු හමු වූයේ නැත. එහෙත් පසුගිය දිනෙක කාලයකට පසු සරසවියට ඇය හමුවිය. ඒ අහම්බයෙනි.

මේ හමුවීම බොහොම කාලයකට පසුව නේද?

ඒක නම් ඇත්ත. මම එතරම් මාධ්‍ය සමඟ ගැවසෙන කෙනෙක් නෙවෙයි. බොහොම පාඩුවේ පින් දහම් කරගෙන ජීවිතය ගෙවනවා.

හරියට රන්සළු චිත්‍රපටයේ වගේ?

රන් සළු චිත්‍රපටයේ නම් මම මෙහෙණින් වහන්සේනමක්. මහණ දම් නොපිරුවක් ධාර්මික ජීවිතයක් තමයි මම ගත කරන්නේ. ඒක ජීවිතයට ලොකු සැහැල්ලුවක්.

රන් සළු ඔබේ ප්‍රථම සහ අවසාන චිත්‍රපටය වුණා?

සිනමාවට මම ගොඩක් ආසා කළා. චිත්‍රපට නරඹන්න සිනමාව ගැන තොරතුරු හොයන්න මට තිබුණේ පුදුමාකාර උනන්දුවක්. පාසල් කාලය අවසන්ව ගෙදරට වෙලා සිටි කාලයේදීයි මට රන්සළු චිත්‍රපටයේ රංගනයට ආරාධනා ලැබුණේ.

ඒ වටිනා අවස්ථාව ලැබුණේ කොහොමද?

රන්සළු නිෂ්පාදක වූ උපසේන මාරසිංහ මගේ බාප්පා කෙනෙක්. බාප්පා නිසා තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා යටතේ රඟපාන්න ලැබුණේ. ඒත් ගෙදරින් නම් රංගනයට කිසිම කැමැත්තක් ලැබුණේ නැහැ. මගේ බලවත් ආසාව මත ඒ සඳහා දායක වුණා.

අපේ රටේ මහා සිනමාවේදියාණන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය ඔබට දැණුනේ කොහොමද?

මගේ ප්‍රථම රංගනය එවැනි ජ්‍යෙෂ්ඨයෙක් යටතේ කරන්නට ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. ලෙස්ටර් මහත්තයා බොහොම කරුණාවන්ත පුද්ගලයෙක්. රූගත කිරීමේදී කිසිම කලබලයක් නැහැ. ඒ වගේම බොහොම පිළිවෙලකට වැඩකරන කෙනෙක්. දර්ශන තලය ක්‍රමානූකූලව හැසිරවීමට නිරතුරුවම වල බලා ගන්නවා. එතුමා දෙබස් කියන ආකාරය, හැසිරෙන ආකාරය මට එක සැරයක් කියලා දුන්නා. ඒ අනුව මම මෙත්තා මෙහෙණින් වහන්සේගේ චරිතයට පණ දුන්නා. “ඔයා හොඳට කළා” අවසානයේදී එතුමා මට එතුමාගේ අදහස ප්‍රකාශ කළා. එයින් පසුවත් එතුමා මට නිර්මාණ කිහිපයකටම ආරාධනා කළා.

ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථමවරට හිස මුඩු කළ රංගන ශිල්පිණිය වන්නේද ඔබයි?

රන් සළු චිත්‍රපටයේ මෙත්තා මෙහෙණින් වහන්සේගේ චරිතය මට වගේම සිනමාවටත් විශේෂ චරිතයක් වුණා. චිත්‍රපටයේ කතාවට අදාළ ලෙසින් මගේ කොන්ඩය කපන දර්ශනයකුත් ඇතුළත් වෙනවා. මම කිසිම ලෝබකමක් නැතුව කොණ්ඩය කපා හිස බූ ගාන දර්ශනයට මුහුණ දුන්නා. ඊට පසුව පවුලේ අයගෙන් බැණුම් අහගත්තා. ඒ වුණත් එතැනින් පසුව සිනමාවට සීමා තහංචි වැටුණා.

ඔබ ගත කරන්නේ තනිකඩ ජීවිතයක්?

තරුණ කාලයේදීත් මට විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. බොහොම නිදහස් ජීවිතයක බලාපොරොත්තුවක් තමයි තිබුණේ. මම පවුලේ එකම දරුවා. මම මගේ අම්මයි පුංචි අම්මයි සමඟින් ජීවත් වුණේ. මීට ටික කාලයකට ඉහතදී මගේ අම්මා ජීවිතයෙන් සමු ගත්තා. දැන් පුංචි අම්මයි මමයි විතරයි ගෙදර ඉන්නේ. ඇයත් බණට දහමට ගොඩක් ලැදි කෙනෙක්. ඒවගේම මමත් බොහොම සරළව බණට දහමට ලැදි ජීවිතයක් ගතකරනවා.

සිනමාට අසීමිතව පෙම් බැඳී ඔබ සිනමා නිර්මාණ නරඹන්නේ නැතිද?

මම එදා වගේම අදත් සිනමාවට ප්‍රිය කරනවා. බොහෝ චිත්‍රපට නරඹනවා. පසුගිය කාලයේ චිත්‍රපට කිහිපයක්ම නරඹුවා. ඒ අතරෙන් සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ සිනහව අතරින් චිත්‍රපටය මෑත කාලයේදී නිර්මාණය කළ හරවත් චිත්‍රපටයක්. අන්තිමට නැරඹූ චිත්‍රපටය ප්‍රවේගය.

එදා සිනමාවයි අද සිනමාවයි අතර වෙනස ඔබ දකින්නේ කෙළෙසද?

එදා අපි අලුත් චිත්‍රපටයක් එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ කාලයේ හරිම සුන්දර චිත්‍රපට නිර්මාණය කෙරුණා. වර්තමානයේදීත් හරවත් සාර්ථක චිත්‍රපට නිර්මාණය වෙනවා. ඒ අතරේ බාල බොළඳ නිර්මාණත් නැතුවාම නෙවෙයි. සමහර චිත්‍රපට රුල්ලට එන ඒවා. ඒවා රළ බිඳිලා යනවා වගේම නැතිවෙලා යනවා.

එදා සමකාලීයන් වගේම ඔවුන්ගේ රංගනයන් දකින ගැන මොකද හිතෙන්නේ?

පුණ්‍යා හීන්දෙණිය සිනමාවේ මම ගොඩක් ආසා කළ නිළියක්. මගේ පළමු රංගනය තිබුණෙත් පුණ්‍යා සමගින්. ඇය හරිම සුහදශීලි යෙහෙළියක්. අනුලා කරුණාතිලක, ටෝනි රණසිංහ රන් සළු චිත්‍රපටයේදී මට හමුවූ හොඳ මිතුරු මිතුරියන්. ඔවුන් ඉතා සාර්ථකව රංගන ක්ෂේත්‍රයට සිය දායකත්වය ලබා දුන්නා. පසුකාලයේ ඔවුන්ගේ රංගනයන් දකිනවිටදී මට ලැබුණු රංගන ආරාධනා ප්‍රතික්ෂේප කිරීම ගැන සමහර වෙලාවට දුකකුත් ඇති වුණා. අපරාදේ එහෙම කළේ කියලත් හිතුණු අවස්ථා තිබුණා.

දැන් ඔබේ ජීවිතය සැකසිලා තියෙන්නේ කොහොමද?

මම බොහෙම මධ්‍යස්ථ ජීවිතයක් ගත කරන්නේ. මගේ පුංචි අම්මා නිසා තමයි මම ගොඩක්ම බුදු දහමට ළං වුණේ. මම ජීවිතයේ අනිත්‍ය තේරුම් අරගෙන ධාර්මිකව සරළ ජීවිතයක් ගත කරනවා. බැඳීම් නැති ඒ සරළ ජීවිතය නිසා හිතටත් දැනෙන්නේ නිදහසක්.