වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ටෝනි නම් මා සිත් ගත් රංගධරයාණෙනි

අද 2015 ජූනි මස 16 වැනිදා. උදෑසන මා දියණිය සමඟ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට යමින් සිටියෙමි. ඒ වන විට උදෑසන 8.30 ට පමණ ඇත. මාගේ ජංගම දුරතනයට ආ කෙටි පණිවිඩයකි. Veteran Film Actor Tony Ranasingha Has... මෙම ප්‍රවෘත්තිය කිය වූ මාගේ හිතට හා හදට ද ඇති වූයේ දැඩිකම්පනයකි, ශෝකයකි. ඊයේ දිනයේදී ද අහම්බෙන් මට ඔහුව මතක් වුණා. සුපුරුදු පරිදි සෑම වසරකම ජූලි මස 31 වැනිදා මම ටෝනි රණසිංහ කියන මා ජනප්‍රිය, සිත්ගත් ඒ රංගධරයාගේ උපන් දිනයට 0777366366 ට කතා කොට සුබ පතන්නෙමි. මාගේ පාසල් අවධියේ පටන් මා සිත් ගත් නළුවා ටෝනියි. ඒ අවස්ථාවලදී ඔහු මට එසැනින් පවසන්නේ මට ජනාධිපතිතුමාත් සුබ පැතුවා කියායි.

තව වසරකදී උපන් දින සුබ පැතීමේදී මා කතා කළ විට ආ වීණා ද කියලා ඇසුවා. මම කිව්වා 'මම වීණා නොවෙයි විවේකා කියලා. ඔහු කීවේ 'මගේ ෆෝන් එකේ V අකුර පෙන්නුම් කළ නිසායි මම එහෙම ඇසුවේ කියා. ලබන මස ජූලි 31 දාට මම ඔහුගේ නිවසටම ගොස් සුබ පතන්නයි සිතාගෙන සිටියේ. නමුත් යන්නට සිදු වූයේ ඔහුගේ නිසල දේහය දැකීමටයි. ඒ අංක 10 දැන් නිහඬය. මා ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි, ඔබගේ නම අමරණීයයි. සාමදානයේ සැතපේවා!
 

විවේකා සමරසිංහ

සුජාතා අත්තනායකට

සුලලිත සුමියුරු ගී නද රිදී තිරයෙහි ඔපවත් කළ සුජාතා අත්තනායකයන් පසුබිම් ගායනයට ප්‍රවිෂ්ට වන්නේ හැටේ දශකයේ මුල් භාගයේය. එතැන් පටන් චිත්‍රපට සංගීතඥවරියක්, සංගීත කථිකාචාර්යවරියක් හා ගුවන් විදුලියේ විශිෂ්ට සරල ගී ශිල්පිනියක් වශයෙන් පරපුරෙන් පරපුරට සිය කුසලතාව හෙළ කලාව තුළ පෝෂණය කළාය. සරසවිය සම්මානනීය සුජාතාවන්ගේ පුරා දශක පහක සංගීත මෙහෙවරට මෙලෙසින් ප්‍රණාම පුදමු.
 

සුනිල් විජේසිංහ

මතුගම

පුන්සිරි සොයිසාට

හැඟුම්බර, ලයාන්විත, ගීතයෙන් අපව නැවුම් ලොවකට ගෙන ගිය ඔබ අපට සිටින නිහතමානී ගායකයෙක්ය. ඔබට තව තවත් ගීත ගයා අපව පිනවන්නට සරස්වතී දෙවිඳුන්ගේ පිහිට ලැබේවායි පතන්නම්.
 

සුනිල් බී. වේහැල්ල, ගීතා නන්දනී සමරසිංහ

ගෝනපොල

විල්බට් ඇන්තනී

කනට මිහිරි සුමිහිරි හඬක් හිමි වූ නෙතට ප්‍රිය මානප රුවක් ඇතිව සැමගේ හොඳ හිත රැකගෙන ගායන දිවියත් ව්‍යාපාරික දිවියත් ඉතාම සාමකාමීව ගෙවූ අපේ කාලයේ සුන්දර කෙනෙකි විල්බට් ඇන්තනී. රෝගීව සිට අපෙන් වෙන් වූ ඔබට රසික අපේ ප්‍රණාමය. සදා මොක් සුව පතමි මෙසේ.

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව

නැවත සිහි කරමු

පෙර දින සිනමාව ඔපවත් කළ මිය ගිය සියලුම සිනමා තරු නැවත සිහි කරමු.
 

ගාමිණී මහබාලගේ

පිළියන්දල

උදාරිට ජයග්‍රාහික සුබපැතුම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් විවාහක විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වී සිටින ජනප්‍රිය නිළියක වූ උදාරි වර්ණකුලසූරියට ඈ සිතන අප සිතන පතන ඒ ජයග්‍රාහී තරගයේ පළමු ස්ථානයම දිනා ගැනීමට වාසනාව අත්වේවායි අප එක සිතින් පතමු.
 

මැණිකේ විල්වල

තටාක පාර, කෑගල්ල

කොපිය හොඳ නෑ

ප්‍රවේගය සිනමාපටය ද්‍රවිඩ සිනමාවෙන් ආ චිත්‍රපටයක් යැයි කියවේ. ද්‍රවිඩ සිනමාපටයක් කොපි කොට තැනූ චිත්‍රපටයක් සාර්ථක යයි කිව නොහැක. සිංහල සිනමාව යම් තරමක් හෝ ප්‍රගතියක් ලබා ඇත්නම් එම ප්‍රගතිය ආපස්සට හරවන චිත්‍රපටයක් ලෙස ප්‍රවේගය හැඳින්විය හැක.
 

අයිලීන් සෝවිස්

සොයිසාවත්ත, වැලිසර, රාගම

වික්ටර් වික්‍රමගේට සදා නිවන් සුව

පැරැණි වේදිකා නාට්‍ය හා නූර්ති ගී ගායනයෙන් දායක වූ වික්ටර් වික්‍රමගේ අභාවය ටවර් හෝල් යුගයෙන් ගෙන ආ සිවම්මා ධනපාල, කඩවුණු පොරොන්දුව වැනි පැරැණි නාට්‍යයෙන් අප සැනසූ වික්ටර් වික්‍රමගේට සදා නිවන් සුව එක සිතින් පතමි.
 

ලියනගේ සෝමරත්න ද සිල්වා

මරදාන, අහුන්ගල්ල

චන්ද්‍රන්රත්නම් මහතාට

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ආදර කතාව, ජනේලය, අලිමංකඩ, මදාරා පරසතු, පොරොන්දුව වැනි රසිකයන්ගේ මතක ගබඩාවේ නොමැකෙන සටහන් තැබූ චන්ද්‍රන් රත්නම් මහතාණෙනි ඔබගේ කෘතහස්ත අධ්‍යක්ෂණයෙන් ඉදිරියේදී සිංහල සිනමාවේ අනාගතය නව මං පෙතකට විවර කරනු ඇතැයි ද ඔබ විසින් අධ්‍යක්ෂණය කොට තැනූ මනරම් සිනමා සිත්තමක් අපට තිළිණ කරනු ඇතැයි අපේක්ෂා කරමි.
 

චන්ද්‍රකාන්ති ධර්මරත්න

කැලණිය

අවසානය හරිම රසවත්

ලක්ෂ්මන් පුෂ්ප කුමාර අතින් නිමවූ මහේෂි, අංජුලා, සම්පත්, සුසිලා නළු නිළි රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ පිනිමුතු වැස්සේ ටෙලි නාට්‍යය අවසානය හරිම රසවත්. ලස්සනට පටන් ගෙන ලස්සනට නිමා කළ පිනිමුතු වැස්ස ටෙලි නාට්‍යයට දායක වූ සැමට හා අයිටීඑන් එකට මාගේ ප්‍රණාමය.
 

සරත් සේනාධීර

කලඑළිය, ජාඇල

සඳ දියවරට

සඳ දියවර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවන තාරුකා වන්නිආරච්චි එම චරිතය මැනවිින් තම ග්‍රහණයට ගෙන ඉතාමත් අපූරු අන්දමින් නිරූපණය කිරීම එම නාට්‍යයේ ජීව ගුණය රඳවා තබා ගැනීමට මහෝපකාරී වී තිබේ.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

S.M.S.

යුගයක නිමාවෙන් තවත් යුගයක් ගීතයෙන් එකලු කරන්නට කලාව ජීවිතය කොට ගනිමින් සහෘද රසික හදවත් ගීිතයෙන්, රංගනයෙන් මුසපත් කළ, සුවපත් කළ, ජෝති, විජය, බෙග් මාස්ටර්, මිල්ටන්, ක්ලැරන්ස්, හරුන් ලන්ත්‍රා, විල්බට් ඇන්තනී වැනි මිල කළ නොහැකි වස්තූන් අද ජීවමානව නොමැත. එවන් පරපුරක මතකය සුරැකෙමින් ජීවමානව සිටින එවන් කලාකරුවන් අතළොස්ස රැක ගැනීම ශ්‍රී ලාංකික රසිකයන් වශයෙන් අප සතු යුතුකමකි.
 

චතුරංග සම්පත්

තුන්තාන, හංවැල්ල

චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ දක්ෂ කාටුන් හා චිත්‍ර කතා නිර්මාණකරුවෙකි. මොහුගේ චිත්‍ර ලොකු පොඩි කාටත් හැමදාමත් මතකයට නැගේවා. ඔහුගෙන් චිත්‍ර කලාවට සිදු වූ සේවය අපිරිමිතයි.


සෝමා එච්. පතිරණ

කහවත්ත

ආදර වැස්ස හරිම ලස්සනයි. දිනක එය ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙසට සම්මානයට පාත්‍රවේවි.
 

නිලූකා

අවිස්සාවේල්ල

සෝනියා දිසාට, චිත්‍රපට අධ්‍යක්ෂිකා, ප්‍රවීණ රංගන ශිල්පිනී ඔබට සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල

සම්පත්, වෙළෙඳ සේවයට සම්පතක්. ඔබ වැඩසටහන ඉදිරිපත් කරන අයුරු හරිම ලස්සනයි.
 

ශානිකා

මරදාන

බිංදු බෝතලේගම අපේ ප්‍රවීණ නළු බන්දු වගේමයි. දිගු ගමනක් යා හැකි බව පේනවා. බන්දුගේ කොපියක් නොවී ඔබ ඉදිරියටම යන්න.
 

වික්‍රම

මිද්දෙනිය

කනිෂ්ක නදීශාන්, නවක ගීත රචකයන්ට අවස්ථාවක් දෙන්න ආස නැද්ද. මම ගීත රචනයට දක්ෂයි. මම ආසයි ඔයාට ගීත රචනා කරන්න.
 

ශානි

අනුරාධපුරය

ටී. වී. දෙරණ හරහා ටෙලිවලට පැමිණි 'ඇසිඩ්' ටෙලියේ අකිල දිසානායකගේ රඟපෑම තාත්විකයි. ඔහුට සුබපැතුම්.
 

නිලානි

පානදුර

ජූඩ් රෝජන්ස් ගායනා කරන ආදර මගෙ තාත්තේ ගීතය මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම දිනාගෙන සිටින නිතර අසන්නට දකින්නට ලැබෙන පිය ගුණ ගීතයකි.
 

අතුල රම්‍යසිරි

පානදුර

0773042834

ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය,

ලේක්හවුස්,

කොළඹ 10

යන ලිපිනය විවෘතය.