වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




අඩුවෙන් රඟපෑවත් වැඩියෙන් ආස සිනමාවට

අඩුවෙන් රඟපෑවත් වැඩියෙන් ආස සිනමාවට

රංගන ශිල්පිනී දිල්හානි වීරසිංහ

මේ කාලේ නැති විලාසිතා හැට පැන්නම කරන්නද?

කලා ලොවේ අප දන්නා දිල්හානිලා සිටින්නේ එක් අයෙකි. ඒ දිල්හානි අශෝකමාලාය. එනමින්ම සිටින තවත් රංගන ශිල්පිනියක් අපට හමු විය. ඇය දිල්හානි වීරසිංහය. ටෙලි සිතුවම් ගණනාවකින් අප හමු වූ ඇය ඉදිරියේදී රිදී තිරය සරසන්නට ද සූදානමින් සිටින්නීය. අද FB දෙවැනි දිල්හානි වෙනුවෙන්ය.

පළමුවෙන්ම පවසමු ඔබ ක්ෂේත්‍රයට ආව අයුරු?

මම 2013 වසරේ රූපවාහිනි අවුරුදු කුමාරි තරගයට සහභාගි වෙලා එහි අන්තිම වටයට ආවා. ඊට පසු අවුරුද්දේ දෙරණ අවුරුදු කුමාරි තරගයට එකතු වුණා. එහිත් අවසන් කිහිප දෙනා අතර මම හිටියා. මේවාට සහභාගි වුණේ කලා ලොවෙහි අවස්ථාවක් හොයා ගන්නයි. මගේ බලාපොරොත්තුව සඵල වුණා. එතෙන්දි හඳුනා ගත්තු අජිත් කියලා යාළුවෙක් මට මුතුපලස නාට්‍යයට රඟපාන්න අවස්ථාවවක් හදලා දුන්නා.

ඔබ මුතුපලසේ කවුරු හැටියට ද රඟපෑවේ?

තිසුරිගේ යාළුවගේ චරිතය කළේ.

ඊට පසුව?

කළු අරලිය, සුජාතා සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත පේරමඩුව සහ ගුරු පාර වගේ නාට්‍යවලට රංගන දායකත්වය සැපයුවා.

ඔබ රඟපෑ සිනමාපට පිළිබඳ මතක් කළොත්?

ඩික්සන් ෆොන්සේකාගේ දැක්කොත් පත්මාවතී සහ කල්‍යාණ චන්ද්‍රසේකරගේ මැද පොඩ්ඩක් පැත්තක් නෑ.

මේ වන විට ඔබ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යාවක්?

ඔව්. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්ථන උපාධිය හදාරනවා. මේ ගෙවෙන්නේ මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ දෙවැනි වසරයි.

ඔබ රඟපාන්නේ විනෝදාංශයක් විදිහටද?

අපෝ නැහැ. මට දෙවියෝ රංගන හැකියාව දීලා තියෙනවා. ඉන් ප්‍රයෝජනයක් ගන්නත් ඕනෑ. ඉතින් රඟපාන්න ආවේ ඒකයි.

දිල්හානිගේ ගෙවල් කොහෙද?

අනුරාධපුර.

වර්තමාන පදිංචිය?

පිළියන්දල.

කලා ලොවේ ජීවිතය කට්ටක් කියලා හිතුණු අවස්ථා නැතිද?

වෙලාවකට කට්ටක් නම් තමයි. ඒත් නිර්මාණයකට දායකවීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ගැන කියන්න වචන නැහැ. කට්ට කෑව වේදනාව ඔක්කොම අමතක වෙනවා ඒකෙන්.

නර්ථනය හදාරන්නේ නර්ථන ගුරුවරියක් වෙන්නද?

තවම ඒ ගැන හිතුවේ නැහැ. නර්තනය පැත්තෙන් සුදුසු රැකියාවක් ලැබුණොත් යනවා. මොන දේ කළත් රංගනය නම් අත් හරින්නේ නැහැ.

නව පරපුරේ ඇතැම් නිළියන් දැනුමක් නැති බොළඳ අය කියා ඇතැමුන් පවසනවා?

වෙන්න ඇති. ගොඩක් දෙනෙක් කිසිම දැනුමක් ඇතුව නෙවෙයි ක්ෂේත්‍රයට එන්නේ. එහෙම ඇවිල්ලත් පණ්ඩිත කතා කියන එක තමයි උහුල ගන්න බැරි. අපට හරියට රංගනය හදාරන්න තැනක් නැහැනෙ. ඒකයි එහෙම වෙන්නේ.

දිල්හානි සාමාන්‍යයෙන් කොටට අඳනවා නේද?

තැනට ගැළපෙනවා නම් කොටට අඳිනවා.

ඔබ කොටට අඳින්නේ මොන අරමුණින්ද?

මම හිතනවා මම ලස්සන කෙනෙක් කියලා. මගේ ලස්සන ඉස්මතු වෙන්නයි මම ඇඳුම් අඳින්නේ.

ඔබේ ලස්සන තියෙන්නේ දෙපාවලද?

එහෙම නෙවෙයි මම කිව්වේ. මගේ මුහුණත් ලස්සනයි. මට නොගැළපෙන ඇඳුම් අඳින්නේ නැහැ. මම මෙතරම් කොටට ඇඳගෙන පාරේ යන්නේ නැහැනෙ. අනික මේ කාලෙ විලාසිතා නොකර හැට පැන්නම විලාසිතා කරන්නද.

දිල්හානි කරපු ලොකුම මෝඩ වැඩේ මොකක්ද?

මම එහෙම මෝඩ වැඩ කරන කෙනෙක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබ ඥාණවන්ත වැඩ විතරයි කරන්නේ?

නැහැ. මෝඩ වැඩ කරන්න ඇති. ඒත් මතක හිටින තරම් දරුණු මෝඩ වැඩ කරලා නැහැ. ඒකයි මම කිව්වේ.

ඔබට චරිතයකට කතා කරද්දී මොන වගේ කරුණු කාරණාද සැලකිල්ලට ගන්නේ?

මට ගැළපෙනවද කියන එක විතරයි.

එතකොට මුදල්?

මුදල් දෙවැනි තැනට දාලා තියෙන්නේ මම. හොඳ චරිතයක් කරන ආසාවට මූලිකත්වය දෙමිනුයි මේ ගමන යන්නේ.

ටෙලි නාට්‍යවලට සාපේක්ෂව ඔබට සිනමාපට ලැබුණේ නැත්තේ ඇයි?

එහෙම වුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම රඟපාපු චිත්‍රපට දෙකෙහිම මම පණ පෙව්වේ ඒවායෙහි ප්‍රධාන චරිතයන්. කොහොම වුණත් අඩුවෙන් රඟපාලා තිබුණත් මම බෙහෙවින් ආස සිනමාවට.

ඇයි ඒ?

සිනමාව සථිරයි කියලා මට හිතෙනවා.

එතකොට ටෙලි නාට්‍ය ස්ථිර නැහැ?

සිනමාව බිහි වුණේ ටෙලිවලට කලින්නේ. එවන් වූ පැරැණි මාධ්‍යයකට එක්කාසු වෙනවා කියන්නේ ඉතිහාසගත වෙනවා කියන එක. ඒකයි චිත්‍රපට ස්ථිරයි කියන එකෙන් මම අදහස් කළේ.

ඔබ අනුකරණය කරන නිළියන් කවුද ඉන්නේ?

නිළි රැජන මාලිනී ෆොන්සේකා, සම්මානනීය නිළි චාන්දනී සෙනෙවිරත්න.

කවදා හරි ඔවුන් සිටින තැනට ඔබට යන්න පුළුවන් වේවිද?

ඔවුන්ගේ ළඟට යනවා තියා හිතන්නවත් බැහැ අපට. ඒතරම්ම ඔවුන් විශිෂ්ටයි. ඒත් ඔවුන්ගෙන් යමක් ඉගෙන ගෙන හොඳ ගමනක් යනවා.

ඔබේ නමින් අතිශය ජනප්‍රිය තවත් රංගන ශිල්පිණියක් ඉන්නවා?

මම ඇයටත් ඉතාමත් කැමැතියි. නමුත් පෞද්ගලිකව ඇයව මට මුණගැසිලා නැහැ.

දිල්හානි පෙම්වතියක් වන වග අපි දන්නවා?

ඔව්, ඔව්. ඒක නම් ඇත්ත.

ඔහු ගැන විස්තර කියන්න පුවවන්ද?

පුළුවන්, පුළුවන්. ඒත් ඕනෑ නැහැ.

එහෙනම් දිල්හානිගේ පවුලේ තොරතුරු සඳහන් කරමු?

අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි.

කාටද තුති පුදන්න තියෙන්නේ?

ගෙදර අයට, කල්‍යාණ චන්ද්‍රසේකර, ඩික්සන් ෆොන්සේකා ඇතුළු මට උදව් කළ හැමෝටම.