වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් විදුලිය විනාශ කරන්න කිසිවකුටත් බෑ...

ගුවන් විදුලිය විනාශ කරන්න කිසිවකුටත් බෑ...

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති - නීතිඥ

නන්ද මුරුත්තෙට්ටුවේගම

ගුවන් විදුලියේ මහ පුටුව රත් කරන්නට කලින් කල ‘සීතල ගණන්කාරයන්’ එහි කඩා පාත්වූ අයුරු කිසිවකුටත් අමතකව නැත. ඒ අතරින් ඇතැමෙක් ක්‍රියාකළේ ගුවන් විදුලිය සිය පෞද්ගලික බූදලයක් ලෙස සලකමිනි. එයින් සිදුවූයේ ජාතියේ ජීවනාලිය බඳු ගුවන් විදුලිය මුළුමනින්ම දේශපාලනීකරණයට ලක්වී නන්නත්තාරගත වීමය.

එහෙත් වර්තමානයේ ගුවන් විදුලියේ එකී ක්‍රියා පිළිවෙත දක්නට ලැබෙන්නේ නැත. අපක්ෂපාතී, මධ්‍යස්ථ මාධ්‍ය ප්‍රතිපදාවක් එහි ක්‍රියාත්මක වන බව ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.

නන්ද මුරුත්තෙටුවේගම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සභාපතිවරයායි. හෙතෙම වෘත්තියෙන් නීතිඥයෙකි. තවත් අතෙකින් ගත්කතුවරයෙක්, ලේඛකයෙක් හා ගීත රචකයෙක්ද වේ. ගුවන් විදුලිය වැනි සොඳුරු සරසවි අසපුවක සිය රාජකාරි කටයුතුවලට ඔහු සම්බන්ධවන්නේ හුදු පරිපාලකයකුට වඩා එහා ගිය සංවේදී හදවතක් ඇති රසවතකු ද ලෙසය. ඒ ඔහු නීතිය මෙන්ම කලාවද අතපත ගෑ අයකු නිසාවෙනි.

ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණ ජාතික ගුවන් විදුලිය ඔබට භාර ගන්නට සිදුවුණේ දේශපාලනීකරණයට ලක්වූ ආයතනයක් හැටියට...?

දේශපාලනීකරණයට ලක්වූ ආයතන ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය තුළ දකින්නට තිබෙනවා. එය සාමාන්‍යය මට්ටමින් දක්නට ලැබෙන දේශපාලනීකරණයක් නොවේ. පාලක පන්තියේ හිටපු පුද්ගලයන් කිප දෙනෙක්ගේ අතේ පාලනය වෙච්ච, ඒ පුද්ගලයන් කීප දෙනාගේ ඕනෑ එපාකම් ඉටුකරපු, ඔවුන්ගේ හොරනෑවක් බවට පත් වෙච්ච සහ ආර්ථික වශයෙන් කුණු වෙච්ච ආයතනයක් තමයි ඇත්තෙන්ම මට භාර ගන්න සිදුවුණේ.

අභියෝගයට මෙන්ම කිසියම් අන්දමක පිරිහීමකට ලක්වූ ආයතනයක්...?

නමට මාධ්‍ය ආයතනයක් කියලා කිව්වාට මාධ්‍ය සදාචාරය ඉක්මවා ගිය, පොදු ජන අපේක්ෂා ඉටු නොකළ මාධ්‍ය ආයතනයක් තමයි භාර ගන්න සිද්ධ වුණේ.

කලින් කලට පාලකයෝ එනවා, යනවා. මහ පුටු වෙනස් වෙනවා. එතකොට රජයේ හොරනෑවක් විදිහට හංවඩු ගැසුණු ආයතනයක් ඔබේ පරිපාලනය යටතේ කොහොමද වෙනසකට බඳුන් වෙන්නේ...?

1924 අවුරුද්දේ පටන් ගත්තු මේ ආයතනය ඉතාමත් ශක්තිමත් ව්‍යූහයක් සහිත ආයතනයක්. මේක තමයි ආසියාවේ පළමුවැනි ගුවන් විදුලිය. ඒ වගේම මේක තමයි ලෝකයේ පිහිටුවපු හය වැනි ගුවන් විදුලිය. කවුරු ආවත් බාහිරෙන් මේ ආයතනයේ වෙනස්කම් කරනවා මිසක් කොච්චර උත්සහ කළත් සම්පූර්ණයෙන්ම ආයතනය විනාශ කරන්න බෑ. මේ ආයතනය පදනමක් සහිත ඉතා ශක්තිවන්ත ඒ වගේම ඉතාමත් ක්‍රමවත් ව්‍යූහයක් සහිත ආයතනයක්. ඒ නිසා කවුරු කොහොම ආයතනයේ අරමුණු අතෑරලා කටයුතු කළත්, ආයතනය කොතරම් වැරදි පැත්තට මෙහෙයවූවත්, ආයතනයේ තිබෙන ව්‍යූහය වෙනස් කරන්න බෑ.

ක්‍රමවත් ව්‍යූහයක් සහිත ආයතනයක් යන්නෙන් ඔබ අදහස් කළේ...?

මේක මුල ඉඳලාම ක්‍රමාණුකූල සැලැස්මක් සහිතව නිර්මාණය කරපු ආයතනයක්. ඒකෙන් මම අදහස් කරන්නේ හොඳ සංවිධාන ක්‍රමවේදයක් මත පදනම් වෙච්ච ආයතනයක් කියන එක. මූලික අරමුණු තාවකාලිකව එහාට, මෙහාට ගෙනිච්චාට ලංකාවේ බිහිවෙච්ච සෑම කලාකාරයෙක්ම මේ ආයතනයට බෙහෙවින්ම ආදරෙයි. ගායක - ගායිකාවන්, ගී පද රචකයන්, සංගීතඥයන්, වාද්‍ය ශිල්පීන්, නාට්‍යවේදීන් වගේම විද්වතුන්ගේ දායකත්වය නොඅඩුව ලැබුණ සහ ඔවුනගේ පහස නිරන්තරයෙන්ම ලැබුණු තැනක් මේක. බෙහෝ ශිල්පීන් තමන්ගේ කලාජීවිතයේ මහගෙදර හැටියට හැඳින්වුයේ මේ ගුවන් විදුලිය. ඒ වගේම පරණ හිටපු සැලසුම්කරුවෝ, ඉංජිනේරුවෝ, නිවේදකයෝ, නිෂ්පාදකවරු, සභාපතිවරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු මේ හැමෝගෙම අතින් ගඩොලින්, ගඩොල නිර්මාණය වෙලා බොහොම ක්‍රම සංවිධානාත්මකව ගොඩනැගුණ ආයතනයක්.

ඒ අතීත ශ්‍රී විභූතිය ඇත්තටම ගුවන් විදුලියට සදාතනික ආශිර්වාදයක්. නමුත් වර්තමානයේ ඔය දේවල් තුට්ටුවකට මායිම් නොකරන අයත් ඉන්නවා. කොතනත් එහෙමයි. ගුවන් විදුලියෙත් එහෙම නොවෙන්න බෑනේ...?

මම මුලින්ම කළේ ගුවන් විදුලියේ අරමුණුවලට නොගැළපෙන ජාතික නාළිකාවකට නොගැළපෙන වැඩසටයහන් ඉවත් කිරීම. මම එනකොටත් තිබුණ ඒ දේශපාලනීකරණයට ලක්වූ වැඩසටහන්, ඒ හඬවල් මම පුටුවේ වාඩි වුණ ගමන්ම නැවතිලා තියෙනවා. තවත් තිබුණ නොගැළපෙන පුංචි, පුංචි වැඩසටහන් ඉවත් කළාට පස්සේ මේ ආයතනයට සැබෑ පෙනුම ආවා. මට තිබුණේ ගෘහ භාණ්ඩවල තිබුණු දූවිලි පිහදාලා මල්වාස්වලට අලුතෙන් මල් දාලා වැඩ පටන් ගන්න විතරයි.

ගුවන් විදුලිය කැපිලි, කෙටිලි තියෙන තැනක් බව බොහොම ප්‍රසිද්ධ කාරණාවක් නේ...?

මම එනකොට සමහර දක්ෂයින් පැත්තකට කරලා තිබ්බේ. සමහරු වෙනත් තැන්වල වැඩකරනවා. නමට පමණක් ගුවන් විදුලියේ. මෙහෙන් වැටුප් ගන්නවා. ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ. ඒ වගේ දක්ෂ තරුණයෝ, තරුණියෝ ඉතා විශාල සංඛ්‍යාවක් හිටියා. සමහරු තමන්ගේ දායත්වය ගුවන් විදුලයට ලබාදෙන්න පසුබිමක් නොතිබූ නිසා නාමිකව ගුවන්විදුලියේ වැඩ කරමින් හිටියේ. මම පළමුවැනි වටයේදී උත්සහ කළේ ආයතනයේ ව්‍යූහය හඳුනාගන්න. දෙවනුව ආයතනයේ අභිවෘද්ධියට දායක වෙන්න පුළුවන් අය කවුද කියලා හඳුනාගන්න. ඊට පස්සේ මට හැකියාව ලැබුණා ඒ අදාළ අය තෝරාගෙන ඔවුන් සමඟ සාකච්ඡා වට පවත්වලා, රැස්වීම් පවත්වලා සංවාද පවත්වලා අලුත්, අලුත් වැඩ සටහන් නිර්මාණය කරන්න.

අතීතයේ ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ වැඩසටහන් කාලයක් නවතා දමා තිබුණා. නැවත එම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට ඔබ උනන්දු වෙන බව පෙනෙන්න තිබෙනවා...?

දැන් සංගීත අංශය ගත්තොත් එහෙම මම එනකොට දේශීය සංගීතය පෝෂණය කළ, මිනිස්සුන්ට රසඥතාවක් ගෙනත් දුන් වැඩසටහන් නවතා දමා තිබුණා. එතකොට කවිමඩු, විරුදු වගේ දේවල අයින් වෙලා තිබුණා.

බයිලා පවා...?

බයිලා සංගීතය අයින්වෙලා තිබුණා. නැවත එම වැඩසටහන් ආරම්භ කරන්නට අපට පුළුවන් වෙලා තියෙනවා. දැන් ගීතයක් ගත්තොත් ඒ ගීතය ඛණ්ඩයෙන්, ඛණ්ඩයට ශ්‍රවණය කරලා විචාරයට ලක් කරලා ඒ පිළිබඳ වෙනත් කලාකරුවන්ගේ විග්‍රහයන්, ඔවුන්ගේ අදහස්, රැචි අරුචිකම් කියාපාන වැඩසටහන් අතීතයේ තිබිලා තියෙනවා. ඒවා නැවත පටන් ගන්න අපට පුළුවන්කමක් තිබුණා. ඒ වගේම සමහර නාට්‍ය වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් ඉවත්වෙලා තිබුණා. සමහර වැඩසටහන් එලෙසම ප්‍රචාරය කරන්නත්, ඇතැම් වැඩසටහන් ප්‍රතිනිර්මාණය කරන්නත් අපි පියවර ගෙන තිබෙනවා.

සංගීත ශිල්පීන් වගේම බොහෝ කලාකරුවන් පසුගිය කාලයේ ගුවන් විදුලියෙන් ඈත්වෙලා හිටියේ...?

ඔව්. ඇත්ත. ඉස්සර ගුවන් විදුලිය පැත්තවත් නොබලා එහා පැත්තේ රූපවාහිනියට ගිහින් පිටපාරෙන්ම යන කලාකරුවෝ අපට දැකබලා ගන්න පුළුවන්කම තිබුණා. ඒත් අද ඒ තත්ත්වය පහව ගිහින්, කලාකරුවෝ ආයේ ගුවන් විදුලියට පය ගහන ප්‍රවණතාවක් අද ඇතිවෙලා තිබෙනවා. මම කර්තෘ භාගය ගෙවීම යළි ආරම්භ කළා. එය නැවතිලා තිබුණේ. අපේ ජනමාධ්‍යය ඇමති ගයන්ත කරුණාතිලක සහ අපේ අමාත්‍යංශයේ හිටපු ලේකම් කරු පරණවිතාන මහත්වරුන්ගේ ඉල්ලීම සහ උපදෙස් පිට මේ කර්තෘ භාග ගෙවීමේ කාර්යභාරය වෙනත් මාධ්‍ය ආයතනවලට කලින් අපි ආරම්භ කළා. එය සංකේතවත් කරමින් උත්සවයක් පවා පවත්වනු ලැබුවා. න එම වැඩපිළිවෙළ යාවත්කාලීන වෙනවාද...?

ප්‍රචාරය වන ගීත අනුව අපි අඛණ්ඩව ඒ ගෙවීම් සිදුකරනවා. ප්‍රචාරය වන සෑම ගීතයකටම පදරචකයාට, ඒ වගේම සංගීතඥයාට, ගායකයාට හෝ ගායිකාවට ඒ මුදල අපි ලබා දෙනවා.

ගීතයක් සඳහා කොපමණ මුදලක් එක් ශිල්පියෙක්ට ලබා දෙනවාද...?

ඒක... අපේ නීතියේ සම්මත මුදලක් තියෙනවා. ඒ මුදල කිසිදු අඩුවක් නොකර ගෙවනවා.

බොහෝ සංගීත ශිල්පීන්, කලාකරුවන් කියනවා මේ ලැබෙන මුදල ප්‍රමාණවත් මදි කියලා...?

ඒ කාරණාව එක පැත්තකින් ඇත්ත. අනෙක් පැත්තෙන් නාළිකා දාහතක් වගේ තියෙන ගුවන් විදුලියට ඒ ගීත නිරන්තරයෙන් ඒ හැම නාළිකාවකම ප්‍රචාරය වෙද්දී, මීට වඩා මුදලක් ගෙවනවා කියන එක මේ කලවකානුවේදී ප්‍රායෝගික නෑ. මම බාර ගන්නකොට ගුවන් විදුලිය බරපතළ විදිහට පාඩුපිට පාඩු ලබමින් තිබූ ආයතනයක්. මම මේක භාර ගන්න මොහොත වෙනකොට සංගීත වැඩසටහනක්, නාට්‍ය වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් ආදී මේ කිසිවක් සඳහා අවස්ථාව ලබා දුන්නේ නෑ. ඉඩ දුන්නේ තමන් කැමැති දේශපාලනඥයන්ගේ ප්‍රතිරූප පුම්බන්න පමණයි. ඒ වගේම තමන් අකැමැති දේශපාලකයාට සම්පූර්ණයෙන්ම මඩ ගහන්න පමණයි මේක පාවිච්චි කළේ.

ඒ සඳහා යොදා ගත්තෙත් හොඳම ගුවන් කාලය...?

ඔවුන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට හොඳම ගුවන් කාලය එක මොහොතේ යොදා ගත්තා. ගුවන් විදුලියට බහුතරයක් සවන් දෙන්නේ වාහනයේ යන ගමන්. ඉතිං මෝර්නින් ඩ්‍රයිව් එක සහ ඊවිනින් ඩ්‍රයිව් එක දෙකම පාවිච්චි කළේ ඒකට. මේ හොඳම ගුවන් කාලය ඉතාම අසාධාරණ විදිහට අපේ ශ්‍රාවකයන්ගෙන් උදුරා ගත්තා. මේ තත්ත්වය දැන් වෙනකොට සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඔබ දන්නවා ගුවන් විදුලියේ තිබෙන නාළිකා අතර කවදත් ලොකු වෙනසක් තිබුණා. ස්වදේශීය සේවය කිව්වාම වෙනමම ශ්‍රවක කණ්ඩායමක් හිටියා. වෙළෙඳ සේවය කිව්වම වෙනම ශ්‍රාවක කණ්ඩායමක් හිටියා. පසු කලෙක පටන් ගත්ත City F. M.  සේවයත් එහෙමයි. දැන් City F. M.  සේවයට වසර විසි හයක් සපිරී තිබෙනවා.

අතීතයේ නාළිකාවෙන්, නාළිකාවට තමන්ට ආවේණික වූ වැඩසටහන් සහ අනන්‍යතාවක් තිබුණාට මෑතකදී ඒ විශේෂත්වය ශ්‍රාවකයන්ට දැනුණේ නෑ...?

ඒක ඇත්ත. අපි මේක භාර ගන්නකොට නාළිකා අතර ඒ වෙනස දකින්නට තිබුණේ නෑ. නාළිකා සියල්ලම එක වගේ, නමුත් දැන් ඒ ඒ නාළිකාවල අනන්‍යතාවය පෙර පරිදිම ඇතිකරන්නට අපට පුළුවන් වෙලා තියෙනවා. City F. M.  තරුණ තරුණියන් අතර ජනප්‍රිය නාළිකාවක් බවට ඉතා වේගයෙන් පත්වෙමින් තිබෙනවා. ඒ නාළිකාවේ තිබෙන සංගීත වැඩසටහන් බැලුවොත් තරුණ පරපුර වැලැඳ ගත්තු සංගීතයක්. හැබැයි ඒ සියලු දේවල්City F. M.  සේවයේ සිද්ධ වෙන්නේ ගුවන් විදුලි සංස්ථාවට අනන්‍යවූ රාමුව තුළ. අපේ මූලික වගකීමක් තියෙනවා මේ සංස්කෘතිය ආරක්ෂා කරන්න. රටේ සභ්‍යත්වය විනාශවීම වළක්වන්න. මේ මූලික ප්‍රතිපත්ති මත හිඳගෙන තමයි මේ City F. M.   නාළිකාව අපි තරුණ පරපුර අතරට ගෙනිච්චේ.

යෞවනයට වෙන්වූ බොහෝ ජ්.ර්. නාළිකා අද කන්දොස්කිරියාවක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ගිරාපෝතක නිවේදන කලාව නිසා. පසුගිය කාලේ මේ පුරුද්ද City F. M.   එකටත් බෝවී තිබුණා නේද...?

ඒක තවදුරටත් කුරුල්ලන්ගේ, කිරිල්ලන්ගේ කිචිබිචියක් නෙවෙයි. අද එහි හරවත් දේවල් සිදුවෙනවා. නමුත් ඒ තරුණයන්ට තේරෙන භාෂාවෙන්. නිවේදකයාගේ, නිවේදිකාවගේ පෞද්ගලික කරුණු කාරනා සාකච්ඡා වෙනවා. අපි හොරෙන් අහගෙන ඉන්නවා වගෙ වැඩසටහන් අපි ශ්‍රාවකයා වෙත ගෙන එන්නේ නැහැ. ‘හරවත් තාරුණ්‍යය සමග City F. M.  ’ කියන තේමාව ඔස්සේයි. අද අපේ තරුණ ගුවන් විදුලිය ක්‍රියාත්මක වෙන්නේ. එතැන ඉතා පැහැදිලිව හොඳ බුද්ධිමය සංවාද තියෙනවා. ඒ වගේම තරුණ, තරුණියන් අපි මෙතැනට ගෙන්නනවා. ඔවුන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ට දුරකථනයෙන් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. 89.06 ඔස්සේ සහ 89.08 ඔස්සේ විකාශය වෙන City F. M.  නාළිකාව පැය විසි හතර පුරාම ක්‍රියාත්මකයි.

න සුභාවිත ගීතයේ ආරම්භය හා විකාශය සිදුවන්නේ ගුවන් විදුලිය හරහා. ජනගායනා, මධුවන්ති, රස මියුරු වැනි සංගීත වැඩසටහන්වලින් එදා මේ සුභාවිත ගීතය ජනතාව අතරට ගෙනයන්නට හොඳ ඉඩහසරක් විවර වුණා. ඒ හරහා ප්‍රබුද්ධ ගීත කලාවක් සහ රසික පිරිසක් බිහිවුණා.?

ඒක පරම සත්‍යයක්.

නමුත් පසුගිය කාලේ ජාතික ගුවන් විදුලියත් යම් පමණකට ජනප්‍රිය රැල්ලේ ගමන් කළා. ගුවන් විදුලියේ සිංහල සේවා නාළිකාවලින් නැවත සුභාවිත ගීතය ඔසවා තැබීමේ වැඩපිළිවෙළක් දියත් වෙනවාද?

‘සුභාවිත ගීතය’ නමින් වැඩසටහනක් පවා අපේ තියෙනවා. එය වැඩසටහනේ නම විතරක් නෙවෙයි. සුභාවිත ගීතය උදෙසාම වෙන්වූ සංගීතමය වැඩසටහනක්. ශ්‍රී ලංකා ගුවන් විදුලියට පමණයි මුල් කාලේ ඉඳලා මේ දක්වාම අපේ ගායක, ගායිකාවන්ගේ ගීත තියෙන්නේ. අපි ගාව ඉතා විශාල ගීත එකතුවක් තිබෙනවා. අපේ පුස්තකාලය ඉතාම සශ්‍රීක පුස්තකාලයක්.

නමුත් ඇතැම් ගායක, ගායිකාවන් චෝදනා නගනවා තමන්ගේ ගී තැටි මත ඉරි ඇඳලා, ඒවා පලුදු කරලා කියලා. මේවා සංරක්ෂණය කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළත් එය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නෑ කියන චෝදනාවත් ඔවුන් නඟනවා?

අපේ තැටි සංරක්ෂණාගාර කිහිපයක් තියෙනවා. අපිට තියෙනවා ඉංග්‍රීසි, සිංහල, හින්දි ගී තැටි විශාල සංඛ්‍යාවක්. මම හිතන්නේ ඉන්දියාවේ තිබෙන සංරක්ෂණාගාරයකවත් මෙච්චර තැටි ප්‍රමාණයක් නැතුව ඇති. ඊට අමතරව අපට තව භාෂා ගණනාවකින් ගී තැටි තිබෙනවා. තැටි සංරක්ෂණාගාරයක මාස දෙකහමාරක් තිස්සේ වායුසමීකරණ යන්ත්‍රය කැඩිලා. ඒ නිසා තැටි පුස්කමින්, දිරායමින් තිබුණා. නමුත් අපේ සංරක්ෂණාගාරයවල සේවක සේවිකාවන් ඉතා මහන්සියෙන් ඒවා පිසදමමින් ආරක්ෂාකරගෙන හිටියා. මම ඒ තැටි ආරක්ෂා කිරීමට නව ක්‍රමවේදයක් සකස් කළා. කෙසේ වෙතත් කවුරු හරි කියනවානම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ තැටි විනාශ වෙලා කියලා එහෙම වෙලා නෑ.

එදා ‘ළමා පිටිය’, ‘හඳ මාමා’ වැනි වැඩ සටහන් හරහා දැයේ දූදරුවන්ගේ රස මනස පෝෂණය වුණා. වර්තමානයේ කොහොමද ළමා පරපුරේ රසඥතාවය, දැනුම වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලිය මැදිහත්වී සිටින්නේ...?

ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ නිවේදිකා සුමනා ජයතිලක විසින් ‘හඳ මාමා’ වැඩසටහන අවුරුදු පනස් දෙකක් පුරා අඛණ්ඩව කරගෙන යනවා. ඒ වැඩසටහන් අතරමැදදී බාධා ඇතිවුණා. තාවකාලිකව අයින් වෙලා නැවත පැමිණ පනස් දෙවැනි අවුරුද්දටත් ඇය විසින් ඒ වැඩසටහන මෙහෙයවාගෙන යනවා. ඒ වගේම නවතා දමා තිබූ පැරැණි වැඩසටහන් කිහිපයක්ම අපි නැවත ආරම්භ කළා. අද ගුවන් විදුලි ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන් නිතර ගැවසෙන තැනක් බවට පත්වෙලා. ඉස්සර ඉඳලා හිටලා හරි ගුවන් විදුලියේ සංගීත ප්‍රසංගයක් පැවැත්වූවොත් ඊට සංගීත ශිල්පින් තෝරා ගන්නේ දේශපාලන කාරණා මුල්කරගෙන.

අද එහෙම නෑ...?

නෑ. අපි කලාකරුවෝ දිහා බලන්නේ කලාකාමී ඇසකින් මිසක් දේශපාලන ඇසකින් නෙවෙයි. ඒ නිසා මේ හැමෝටම අපි එකවාගේ සලකනවා.

ආර්ථික අතින් කුණු වෙච්ච ආයතනයක් ඔබ බාරගත්තේ කියා ඔබම සඳහන් කළා. අපි කවුරුත් දන්නා පරිදි ගුවන් විදුලිය පසුගිය කාලේ තිබුණේ පාඩු ලබපු ආයතන අතර. අද තත්ත්වය කොහොමද...?

ඉස්සර ගුවන් විදුලියේ දැන්වීමක් දාගන්න මිනිස්සු ආවේ පෝලිමේ. කාරණා දෙකක් නිසා ඒ තත්ත්වය ඉවත් වුණා. එකක් තමයි තරගකාරී විද්‍යුත් නාළිකාවන් බිහිවීම. දෙවැනි කාරණාව තමයි ගුවන් විදුලි සංස්ථාවේ තිබුණ ඒ සුන්දර වැඩසටහන් දේශපාලන වැඩසටහන් තුළින් වැසීයාම. නමුත් අද වෙනකොට ඒ වැඩසටහන් යළි පටන්ගෙන තිබෙනවා. හිතුවාට වඩා වේගයෙන් අපිට, අපි බලාපෙරොත්තු වූ ආදායම් ඉලක්කවලට ළඟාවෙන්න පුළුවන් වෙලා තියෙනවා. මම එතකොට ඉතා බරපතළ ලෙස කඩාවැටී තිබිච්ච ආදායම් මාර්ග මේ වෙනකොට නැවත අපි වෙත විවෘත වෙලා තියෙනවා. තව ඉතා නොබෝ දිනකින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියළුම සේවක, සේවිකාවන්ගේ උපරිම කැපවීම හේතුවෙන් අපට පුළුවන් වෙනවා මෙය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න.

ස්ථිර වශයෙන්ම ඔබට එහෙම විශ්වාසයක් තියෙනවා?

සියයට, සීයක් ස්ථිරයි. විශ්වාසයි.