|
කලංගේ ජීවිත කතාව ලියන උපාලි
උපාලි කුමාරවංශ ගත් කතුවරයෙකි. නාට්‍යකරුවෙකි. මේ දිනවල උපාලි තම නවතම ග්රන්ථ යුගළ සිරගත කවියක් සහ පොඩි හාමුදුරුවෝ එළිදැක්වීමට සූදානමින් සිටිියි. මේ ඔහු සමඟ කළ කෙටි කතාබහකි. උපාලි සිරගත කවියක් සහ පොඩි හාමුදුරුවෝ ගැන පවසමින් මේ කතාව අරඹමු? සිරගත කවියක් කියන්නේ පාසල් ප්‍රේමයක් ගැබ් වූ නවකතාවක්. මෙමගින් අපිට හිතන්න යමක් ඉතිරි කරනවා. ඒ වගේම ආදර්ශයක් දෙමිනුයි මං එය අවසන් කරන්නේ. ළමා නවකතාවක් විදිහට පොඩිහාමුදුරුවෝ හඳුන්වා දෙන්න පුළුවන්. එමඟින් විවරණය වන්නේ ගමක නරක පුරුදුවලට ඇබ්බැහි වූ පියවරු දෙදෙනෙකු ළමුන් පිරිසක් සහ හාමුදුරු නමක් සුමඟට ගන්නා කතාවක්. ඔබ කිසියම් ඉලක්කගත පිරිසක් හඳුනාගෙන ඔවුනට පොත් ලියන ආකාරයක් පෙනෙන්නට තියෙනවා? ළමා නවකතා නම් කෙළින්ම ඉලක්ක ගත වන්නේ ළමා පරපුරනෙ. නමුත් මගේ අනෙකුත් නවකතා නම් එහෙම ඉලක්ක ගත පාඨකයන් අලළා ලියවුණේ නැහැ. මගේ පිනිපාවඩ පොත එහෙම තරාතිරමක් නොබලා සෑහෙන්න පිරිසක් කියෙව්වා. කොහොමද ඔබ ග්රන්ථකරණයට පිවිසෙන්නේ? ඒ පිටුපස රසවත් කතාවක් තියෙනවා. මං මුලින්ම ක්ෂේත්රයට එන්නේ වේදිකා නාට්‍ය කරන්න. පරෙයි කිරිල්ලි තමයි මගේ පළමු වේදිකා නාට්‍ය වුණේ. කුරුටුරූප දෙවැන්න. අදින් වසර පහළොවකට පෙරයි මං පරෙයි කිරිල්ලි කළේ. මගේ ඒ නාට්‍යයේ පිටපත මං ලබා දුන්නා උගත් වියතකු වන නැසීගිය ධර්මසිරි ගමගේ මහත්තයාට. ඔහුව එතකොට මට නිතර හමු වී තිබුණා. ධර්මසිරි මහත්තයා ඒක කියවලා බලලා මට එක දෙයක් කිව්වා. ඒ මොකක්ද? කුමාරවංශ ඔයා දිගටම ලියන්න. ලියන එක තමයි ඔයාට හරියන්නේ කියලා. ඔහුගේ වචනෙ අනුව මං ක්‍රියා කළා. වැරැදුණේ නැහැ නේද? ඔහු කියූ දේ හරියටම හරි. මං අද වන විටත් නොසැලී ග්‍රන්ථකරණයේ නියැළී සිටිනවා. මොකක්ද ඔබේ පළමු නවකතාව වුණේ? වසන්තයේ සටහනක්. ඊට පසුව රචනා කළ පොත් පෙළ මතක් කළොත්? සඳ දෙව්දුවක්, පිනිපාවඩ, සුමිත්රලාගෙ ගෙදර, මුහුද, දූවිලි වැස්සක්, පුංචි අපට පුංචි සිංදු, ආදරියේ සහ අද. කොහොමද ඔබ ඔබේ නවකතා සඳහා වස්තු බීජ සපයා ගන්නේ? මං ඔය පැනයට උදාහරණයක් එක්ක දෙන්නම්. මගේ සඳදෙව් දුවක් කතාව ලියවෙන්නේ ගණිකාවක් අලළා. ඒ තැනැත්තිය සැබෑ ලෙසටම අප ගමේ ජීවත් වූ කෙනෙක්. මං ඇගේ සත්‍ය කතාවට යම් යම් එකතු කිරීම් කරලා සඳ දෙව්දුවක් ලිව්වා. ඔය වගේ සත්‍ය සිදුවීම් පාදක කර ගනිමිනුයි මං කතා රචනා කරන්නේ. මේ වන විට නවකතා ඇසුරෙන් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේ දැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඔබේ නවකතාවක් කවුරුන් හෝ ඉල්ලුවේ නැතිද මෙගා නාට්‍යයක් සඳහා? පිනිපාවඩ පොත ඉල්ලුවා මෙගා නාට්‍යයකට. නමුත් මං ඊට එකග වුණේ නැහැ. එයට හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඔවුන් මගේ කතාව වෙනස් කරන්න හැදුවා. අනික මගේ කතාවෙහි චරිතවලට අමතරව තවත් චරිත එකතු කරන්න හැදුවා. එහෙම වුණාම මගේ නව කතාව නෙවෙයිනේ රූපයට නැඟෙන්නේ. ඒ වුණාට යම් යම් සංශෝධන කරලා ඔබේ නවකතා ටෙලිවලට දුන්නා නම් ආර්ථික පැත්තෙනුත් ඔබට වාසි වෙනවා නොවේද? මං මුදලට විකිණෙන කලාකරුවෙක් නෙවෙයි. සල්ලිවලට වඩා මගේ ලියපු කතාවයි මට වටින්නේ. ඒ හින්දා කොච්චර මුදල් දෙන්නම් කිව්වත් මගේ නවකතාවලට හානි වෙනවා නම් ඒවා දෙන්නේ නැහැ. කොයි වගේ වෙලාවටද ඔබ ග්‍රන්ථකරණයේ යෙදෙන්නේ? රාත්‍රියට. ඒ කාලය බොහොම නිදහස්. මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ? මගේ බිරිය තුෂාරා සහ ශෂිනි දුවව මතක් කරන්න ඕනෑ. මගේ ඊළඟ වෑයම අමරසිරි කලංසූරියගේ ජීවිත කතාව ලිවීම. ළඟදීම එය සමාජගත කරනවා.
|