වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගිහි ගෙය අතහැර යන්නත් හිතුවා

ගිහි ගෙය අතහැර යන්නත් හිතුවා

එල්. එම්. පෙරේරාගේ කනිටු පුත් හරිඳු වරුණ පෙරේරා

මාව නෙවෙයි සමහරු තාත්තාව දන්නෙත් නැහැ

‘උතුම් පැතුම්' හින්දා පාරේ බැහැලා යන්න බැරි කෙනෙක් අපට හමු වුණා. ඔහු තමයි හරිඳු වරුණ පෙරේරා. 'උතුම් පැතුම්' නාට්‍යයේ චන්දරේ හින්දයි හරිඳුට පාරෙ බැහැලා යන්න බැරි. හරිඳු අප සිනමාවට මහඟු මෙහෙවරක් කළ එල්. එම්. පෙරේරාගේ දෙවැනි පුතා බවත් මෙහිදී මතක් කරන්න ඕනෑ.

හරිඳු මේ දවස්වල ටෙලි නාට්‍ය කීයක ඔබ රඟපානවාද?

මං හිතන්නේ නවයක විතර. ඒ අතරින් උතුම් පැතුම්, නීල පළිඟු දිය, අංකල් සෑම් සහ සුසුමට පවා රහසින් යන නාට්‍ය විකාශ වෙනවා.

කොහොමද කාලය කළමනාකරණය කර ගන්නේ? මා දන්නා පරිදි ඔබ ව්‍යාපාරයකුත් කරනවා?

හරිම ලෙහෙසියි. මා හැම වැඩක්ම කරන්නේ කාල සටහනකට අනුව. ඒ වගේම මට ලැබෙන වැඩත් එක්ක මං සතිය කලින් ප්ලෑන් කරනවා. එතකොට කිසිම අවුලක් නැහැ.

ඔබට දැන් රංගනය සඳහා ලැබෙන ආරාධනා වැඩියි. එහෙව් තත්ත්වයක් මත ඔබ ඔබේ අය කිරීම වැඩි කර ගත්තේ නැතිද?

කොපමණ වැඩ කළත් මං තවම පරණ මිනිහා. ඉස්සර මුදලම තමයි තවමත් මං අය කරන්නේ. ඉල්ලුම වැඩි වුණාට ගාණ වැඩි වුණේ නැහැ. මං සාමාන්‍යයෙන් මුදලට වඩා වැඩේ වෙනුවෙන් කැප වෙනවා.

චන්දරේගේ ජනප්‍රියත්වය ඔබට කොහොමද දැනෙණ්නේ?

ඔබ පෙර කිව්වා වගේ මට පාරකට බහින්න බැහැ. ගමකට ගියොත් මිනිස්සු මාව වට කර ගන්නවා. නාට්‍යයේ ඉදිරිය ගැන අහනවා ඉවරයක් නැහැ. ඒ අයගෙන් බහුතරයක් කියන්නේ මම සහ ෆේස්බුක් නම් වූ චරිතය හින්දයි උතුම් පැතුම් බලන්නේ කියලා.

චන්දරේ හරි ජිල්මාට් කාරයෙක් නේද?

මටත් හරි පුදුමයි ඒ වගේ චරිතයක් කරලත් මට මෙතරම්ම ප්‍රතිචාර ලැබෙන එකට. මොකද නාට්‍යයක වැඩිපුරම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න පුළුවන් සුදු චරිතවලටනෙ. කොහොම හරි කමක් නැහැ මං චන්දරේට හොඳ සාධාරණයක් ඉටු කළා කියලා හිතෙනවා.

ඔබත් සැබෑ ජීවිතයේ ජිල්මාට් කාරයෙක් කියලා හිතන අයත් ඇති?

අනේ මන්දා. ඒත් මං සැබෑ ජීවිතයේ හරි සිල්වත් කෙනෙක්. මස් මාළු විතරක් නෙවෙයි මං අඩුම ගානේ බිත්තරයක්වත් කන්නේ නැහැ. ඒ වගේම හැකි සෑම අවස්ථාවකදීම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරනවා. සමහර විට මට හිතෙනවා මං ආගමට ඕනෑවට වඩා ළැදියිදෝ කියලා.

ඇයි ඔච්චර ආගමික කටයුතුවල නියැළෙන්නේ?

සසර කෙටි කර ගන්න.

සසර කෙටි වෙන්නේ නැහැනෙ කලා කටයුතුවල නියැළෙද්දී?

ඒක නම් එහෙම තමයි.

මේ සියල්ල අතහැර මහණ වුණා නම් හරිනෙ?

එහෙම හිතාගෙන ගිහි ගෙය අතහැර යන්න හිතුවා. නමුත් බිරිය මට යන්න දුන්නේ නැහැ. ඇය හින්දා මං ඉවසගෙන හිටියා.

ඔබ කොතරම් නාට්‍ය ප්‍රමාණයක රඟපෑවත් ටිකක් කලකිරීමෙන් වගේ ඉන්නේ?

කලකිරෙන්නේ නැද්ද මේකෙ ඉන්න මිනිස්සු කරන වැඩවලට. ඉස්සර මං රඟපාන්න එන්න කලින් රිදී තිරයේ හිටපු මගේ ආසම චරිතයන්ට දේවත්වයෙන් මං සැලකුවේ. හැබැයි ඒ අය කොච්චර කුහකද කියලා ඔවුන් එක්ක වැඩ කරද්දී මට දැනුණා. දේවත්වයෙන් අදහපු අයත් එක්ක මං වැඩ කරපු එකට සතුටුයි. නමුත් ඔවුන්ගේ නොමනා හැසිරීම් මගේ හිත පලුදු කළා.

ඔබ එල්. එම්. පෙරේරාගේ පුතනුවන් කියලා ඇතැම් අය දන්නේ නැහැ?

නොදන්නවා වුණාට කමක් නැහැ. සමහර අය එල්. එම්. පෙරේරාවවත් දන්නේ නැහැ. බොහොම කනගාටුයි අපේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ දැනුම ගැන. මං අවුරුදු ගාණක් ක්ෂේත්‍රයේ හිටියා. මං වැජඹුණේ තාත්තාගේ නමින් නෙවෙයි. ඒක දන්න අය දන්නවා. අනික තාත්තලා කරපු වැඩ අපිට කරන්න බැහැ. ඒ අය මුළු ජීවිතයම කැප කළා කලාවට.

ඔබ ව්‍යාපාරික නළුවෙක්. ව්‍යාපාරවලින් උපයන මුදල් යොදා යම් නිෂ්පාදන කටයුත්තක් කරන්න අදහසක් නැතිද?

කැමැතියි. ටෙලියක් කරන්න හිතක් තියෙනවා. හැබැයි පෝලිම්වල තියාගෙන ඉන්න බැහැ. සිනමාව පැත්තෙන් හොඳ කමඩියක් කරන්නත් ඉස්සර ඉඳලම හිතාගෙන හිටපු කාරණයක්. ඒත් තවම ඊට මූලික අඩිතාලම පාදගන්න බැරි වුණා.

ලැබෙන ඕනෑ චරිතයක් කරනවාද?

නිරුවත් චරිත හැර අනෙක් ඕනෑම චරිතයක් ලැබුණොත් බාර ගන්නවා. විශේෂයෙන්ම අභියෝගාත්මක චරිතවලට මං බොහොම කැමැතියි.

කවදා හෝ කලාවෙන් ඉවත් වෙන්න සිදු වුණොත්?

ඒක කවදාවත්ම වෙන්නේ නැහැ. මොන කලකිරීම් ආවත් මේක ඇතුළෙමයි ඉන්නේ. කෙටියෙන්ම කිව්වොත් අඩන්තේට්ටම් මැද වුණත් කලාවේ රැඳී සිටින්නේ ජානවල තියෙන ප්‍රශ්නයක් නිසා.