වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි නොගෙව්වාම කොහොම අමතක වෙන්නද?

සල්ලි නොගෙව්වාම කොහොම අමතක වෙන්නද?
 

කැමරා අධ්‍යක්ෂ - සුජිත් නිශාන්ත (මයියා)

පසුගිය දවස්වල විචාරක අවධානයට පාත්‍ර වූ සනත් ගුණතිලක නිර්මාණය කළ සිනහව අතරින් චිත්‍රපටයේ කැමරාව මෙහෙය වූයේ සුජිත් නිශාන්ත. මේ නම වැඩිය පුුරුදු නමක් නොවේ. සනත් සිය දෙවැනි අධ්‍යක්ෂණය සඳහා වැඩිපුර නම නොදන්නා කැමරා අධ්‍යක්ෂවරයකු භාවිත කිරීම කාගේත් කුතුහලයට කරුණකි.

වියපත් බඹරා, අපේ කාලේ පටාචාරා, අනගාරික ධර්මපාල, දෝණි, අජාසත්ත, සිංහයා ආදී චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ වූ සුජිත් නිශාන්ත අද අපේ කතාබහට එක් වේ. ඔහු ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙනත් නමකිනි.

* සුජිත් ඇයි ක්ෂේත්‍රයේ හැමෝම සුජිත්ට 'මයියා' කියන්නේ? මේ නම හැදුණු අයුරු පහදා දෙමින්ම අපේ කතාබහට මුල පුරමු?

මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නේ මගේ මස්සිනා ග්‍රැන්විල් රොඩ්රිගෝ අයියා. එයා වැඩ කළේ විෂුවල් ඉම් පැක්ට් ආයතනයේ කළමනාකරු විදිහට. ඔහු මාවත් එතැන රස්සාවට ගත්තා. පළමුව මම වැඩ කළේ ආලෝකකරණ ශිල්පියෙක් විදිහට. ගලබඩ හස්තියා ටෙලියේ වැඩ කරන කොට ඒ ලොකේෂන් එකට ආපු ග්‍රැන්විල් අයියා මට කතා කළේ මට පොඩි කාලේ ගෙදර අය හුරතලේට කතා කරපු 'මයියා' කියලා. එදා ඉඳලා තමයි කලා ක්ෂේත්‍රයේ හැමෝම මට 'මයියා' කියන්නේ.

* මයියා කියන්නේ කඩවසම් තරුණයා කියන එක නේද?

ඔව්, ඔව්. මම එහෙම නැද්ද?

* ආලෝකකරණ ශිල්පියෙකු ලෙස අරඹා කැමරා අධ්‍යක්ෂවරයකු වන්නට කෙතරම් නිර්මාණවලට දායක වෙන්න සිදු වුණාද?

ටෙලි නාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයක වැඩ කරලා තමයි කැමරාවට අත තියන්න අවස්ථාව උදා වුණේ.

* කැමරාවට ඇස තියපු දවස?

පළමුවෙන්ම මම කැමරාවට ඇස තිබ්බේ විලංගුව ටෙලියෙන්. එහි කොටස් දහයකට දායක වුණා. එහි මගේ නම පළ වුණේ නැහැ. නම පළ වුණේ බොරලු වැස්ස ටෙලි නාට්‍යයේ. චිත්‍රපටයකට මාව ගත්තේ ප්‍රසාද් ද සිල්වා මහතා. ඒ තමයි වියපත් බඹරා චිත්‍රපටය.

* කැමරා අධ්‍යක්ෂවරයාට පැවරෙන වගකීම?

යම් නිර්මාණයක පිටපතට අනුව අධ්‍යක්ෂවරයාගේ සිතෙහි මැවෙන නිර්මාණය ඔහුට අවශ්‍ය පරිදි ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳ ගන්නා අයුරින් හසු කර ගැනීමේ වගකීම.

* ආශාවෙන් වැඩ කළ චිත්‍රපට?

පටාචාරා හා සිනහව අතරින්.

* වැඩ කරන්න කැමැතිම අධ්‍යක්ෂවරු?

මෙතෙක් වැඩ කළ හැමෝමත් සමඟ වැඩ කළේ කැමැත්තෙන්.

* සුජිත් ප්‍රිය කරන කැමරා අධ්‍යක්ෂවරයා?

පුෂ්ප කුමාර රාජගුරු මහතා.

* වැඩ කරන්න පහසු අධ්‍යක්ෂවරු?

වී. සිවදාසන් මහත්මයා එක්ක. ඒ වගේම සිනහව අතරින් චිත්‍රපටයේ අධ්‍යක්ෂ සනත් ගුණතිලක මහතාත් සමඟත් වැඩ කරන්න පහසු වුණා.

* මේ දෙපළගේ විශේෂත්වය?

දෙදෙනාම වැඩ කරන්නේ හරිම සැහැල්ලුවෙන්. වැඩ කරන හැමෝම එක්ක සුහදත්වයෙන් හරිම නිදහසේ වැඩ කරනවා. අපට ෆ්‍රෙෂර් ඒකක් දෙන්නේ නැහැ. ඒ වගේම මේ අයගේ දැනුම අපට නිර්ලෝභීව කියා දෙනවා.

* දැන් ඔබ චිත්‍රපටවලටම සීමා වෙලාද?

හුඟක් අය හිතනවා චිත්‍රපටවල වැඩ කරන්න පටන් ගත්තාම ටෙලිවල වැඩ කරන්න එන එකක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. චිත්‍රපට වගේම ටෙලිවලත් වැඩ කරන්න කැමැතියි.

* ක්ෂේත්‍රයේ ඔබ දකින අකැමැතිම දේ?

වැඩ අරගෙන මුදල් නොගෙවන එක.

* ක්ෂේත්‍රයේ තියෙන ලොකුම අඩුපාඩුව?

කලා ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට තමන් කරන කාර්යය හදාරන්න ප්‍රමිතියෙන් යුක්ත තැනක් නොමැතිකම.

* චිත්‍රපටයක් නරඹන විට ඔබේ සිත යොමු වන්නේ?

පළමුව කැමරා කෝණවලට. ඒ කියන්නේ යම් රූප රාමුවක් කේබල් ෂොට්, ට්‍රොලි, ට්‍රැක්, ජිබ් ආබ් ෂොට්, චොපර් ෂොට් යොදාගෙනද කරලා තිියෙන්නේ කියන එක.

* වඩාත් නරඹන්නේ?

හින්දි හා දෙමළ.

* ඇයි?

නර්තනයන් වැඩියි. ඒ වගේම ක්‍රියාදාමයනුත් ගැබ්ව තිබෙනවා. මේවයේ කැමරා කෝණ බොහොමයක් යොදා ගන්න නිසා.

* රඟපාන්න අවස්ථාව ලැබිලා නැද්ද?

නිවටයා ටෙලි නාට්‍යයේ පොඩි චරිතයක් කළා.

* මේ දවස්වල?

චිත්‍රපට හතරකට කතා කරලා තිබෙනවා. ඒවට ලෑස්ති වෙනවා.

* ඉදිරි බලාපොරොත්තුව?

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න.

* ඒ පිළිබඳ දැනුමක් තිබෙනවාද?

ඔව්. මම හිතනවා .

* ක්ෂේත්‍රයට පිවිසෙන්න හිතන් ඉන්න කෙනෙකුට මොකද කියන්නේ?

කැමරාකරණයට අත තියන්න පළමුව. මං වගේ ආලෝකකරණය, ශබ්ද පරිපාලනය ට්‍රැක්, ජිබ් හසුරුවන අයුරු හොඳින් දැනගෙන සිටීම වටිනවා. ඒ හැම දෙයක්ම කරලා ලබන දැනුම කැමරාකරණයට බෙහෙවින් බලපානවා.

* අමතක නොවන සිදුවීමක් කියමු?

අප්පෝ ඕනෑ තරම්. වැඩ කරලා සල්ලි ලැබුණේ නැති වුණාම කොහොම අමතක වෙන්නද? ඒවා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. සිනහව අතරින් චිත්‍රපටය කරන කොට මෝය කටේදි අපි ෂූට් කරන්න ගිය බෝට්ටුව හිර වෙලා බොහොම අමාරුවෙන් අපිව බේර ගත්තේ. ඒ වෙලාවෙ නම් මරණ බය කියන එක දැනුණා. මොනවා වුණත් කැමරාව නම් අත හැරියේම නැහැ.

* 'මයියා' අපි බොහෝ දේ කතා කළා. පවුලේ විස්තරත් කියමු?

මගේ පවුලේ සහෝදරයෝ පස් දෙනයි. මම තුන්වැනියා. මම පාසල් ගියේ ආනන්ද විද්‍යාලයට. මගේ බිරිඳ ඉනෝකා නයෝමි පෙරේරා. පුතා සයිශ තමෝද්. අසෝක මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙන ගන්නවා.

* ස්තුති කරන්නත් කට්ටිය ඇති නේද?

මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන් මගේ මස්සිනා අද අප අතර නැති ග්‍රැන්විල් අයියට. මගේ පවුලේ සැමට, වී. සිවදාසන්, ප්‍රසාද් ද සිල්වා, සුනිල් ටී. ප්‍රනාන්දු, සුනිල් ධර්මසිරි, සනත් ගුණතිලක, නිශාන්ත ද අල්විස්, ගයාන් රණධීර, කීර්ති රුවන් ලාල්සන්, රොහාන් වැලිවිට, ආනන්ද බණ්ඩාර,මාත් එක්ක එකට වැඩ කරන පිරිසට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

* මේ ගමන් මඟට තව අය එකතු කර ගන්නට කැමැතිද?

ඔව්. මගේ ගෝලයෝ අද තනියමත් වැඩ කරනවා. ඔබත් කැමැති නම් මගේ දුරකථන අංක 0779453305 ට කතා කරන්න.