|
ජනපි‍්‍රය සිනමාවේ සුළඟ ගිනි අරන්
පසුගිය සතියේ ශ්‍රී ලාංකික සිනමාව අරභයා අසන්නට ලැබුණු වැදගත්ම ප්‍රවෘත්තිය කවරේදැයි කිසිවකු මගෙන් විමසන්නේ නම් මට ලබා දිය හැකි හොඳම පිළිතුර නම් විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් චිත්‍රපටය ස්විට්සර්ලන්තයේ ලොකාර්නෝ සිනමා උළෙලේ අවසන් වටයට නැතහොත් රන් දිවියා සම්මානයට තරග වැදීමය. මෙම සිනමා උළෙල ඊයේ එනම් 5 වැනිදා ආරම්භ වීමට නියමිත වන අතර අවසන් වනුයේ 15 වැනිදාය. එම උළෙලේ දී සුළඟ ගිනි අරන් මුල්වරට තිරගත වීමට නියමිතව ඇත්තේ හෙට 7 වැනිදාය. එය නැවත 8 වැනිදා ද 9 වැනිදාද තිරගත වනු ඇත. සර්බියාවේ බතූර් බතුරාද්යේ, ජෝර්ජියාවේ ඔටාර් ලොයෙලියානි, බෙල්ජියමේ චාන්ටල් අකරිටත් ඇතුලු අලුත් පරම්පරාවේ කැපී පෙනෙන සිනමාකරුවන් රැසක්ම ලොකාර්නෝ සිනමා උළෙලේ තරගකාරි අංශයෙන් තරග වදිති. 1946 වසරේ ආරම්භ වූ මේ සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය රන් දිවියා සම්මානය වන අතර එය අන්තර් ජාතික හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමේ. එමෙන්ම එය හොඳම චිත්‍රපටයේ නිෂ්පාදක හා අධ්‍යක්ෂ අතර සමව බෙදී යයි. විශේෂ ජූරි සම්මානය හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම නළුවා ආදී වශයෙන් දිවි සළකුණ සහිත සම්මාන තවත් කිහිපයකි. මෙයට අමතරව සිනමාකරුවකුගේ මුල්ම චිත්‍රපටය උදෙසා ද, ප්‍රංශ ටෙලිවිෂණ විකාශන අයිතිය ලබා ගැනීම සඳහා වන සම්මානය ද ආදී වශෆයන් තවත් සම්මාන රාශියකි. වර්තමානයේදී අවුරුද්දේ සෑම දිනයකම පාහේ ලොව කොතැනක හෝ නගරයක සිනමා උත්සව පැවැත්වීම සාමාන්‍ය කරුණකි. 2013 වර්ෂයේදී හෙළිදරවු වූයේ සාමාන්‍යයෙන් වසරකට ලොව පුරා ජාත්‍යන්තර සිනමා උත්සව 3000 ක් පමණ පවතින බවය. උදාහරණයක් හැටියට මේ වසරේ නොවැම්බර් 2 වැනිදා කොළඹ අන්තර් ජාතික සිනමා උළෙල ඇරැඹෙන අතර එය නිමා වෙද්දී බැංග්ලෝර් අන්තර් ජාතික උළෙල ද, එම 20 වැනිදා වන විට ඉන්දියානු අන්තර් ජාතික උළෙල ද, එයින් පසු කේරළ සිනමා උළෙල ද පිළිවෙලින් මේ කලාපයේ සැලසුම් වී ඇත. මේ අතරින් වඩා පැරැණි උළෙල ඉන්දියානු අන්තර් ජාතික උළෙල නමින් ප්‍රසිද්ධ වර්තමානයේ ගෝවා අගනුවර වූ පාන්ජිම් හි පැවැත්වෙන සිනමා උළෙලය. ලොව දැනට ඇති පැරැණිතම හා අඛණ්ඩව පවත්වන ලද සිනමා උළෙල වැනිස් සිනමා උළෙලයි. එය ආරම්භ වූයේ 1932 වර්ෂයේදීය. ප්‍රංශයේ පිහිටි අන්තර් ජාතික චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ෆෙඩරේෂණය මඟින් තරගකාරී සිනමා උත්සව ලෙස ඉහළින් පිළිගනු ලබන සිනමා උත්සව කිහිපයක් වෙයි. බර්ලින් උළෙල (ජර්මනිය), කයිරෝ උළෙල (ඊජිප්තුව), කාන් උළෙල (ප්‍රංශය), ඉන්දීය අන්තර් ජාතික උළෙල, කාලෝවිවාරි (චෙක් ජනපදය), ලොකාර්නෝ (ස්විට්සර්ලන්තය), මොන්ට්‍රියල් (කැනඩා), මොස්කව් (රුසියා), මා ඩිල් ප්ලාසා (ආර්ජන්ටිනා), සෙන් සෙබස්තියන් (ස්පාඤ්ඤය), ෂැංහයි (චීනය), ටෝකියෝ (ජපානය), වැනිස් (ඉතාලිය), වෝෂෝ (පොල්න්ත), ටාලින් (එස්තෝනියාව) මේ අන්තර් ජාතික වශයෙන් මහ ඉහළින් සලකනු ලබන සිනමා උළෙලයන්ය. ජගත් සිනමා උත්සවයක් සඳහා ශ්‍රී ලාංකික සිනමාවට දොරගුළු විවර කර දෙන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. ඒ 1957 දී රේඛාව චිත්‍රපටය කාන් සිනමා උළෙලට ඉදිරිපත්වීම හරහාය. එතැන් පටන් 1990 දශකය දක්වාම ලාංකික චිත්‍රපට රාශියක් එතෙර සිනමා උත්සව බලා ගියහ. ගම්පෙරළිය, අහසින් පොළවට, හඳයා වැනි චිත්‍රපට ජාත්‍යන්තර සම්මාන දිනා ගත්තේ එම කාලයේය. අද මෙන් ලෝකය වඩා ළංව නොතිබූ එකල ජාත්‍යන්තර උත්සව සඳහා චිත්‍රපටයක් යැවීම මහත් දුෂ්කර කර්තව්‍යක් විය. එබැවින් චිත්‍රපටයක් එතෙර යෑවීම මහා ලොකු දෙයක් විය. අනෙක් අතට චිත්‍රපටයක් නිපදවීමෙන් පසු මෙරටදීම එයට සෑහෙන වෙළඳපොළක් සපයා ගත හැකි වීම නිසා ලෝකයේ සෙසු ජාත්‍යන්තර සිනමා උත්සව ගැන අවධානය යොමු වීමට තරම් උනන්දුවක් ද නොවීය. එමෙන්ම හැදුණ බොහෝ චිත්‍රපට ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කිරීමට තරම් සෑහෙන තත්ත්වයක ද නොවීය. 1972 සිට මුල් යුගයේ බොහෝ චිත්‍රපට විදෙස් උත්සව සඳහා යැවීමට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මැදිහත් විය. එයට පෙර චිත්‍රපට එතෙර ගියේ සිනමාකරුවන්ගේ උනන්දුව මතය. 80 ගණන්වලදී මේ තත්ත්වය වෙනස් වනුයේ ඈෂ්ලි රත්නවිභූෂණ විසින් ආසියානු සිනමා කේන්ද්‍රය පිහිටුවීමත් සමඟය. චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උත්සව සඳහා යැවීමට ඔහු විසින් ගන්නා ලද වෙහෙස වෙසෙසින් පැසසිය යුතුය. මේ වන විට ලෝකයේ අලුත් සිනමා උත්සව රාශියක් බිහිවිණි. ලාංකික සිනමාව ජාත්‍යන්තර සිනමා කරළියට ගෙන යාමේ මෙහෙයුමේ නවයුගය ආරම්භ කරන ලද්දේ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසිනි. ඔහුගේ දෙවැනි සිනමා කෘතිය වූ අනන්ත රාත්‍රිය චිත්‍රපටය පූසාන් සිනමා උළෙලේ විශේෂ ජූරි සඳහනට පාත්‍රවීම ඒ අවදියේ සිනමාලෝලී තරුණයන්ට අලුත් උත්තේජනයක් විය. අද තරම් පහසුකම් නොවුණ එකල ජාත්‍යන්තර සිනමා උත්සව තරණය කරන්නටත් එහි වැදගත්කම අපේ සිනමා පරම්පරාවට කියා දෙන්නටත් ප්‍රසන්න විතානගේ පෞද්ගලිකව ඉතා කැපවීමෙන් කටයුතු කළේය. එයට පෙර කාලය ඇතුළත චිත්‍රපටයක් ඉඳහිට ජාත්‍යන්තර අවධානයක් දිනා ගත්ත ද, එම උත්සව සඳහා සහභාගි වූ බොහෝ සිනමාකරුවන් උත්සවයට සහභාගි වන ගමන් රට තොට බලාගෙන ආහ. සිනමා උත්සවයකදී ලෝකයේ අවධානයට යොමුවීමේ අගය ඔවුහු වටහා නොගත්හ. ප්‍රසන්න විසින් හෙළි පෙහෙළි කළ මාවතේ අගය වහා හඳුනා ගත්තේ ඊළඟ සිනමා පරම්පරාවය. ඒ වන විට අනුක්‍රමයෙන් මෙරට සිනමා වෙළඳපොල පටු වන බව ද ඔවුහු වටහා ගත්හ. එයටත් වඩා ඉක්මනින් ලෝකය සමීප වන බව ද මේ පරම්පරාව දැන උන්නේය. ප්‍රසන්නගෙන් පසු අශෝක හඳගම ඇතුළු බොහෝ දෙනා එතෙර සිනමා උත්සවයන්ගේ අවධානයට ද සම්මානයට ද පාත්‍ර විය. මේ අතරින් බිහි වන තුන්වන පරම්පරාව සේ ගැනෙන විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්ප කුමාර වැන්නවුන්ගේ සිනමාව තවමත් හඳුනා ගත්තේ මෙරට සිනමාලෝලීන් හෝ විචාරකයන් නොවේ. ජාත්‍යන්තර සිනමාවේ විචාරකයෝය. ලෝකය වඩා පුළුල් වෙද්දී අලුත් පරම්පරාවේ සිනමාව, පැරැණි පරම්පරාව අතික්‍රමණය කරමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම ඉතා වැදගත්ය. එහෙත් මෙරට සිනමාවේ අලුත් පරම්පරාවේ චිත්‍රපට ලංකික වෙළෙඳපොලේ විශාල ප්‍රවණතාවයක් ඇති කරන්නට අසමත් වූයේ ඇයි? යන්න විමසා බැලිය යුතුය. එයට හේතු වුයේ වාරණය නමැති සීමාවද? පසුගිය දශකය ඇතුළත ජාත්‍යන්තර සිනමාවෙහි අපේ තරුණයන් ඉදිරියට යාම ඉතා වැදගත්ය. එබඳු සිනමා පරම්පරාවක් බිහි වීම ඉතා වැදගත්ය. එහෙත් එයට සමගාමීව මෙරට ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවට අලුතින් සිතන පරම්පරාවක් නොපිවිසීම ඉතා කණගාටුදායක කරුණකි. එක් යුගයක දේශීය සිනමාව ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබද්දී එය මේ රටේ උත්සවශ්‍රීයෙන් සමරන කාරණයක් විය. එහෙත් වර්තමානයේ මෙම ජයගහණයන් සිනමාකරුවන්ගේ පෞද්ගලික ජයග්‍රහණ බවට පරිවර්තනය වී ඇති ආකාරයක් දකින්නට ලැබෙන්නේ ප්‍රධාන ප්‍රවාහයේ සිනමාවේ ඇති වූ පසුබැස්ම සමඟය. වර්තමාන ඉන්දියානු සිනමාව ලොව පුරා ගෙන යන තරුණ සිනමාකරුවන් සියල්ලම පාහේ සිනමාව විධිමත් ලෙස හදාරා ඇත්තෝය. ඒ බහුතරය ද සිනමාව හදාරා ඇත්තේ ඉන්දියාවේදී නොවේ. යුරෝපයේදීය. යුරෝපයේදී හැදෑරූ සිනමා ඥාණය ඉන්දියානු කෝවේ දමා හැඩ ගස්වන්නට තරම් අක් මුල් සහිත පරම්පරාවක් එහි අනාගතය බාර ගෙන සිටිති. එබැවින්ම ඉන්දියානු අයෝජකයන් පමණක් නොව අමෙරිකාවේ ප්‍රධාන පෙළේ චිත්‍රපට සමාගම් ද ඒ සඳහා පෙළ ගැසී සිටිති. අවාසනාවට මෙරට සිදු වූයේ එහි අනිත් පැත්තය. විශිෂ්ට තරුණ සිනමාකරුවන් දෙස ජාත්‍යන්තර අවධානය යොමු වුව ද, ප්‍රධාන ප්‍රවාහය ග්‍රහණය සඳහා නිර්මාණශීලී සිනමාකරුවන් බිහි නොවීම ලාංකික සිනමාවේ අඩුපාඩුවකි. සිනමාකරුවන් කිහිප දෙනෙකු හැර (විමුක්ති, සංජීව, විශ්වනාත් බුද්ධික කීර්තිසේන, ප්‍රියංකාර විතානාච්චි) අන් සියල්ලෝම විදෙස් සිනමා පාසැල්වලින් සිනමාව හැදෑරුවෝ නොවෙති. අපේ තරුණ පරපුරේ සෙසු විශිෂ්ට සිනමාකරුවන් ස්ව උත්සාහයෙන් සිනමාව උගත්තෝ වෙති. එම කැපවීම ප්‍රධාන ප්‍රවාහයෙහිලා නිර්මාණය කරන සිනමාවේදීන් සතු නොවීම කණගාටුවට කරුණකි. එහි ප්‍රතිඵලය නම් නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයන්ට දැක ගත හැකි වනුයේ ඇට්ට කුණා වර්ගයේ චිත්‍රපටයන්ය. මේ සිනමාකරුවන් නොදන්නා ප්‍රධාන දෙය නම් සිනමාකරණයයි. ඉඳහිට සිනමා කෘතියක් ඉහළ ආදායම් වාර්තා තැබූ පමණින් ලාංකික සිනමාවේ අනාගතය හොඳ යැයි පේන බැලීමට වඩා දිනපතා පත්තරයක ජ්‍යෙතිෂවේදියකුගෙන් සාත්තරයක් ඇසීම නිවැරැදිය. පසුගිය වකවානුව ඇතුළත ලාංකික සිනමාවේ ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට දහය අතරින් කීයක නළු නිළියන් පිළිබඳ මතකයක් ප්‍රේක්ෂකයන් සතු වීද? එම චිත්‍රපට නරඹන ලද්දේ එහි ඇති විශේෂ කරුණක් හේතුවෙන් විනා සිනමාලෝලීන් හැටියට ද යන කාරණා සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් විමසා බලා විමර්ශනය කරන්නෙකුට මෙහි නිරවද්‍යතාවය වටහා ගත හැක්කේය. ගත වූ කාලය ඇතුළත මෙරට දේශීය සිනමා තිර කාලය දිනෙන් දින අඩු වූයේය. 1972 දී රජයේ චිත්‍රපට සංස්ථාව බිහි කිරීමේදී එහි වඩාත්ම අවශ්‍යතාව වූයේ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලාවල වෙන් කරන කාලය නැතහොත් දේශිය තිර කාලය වර්ධනය කිරීමය. අද හෙමින්ම එම තිර කාලය විදෙස් චිත්‍රපට සඳහා නතු වෙමින් පැවතීම කියාපානුයේ ලාංකික සිනමාව සඳහා ප්‍රේක්ෂකයන් පැමිණීමේ අඩුව, සිනමාහල්වලට දැනෙන බවය. මෙයට වසර ගණනාවකට පෙර මෙබඳු තත්ත්වයක් ඇති වෙතැයි ලියන කළ කර්මාන්තයෙන් අපට නැඟුන තර්ජන ගර්ජන හා උපහාස නොව එම යථාර්ථයට අද මුහුණ පෑමට සිදුව ඇත්තේය. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බැව් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශන කාල වේලාවන් නිරීක්ෂණය කරන්නෙකුට පහසුවෙන් පෙනෙන්නකි. කලක බොහෝ දෙනා පවසන්නේ හොඳ සිනමාහල් නැති බවය. සිනමාහල් නව තාක්ෂණයට හැඩ නොගැසූනු බවය. එහෙත් ඒ සියල්ල පසෙක තිබියදී එම ආයෝජනයට සරිලන චිත්‍රපට නිපද වන්නේ නැත්නම් ඒ සඳහා විකල්ප ලෙස විදෙස් චිත්‍රපට පිවිසීම සාමාන්‍ය වෙළඳපොල න්‍යායකි. එය වඩාත්ම අවදානම් වනුයේ අලුතින් සිතමින් ලෝකය තරණය කරන නව පරපුරේ සිනමාකරුවන්ටය. හේතුව සිනමා තිර කාලය අඩුවීමත් සමඟ සාමාන්‍ය සිනමා පේ‍්‍රක්ෂකයන් ද ශාලාවෙන් බැහැරව යන හෙයිනි. අලුත් සිනමා ප්‍රේක්ෂකයන් අන්තර් ජාලය හරහා හුදකලාව සිනමාව රස විඳින ස්වයං වින්දනාත්මක නඩයක් වීම වැළැක්විය නොහැක්කේය. ඒ කොයි හැටි වෙතත් ලබන දහසය වැනිදා වන විට රන්දිවියා සම්මානය ලක්බිමට ගෙන එන්නට ලැබේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි. |