|
අමතක නොවන තාලයේ සිතුවම් දැක්මක්සාර්ලිස් මාස්ටර්ගේ සිට පරම්පරා තුනක චිත්‍ර එකතැනකදී ගාමිණී ෆොන්සේකා - උදයකාන්ත වර්ණසූරිය ඇඳි සිතුවම් ද ඒ අතර
ලාංකේය කලා ක්ෂේත්‍රය ද සිතුවමින් හැඩ කරමින් පෙළහැර පෑ අති දක්ෂ සිත්තරුන් රැසක් බිහි කළේය. එම්. සාර්ලිස් ලාංකේය චිත්‍ර කලාවේ මහා යුග පුරුෂයෙක් විය. සාර්ලිස් නාමය බෞද්ධ ජනතාව අතර ප්‍රකට වූ නිර්මාණකරුවෙක් බවට පත් වූයේ එතුමාගේ සිත්තමිකරණයේ විශේෂිත වූ බෞද්ධ සිතුවම් හේතුවෙනි. ඔහු අතින් රූපයට නැඟි සීවලී මහ රහත් හිමිගේ රූපය සෑම බෞද්ධ නිවසකම පාහේ දකින්නට ඇත. ජී. එස්. ප්‍රනාන්දු මෙරට පුවත්පත් කලාවේ නමගිය චිත්‍ර ශිල්පියෙකි. ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව නීලා ලංකාදීප පුවත්පත වෙනුවෙන් සිතුවම් කරන ලද්දේ ඔහු විසිනි. ඔහු සාර්ලිස් ගුරුතුමාගේ දීප්තිමත්ම සිසුවා විය. එසේම මෙරට දිය සායම් චිත්‍ර ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ කලාකරුවෙකි. මහා චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස් මාස්ටර්ගේ එකම පුතු වූ සුසිල් ප්‍රේමරත්න ද චිත්‍ර කලාවට මෙන්ම සංගීත ක්ෂේත්‍රයට ද අගනා මෙහෙවරක් ඉටු කරන්නට කැප වූ අපූරු කලාකරුවෙකි. අද අපේ කතාව මේ සිතුවම් ශිල්පීන් ත්‍රිත්වයෙන්ම පෝෂණය වූ සොඳුරු සිත්තරෙක් සහ ඔහුගේ අපූරු නිර්මාණ කාර්යයක් පිළිබඳවයි. නිර්මාණ කාර්යයකට එහා ගිය ගුරු උපහාරයක් සමඟින් සමකාලීනයන්ගේ මතක ආවර්ජනයකට සැරැසෙන ඔහු ප්‍රවීණ චිත්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරණයන්ය. තිස්ස හේවාවිතාරණ අප හමු වන්නේ කලා ගුරු එම්. සාර්ලිස්, කලාසූරි ජී. එස්. ප්‍රනාන්දු සහ කලා භූෂණ සුසිල් ප්‍රේමරත්න යන ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සිසුන් වන දිවංගත ගාමිණී ෆොන්සේකා, තිස්ස හේවාවිතාරණ, නයනජිත් ප්‍රේමරත්න සහ උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් සමඟින්.
මේ සිතුවම් දැක්ම මගේ ජීවිතයේ විශේෂිත ප්‍රදර්ශනයක්. එහිදී මගේ චිත්‍ර සමඟින් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ සහ නයනජිත් ප්‍රේ්මරත්න, චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ සිතුවම් ද ඇතුළත් වෙනවා. ඒ සමගින් අපේ ගුරුවරුන්ගේ ද සිතුවම් ප්‍රදර්ශනයට සූදානම් කරලා තියෙනවා. ලබන 08 වැනිදා පස්වරු 5.30 ට ලයනල් වෙන්ඩ්හිදී ආරම්භ කෙරෙන මෙම ප්‍රදර්ශනයේ සමාරම්භය සනිටුහන් කරන්නට නියමිතව තිබෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය විසින්. අගෝස්තු 9 සහ 10 යන දින දෙක පුරා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘත වෙනවා.
මවිසින් රචිත Brush Strokes of Old Masters හෙවත් පැරැණි චිත්‍ර කලා විශිෂ්ටයෝ කෘතිය ද එළි දැක්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම සටහන් ඇතුළත් එහි අපේ රටේ විසූ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ද ඇතුළත් වෙනවා. ඔබ චිත්‍ර කලාවට සම්බන්ධව කටයුතු කළ අතීතය ගැනත් දැනගන්න කැමැතියි? අපේ ගෙවල් තිබුණේ ගල්කිස්සේ. මම අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්. පුංචි කාලයේ පටන්ම මම චිත්‍ර කලාවට හරිම ලැදියි. එහෙම කාලය ගත වන විට තමයි සාර්ලිස් මාස්ටර් අපේ ගෙදරට එහා ගෙදරට පදිංචියට ආවේ. තාත්තා මාව චිත්‍ර කලාව ඉගෙන ගන්න සාර්ලිස් මාස්ටර් ළඟට යැව්වා. එතුමා තමයි මගේ චිත්‍ර කලාව වෙනුවෙන් වූ හැකියාව ඔප මට්ටම් කළේ. ඉන් පසුව ජී. එස්. ප්‍රනාන්දු මහතාගෙන් තවත් දැනුම ලබා ගත්තා. ස්ක්‍රේපර් බෝඩ් චිත්‍ර ශිල්පීය ප්‍රගුණ කළේ එතුමාගෙන්. සුසිල් ප්‍රේමරත්න මහත්තමයාගෙන් දිය සායම් චිත්‍ර කලාව ප්‍රගුණ කළා. ජී. එස්. ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ දේශපාලන කාටුන් ශිල්පීන් අතරේත් දැවැන්තයෙක්. මමත් කාටුන් චිත්‍ර කලාව ප්‍රගුණ කළේ ඔහුගෙන්. මේ ගුරුවරු තිදෙනාම නොමසුරුව ඔවුන්ගේ දැනුම මට ලබා දීම ගැන මා කෘතවේදී වෙනවා.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් චිත්‍ර ශිල්පයේ දස්කම් දැක්වූවා? ගාමිණීව හැමෝම හඳුනන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙසින්. ඔහු චිත්‍ර ශිල්පයේ දස්කම් දැක්වූයේ කුඩා වියේදීමයි. මම සාර්ලිස් මාස්ටර්ගෙන් චිත්‍ර ශිල්පය හදාරන්න ගිය ප්‍රථම දවසේ කොට කලිසමක් ඇඳගත්තු මම වගේම පුංචි කොල්ලෙක් ඇවිත් හිටියා.
මෙහිදී තවත් විශේෂ සිත්තරුන් දෙදෙනෙකුගේ චිත්‍ර මේ ප්‍රදර්ශනයට ඇතුළත්? සුසිල් ප්‍රේමරත්නයන්ගේ පුතු නයනජිත් ප්‍රේමරත්න සහ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේත් චිත්‍ර මෙහි ඇතුළත් වෙනවා. නයනජිත් ප්‍රේමරත්නත් අපේ රටේ සිටින දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. සිනමාවට කැප වී සිටියත් උදයකාන්ත දක්ෂ සිත්තරෙක්.
|