|
කලා ලොව නංවන්න යෝජනා මාලාවක් අගමැති අතට...
සිනමාව, රූපවාහිනිය, වේදිකාව ඇතුළු ජාතික කලා මාධ්‍යයන් යහපත් මාවතකට යොමු කර ඉහළ මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් වූ යෝජනා මාලාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමට එක්සත් ලංකා කලාකරුවෝ සංවිධානය පියවර ගෙන තිබේ. මේ යටතේ ශ්‍රී ලංකාවේ සමස්ත කලා ක්ෂේත්රය වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් පාසලක් ආරම්භ කිරීම, සියලු ටෙලි නාට්‍ය විශේෂ මණ්ඩලයක් යටතට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම, මෙරට සිනමාශාලා ඩිජිටල් තත්ත්වයට පරිවර්තනය කිරීම, ටෙලි නාට්‍ය ඉදිරිපත් කර විකාශය කිරීම දක්වා විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් සකස් කිරීම සහ ටෙලි නිර්මාණ කර්මාන්තයේ උන්නතිය උදෙසා ප්‍රමාණවත් මුදලක් නාට්‍ය එක් කොටසක් වෙනුවෙන් ගෙවීම, බුද්ධිමය දේපළ පනත රජයේ මැදිහත් වීමෙන් නිසි ලෙස බලාත්මක කිරීම, කලාකරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම, සිනමා හා රූපවාහිනී අධ්‍යාපනය පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාලය දක්වා වන ක්‍රමවේදයක් ඇති කිරීම, ප්‍රාදේශීය මට්ටමේ කලාකරුවන්ගේ නිර්මාණ එළි දැක්වීමට වැඩ පිළිවෙළක් ඇති කිරීම, කලාකරුවන් වෙනුවෙන් සුබ සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම, කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් ඇති කිරීම, යන යෝජනා ඉදිරිපත් කෙරේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්වුණු අතර එම අවස්ථාවට චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරු ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගී වූහ.
රන්ජන් ගැන කතාබහ එන්න එන්නම උණුසුම්
සිංහල සිනමාවේ අවසන් සුපිරි තරුව ලෙස සිනමා විචාරකයින් හඳුන්වා දෙන රන්ජන් රාමනායකගේ ජීවිත කතාව ඇසුරෙන් තමා රචනා කරන මනරන්ජන රන්ජන් කෘතිය කිසිම දේශපාලන වාසි තකා සම්පාදනය නොකරන්නක් බව අර්නස්ට් වඩුගේ සරසවියට දන්වා සිටියි. එවැනි ග්රන්ථයක් එළිදැක්වීමට සූදාමින් සිටින වග මාධ්‍යයට ප්‍රකාශයට පත් කළ දින සිට අති විශාල දුරකතන ඇමතුම් සංඛ්‍යාවක් ලැබුණු බව ද හෙතෙම පැවසීය. දැන් එන සෑම දුරකතන ඇමතුමකින්ම පාහේ අර දේශපාලන කතාව විමසනවා. මේ ග්රන්ථයෙහි රන්ජන්ගේ ප්‍රේම කතා ගැන සඳහන් කරනවා කිව්වාම මුල් යුගයේ කතා කළේ රන්ජන් එක්ක පෙම් පළහිලව් තිබුණු අය. මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් අඩු වුණත් ඒ පිළිබඳ නොඅසන කෙනෙකු ද නැති තරම්. එහෙත් එන්න එන්න ඡන්දය ළං වන හින්දා රටත් ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයෙන් උණුසුම් වෙනවනේ. එබැවින් බොහෝ දෙනෙක් හිතනවා මේ පොත ලියවෙන්නෙත් රන්ජන්ගේ දේශපාලනය අරමුණු කරගෙන කියලා. එය අසත්‍යයක්. රන්ජන් කියන්නේ විජයගෙන් පසු මා දුටු සුපිරිම තරුවක්. ඔහු ක්ෂේත්රයට එන්නේ හරියට දුක් විඳලා. තමන්ගේ මාමා වන විජය කුමාරතුංග ප්‍රධාන භූමිකාවට පණ පොවපු ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ ඉතාම සුළු චරිතයක්. එහෙම පටන්ගෙන අද ඔහු ඉතාම හොඳ තැනක ඉන්නවා. අන්න එවන් වූ අයකුගේ ජීවිත කතාවෙන් බොහෝ දෙනෙකුට ආදර්ශයන් ගන්නත් පුළුවන්. වඩුගේ වැඩිදුරටත් පැවසීය.
ඩග්ලස් රණසිංහට උත්තමාචාරයක්
වසර හතළිහක් පුරා කලාව වෙනුවෙන් කරන ලද සේවය අගයා ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහයන්ට ආරිය පදනම මඟින් පසුගියදා උත්තමාචාර සම්මානයක් පිරිනැමීය. එම පදනම මඟින් සංවිධානය කළ ලිහිණිසර ගී ප්රසංගයේදී මෙම සම්මානය ඩග්ලස්ට ලබා දුනි. ප්‍රියා සූරියසේන, බණ්ඩාර ආතවුද, ජගත් වික්‍රමසිංහ සහ අමිලා නදීශානි ලිහිණිසර ප්‍රසංගය ගීතවත් කරන ලදී. මෙම අවස්ථාවට සමගාමීව බෝයගනේ විජයබා රෙජිමේන්තුවේ ආබාධිත සෙබලුන්ගේ ප්‍රයෝජනය පිණිස ඉදිකරන පුස්තකාලය සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුණු බව ආරිය පදනමේ සභාපති මාධ්‍යවේදී චරිත් කිරිඇල්ල ප්‍රකාශ කර සිටියේය.
|