වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




තහනම ඉවතට

තහනම ඉවතට

මුම්බායි ක්‍රිකට් සංගමය විසින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට විරුද්ධව පනවා තිබූ තහනමක් ඉවත් කෙරුණා. 2012 වසරේ සිට වෙන්කඩ් ක්‍රීඩාංගනය ෂාරුක්ට තහනම් කලාපයක් බවට පත් වෙලා තිබුණේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ෂාරුක් කලහකාරි ලෙසින් හැසිරීම නිසා වසර පහක් දක්වා කාලයකට මෙම තහනම පනවන්න අදාළ බලධාරීන් තීරණය කළා.

කෙසේ නමුත් පසුගිය සතියේදී මුම්බායි ක්‍රිකට් සංගමය විසින් මෙම තහනම ඉවත් කරනවිට ගත වෙලා තියෙන්නේ වසර තුනක් පමණයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර් හා මුම්බායි ඉන්ඩියන්ස් තරගය අතරතුරදී ෂාරුක් ආරක්ෂක සේවකයෙකු අතර ඇති වූ බහින්බස් වීමක් මෙයට හේතු වුණා.

ෂාරුක් නම් කිව්වේ තරගය නරඹන්න පැමිණි ළමුන් කණ්ඩායමකට තරගය නරඹන්න නොහැකි ලෙසින් ආරක්ෂක නිළධාරින් කළ බලපෑම නිසා තමන් එයට විරුද්ධවීමේදි මෙවැනි තත්ත්වයක් ඇති වුණු බවයි. කොහොම වුණත් එදා ෂාරුක් අත්අඩංගුවට ගත්තේ නම් නැහැ. ඒ වුණත් කාලයකට වෙන්කඩ් ක්‍රීඩාංගනයට යන්න නම් ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ. අදාළ බලධාරින් පවා තරු කියලා බලන්නේ නැතුව එදා නීතිය අකුරටම ක්‍රියාත්මක කළා.

දැන් ආයෙමත් ෂාරුක්ට වෙන්කඩ් ක්‍රීඩාංගනයේ තරග නරඹන්න පුළුවන්. ඒ ගැන ඔහුගේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩාමට වගේම ආදරණීය රසික ඔබටත් සතුටු ඇති.