|
මේ ප්‍රශ්න සිංහල චිත්‍රපට හන්දාද?ප්‍රවේගය නිෂ්පාදක සදේශ් කුමාර්
ප්‍රවේගය චිත්‍රපටය මෙරට තැනූ දැවැන්ත ගණයේ නිෂ්පාදනයකි. එහි නිෂ්පාදකවරයා එකවර චිත්‍රපට දෙකක් නිපද වූයේය. මුල් චිත්‍රපටය සුපර් සික්ස්ය. දෙවැන්න ප්‍රවේගයයි. දෙවැන්න තිරගත වන විටත් ඔහු තවත් චිත්‍රපට දෙකක් එනම් 'මායා' සහ 'ආදරෙයි ආදරෙයි' වැඩ අවසන් කර ඇත. ඔහු නමින් සදේශ් කුමාර්ය. මේ ඔහු සමඟ කල කෙටි සංවාදයකි. සදේශ් ඔබ එකවර විශාල පිරිවැය සහිත චිත්‍රපට දෙකක් (සුපර් සික්ස් සහ ප්‍රවේගය) නිෂ්පාදනය කළා. මේ අවදානමකැයි ඔබට සිතුණේ නැද්ද? නැහැ. ඒක අවදානමක් නොවේ. හොඳ දෙයක් කරනවා කියන අභියෝගය පමණයි. පළමු චිත්‍රපටය තරමක් අසාර්ථකයි. ඒ වුණාට අවදානමක්. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. එහෙම වුණත් ප්‍රවේගය සාර්ථක වුණා. සාමාන්‍යයෙන් ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කරන වෙනත් ආයෝජකයන්ට වඩා ඔබ ඔබේ චිත්‍රපටය මෙහෙයවන්නට දායක වූ බව පුවත්පත් කලාවේදීන් හමුවේ පැවසුවා. ඔබ ප්‍රවේගය චිත්‍රපටය නිපදවීමේදී මුදල් ආයෝජනයෙන් හැර දායක වූයේ කොහොමද? මේ කතාව තෝරා ගැනීමේ සිට එයට නළු නිළියන් තෝරා ගැනීමේදී පවා මා දායක වුණා. ඩොනල්ඩ් ජයන්තත් මමත් නළු නිළියන් තෝරා ගැනීමේදී දිගටම කතා කළා. හේමාල්ව මම මුලින් තෝරා ගත්තා. ජැක්සන් අයියාවත් එහෙමයි. ඒ තමයි මගේ මුල්ම චොයිස් එක. ජැක්සන් අයියා නැත්නම් තමයි වෙනත් නළුවෙකු ගන්නේ කියලා හිතා හිටියා. ඩී. ජේ. මගේ මල්ලිගේ යාළුවෙක්. ඒ වගේම උදාරි. මම විදෙස් ගමන්වලදී මුණ ගැහුණා. සාදයකදීත් හමු වුණා. අපට ඕනෑ කළා අලුත් මුහුණක්. ඒ පාර අපි තිර පරීක්ෂණයකට යොමු කළා. ඇයව තෝරා ගත්තා. ඒ වගේ චිත්‍රපටයට මුල ඉඳලම මා දායක වුණා. සල්ලි යොදවලා නිකම් බලා සිටියාට වැඩක් නෑ. ඔබේ පියා (ආර්. කේ. රාජා) මෙරට ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඔබට ඔහුගේ චිත්‍රපට මතකද? ඔව්. තාත්තා බිරිඳ, සමන්මලී සහ තාත්තයි පුතයි චිත්‍රපට නිපදවූවා. මෙයින් එක් චිත්‍රපටයක් හැර අනෙක් චිත්‍රපට සාර්ථකයි. ලොකු ලාබ ඉපයුවේ නැහැ. ඒත් පාඩු නැහැ. තාත්තා චිත්‍රපට හදන කොට මට අවුරුදු 15 ක් විතර ඇති. ඒ දවස්වල චිත්‍රපට නිපදවන්න ඔබ සිතුවාද? අපොයි නැහැ. මම ඉස්කෝලේ යනවා. හැබැයි මම හැම පික්චර් එකක්ම බලනවා. මම පික්චර්වලට ආසයි. මම තවමත් හැම පික්චර් එකක්ම බලනවා. ඔබ පාසල් ගියේ? ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට. අපේ පාසල තමයි මෙරට චිත්‍රපට කර්මාන්තයට වැඩිම දෙනෙක් දායාද කළේ. ඇයි ඔබ චිත්‍රපට නිෂ්පාදනයට එකතු වුණේ? අපි සාමාන්‍යයෙන් උපදිනවා. කසාද බඳිනවා. ජීවත් වෙනවා. මැරෙනවා. මට වුවමනා වුණා එයට වඩා නමක් තියෙන වැඩක් කරන්න. අනිත් කාරණය මම චිත්‍රපට නිෂ්පාදනයට කැමැතියි. ප්‍රවේගය හොඳින් තැනුවත් තිරගත වීම ප්‍රමාද වුණේ ඇයි? ඒක මම හරියට දන්නේ නැහැ. සමහරු ඒකට ඉඩ දීලා නැහැ. මටත් ඒ කතාව හරියට දැනගන්න ලැබුණේ සතියකට විතර උඩදී. ඒ චිත්‍රපට කර්මාන්තයේ හැටි. දැන් මේ චිත්‍රපටය දුවන හින්දා ප්‍රශ්නයක් නැහැ. කාටවත් දොස් කියන්න මම කැමැති නැහැ. ඊළඟ චිත්‍රපට දෙක? ඒකට ප්‍රශ්නයක් නැහැ. ප්‍රවේගය දිව්ව නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. චිත්‍රපට කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ? මම ඉන්දියවේ චිත්‍රපට නිෂ්පාදන සංවිධානයේ සමාජිකයෙක්. එහේ චිත්‍රපට හැදුවා නම් මාස තුනෙන් රූ ගැන්වූවා. හයෙන් එළියට එනවා. හොඳ ද නැද්ද, දුවනවාද නැද්ද කියන එක එළියට දාලා දවස් දෙකෙන් හිතා ගත්තෑකි. අපි සිංහල චිත්‍රපට හදලා බලාගෙන ඉන්නවා. ඒත් මම තමිල්නාඩුවේ චිත්‍රපට හදන්නේ නෑ. මං ඉගෙන ගත්තේ, හැදුණේ වැඩුණේ, උපන්නේ ජීවත් වුණේ ලංකාවේ. මම දැක්කා ඉස්සර ගාමිණී, මාලිනීලා, විජයලාගේ චිත්‍රපට. ඊට පස්සේ මං දැක්කා වාණිජ සිනමාවේ ලොකු අඩුවක්. මට ඕනෑ කළේ ඒ අඩුව පිරිමහන්න. හොඳ චිත්‍රපට හදන්න. ප්‍රවේගයට ඔබ ඉන්දියානු අධ්‍යක්ෂවරයෙකු යොදා ගත්තේ ඇයි? මෙහේ දක්ෂයෝ නැද්ද? මෙහෙ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි මට ඕනෑ පට, පට ගාලා වේගෙන් යන ස්ටයිල් එකේ චිත්‍රපටයක් හදන්න. කොච්චර හොඳට හැදුවත් අපේ රටේ බොහෝ විට සිනමා ශාලා කැමැති චිත්‍රපටය ශාලාවට එන්නේ නැහැ. නිෂ්පාදක කැමැති ශාලාවට චිත්‍රපටය දෙන්නත් බැහැ. ඇතැම් නගරවල හොඳ සිනමා ශාලා තිබියදී ප්‍රවේගයට ලැබෙන්නේ නරක ශාලා? ඒකට විසඳුම සියලුම ශාලා ඩිජිටල් කිරීමයි. අද සිංහල චිත්‍රපටවලට ප්‍රශ්න තියෙනවානේ. පිටපත් සීමා කිරීම් වාගේ කාරණාත්. හැබැයි දෙමළ චිත්‍රපටයක් අද ලංකාවේ පිටපත් 26 ක් එකවර පෙන්වනවා. සිංහල චිත්‍රපට පෙන්වන්න ගියාම තමයි ගැටළු. ඔබේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන ඔබට හිතෙන්නේ කොහොමද? මට සතුටුයි. ෆේස් බුක් එකේ ඉස්සෙල්ලාම මේක දෙමළ චිත්‍රපටයක් කියලා ගියාම ඒකට විරුද්ධව රිප්ලයි දහසක් විතර ගියා. ඔව්, මේ චිත්‍රපටය පොල්ලාදවන් කියන දෙමළ චිත්‍රපටය. අනිත් එක අප ඉන්දියාවේ අවසරය ඇතිවයි නිෂ්පාදනය කළේ. ඉතිහාසය පුරාම බැලුවොත් වැඩි හරියක් චිත්‍රපට දෙමළ, හින්දි චිත්‍රපට ආශ්‍රයෙන් හැදුවේ. ඒවා හරි ජනප්‍රියයි. ඒ වගේම ලෙනින් මොරායස්ලා වගේ අය ඒ චිත්‍රපට හොඳට හැදුවා. පස්සේ අසූව දශකයේ විතර නම් එච්චර හොඳට අලුත් නිෂ්පාදන කළේ නැහැ. මට ඕනෑ කළේ හොඳට කරන්න. ප්‍රවේගය තිර නාටකය ගැන ආන්දෝලනයක් තිබුණා. ඇත්තටම සිංහලට ලිව්වේ කවුද? පොල්ලාදවන් කතාව සිංහලට මුලින් ලිව්වේ ඒ. අලගේෂන්. ඒක මහේෂ් රත්සර මද්දුම ආරච්චි හොඳට යළි නිර්මාණය කළා. දර්ශන තලයේදී මහේන්ද්‍ර පෙරේරායි, පුබුදු චතුරංග යළි තවත් අලුත් දර්ශන නිර්මාණය කළා. ඔබ හිතන්නේ අපේ සිනමාවේ අනාගතය කොහොමද? හොඳ චිත්‍රපට කරනවා නම් අනාගතය හොඳයි. ඒක බිග් බජට් ද කියන එක නෙවේ ප්‍රශ්නේ. හොඳ චිත්‍රපටයක් හදන එකයි වැදගත්. එහෙත් ඔබ මුලින් නිපද වූ සුපර් සික්ස් අඩු වියදම් දෙමළ චිත්‍රපටයක් ඇසුරෙන් තැනූවක්. එය ඉන්දියාවේ සාර්ථකයි. මෙහි අසාර්ථක වුණේ ඇයි? ඒ ගැන අහන්න එපා. |