වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සාරංග - රජිත එක්කොට රෝයිගේ 40 වැන්න වැඩ ඇරැඹේ

සාරංග - රජිත එක්කොට රෝයිගේ 40 වැන්න වැඩ ඇරැඹේ

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටය වන මතක දෑසක් සොයා හී ගීත පටිගත කිරීම පසුගියදා නුගේගොඩ ඉන්වේවි ශබ්දාගාරයේදී සිදු විය. ඒ සංගීත් වික්‍රමසිංහගේ සංගීත අධ්‍යක්ෂණය යටතේය. නිරෝෂා විරාජිනී, සුරේන්ද්‍ර පෙරේරා, අමිලා නදීශානි, ශනුක වික්‍රමසිංහ සහ එම්. ජී. ධනුෂ්ක ගීත ගායනයෙන් එක් විය. කැලුම් ශ්‍රීමාල්ගේ ගීත රචනයකි. මතක දෑසක් සොයා රෝයිගේ හතළිස් වැනි සිනමා අධ්‍යක්ෂණය වේ. මේ වන විට ගෙවෙන්නේ රෝයිගේ සිනමා දිවියෙහි පනස් එක් වැනි වසරයි. රෝයිගේ ප්‍රිය බිරිය සුමනා අමරසිංහ මතක දෑසක් සොයා හි සියලු සම්බන්ධිකරණ කටයුතුවලින් එක් වෙයි. සාරංග දිසාසේකර සහ රජිත හිරාන් මේ වන විට රංගනයට තෝරා ගෙන සිටිති.


අනාථ දූපත ඊයේ සිට

සිනමාවට අලුත් අධ්‍යක්ෂවරයෙක්

අනාථ දූපත නම් වූ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්‍යක්ෂවරයකු ඊයේ (5) සිනමාවට එක් විය. ඔහු සෝමරත්න මාලිම්බඩ වේ. අභිරහසක් සොයා දූපතකට පිවිසෙන විශ්වවිද්‍යාල ළමුන් කිහිප දෙනෙකු වටා ගෙතී ඇති කතා පුවතක් වන අනාථ දූපත කතාව, දෙබස්, තිර රචනය ද සෝමරත්න ගෙනි. මේ වන විට සියලු වැඩ කටයුතු නිම වී ඇති මෙය බොරැල්ලේ ලිඩෝ ඇතුළු රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල ඊයේ සිට තිරගත වීම ඇරැඹිණි.

පුබුදු ගමගේ, මල්ෂි නිමාෂා, චමීර ශානක, චාමර ප්‍රියදර්ශන, ඉසුරු සම්පත්, සඳනි විජේසිංහ, නිහාල් විතානගේ, රුවන් වසන්ත, නන්දන විජය කුමාර අනාථ දූපත රංගනයෙන් හැඩ කරති.

කැමරාව ප්‍රමුදිත ඉටිබණ්ඩාර මෙහෙයවා තිබේ. පුෂ්පකුමාර බණ්ඩාර ගමගේ අංග රචනයකි. රෝලන්ඩ් ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාය. බුද්ධික කහවල සංගීතයෙන් එක්ව තිබේ. ගීත ගායනා අමිලා නදීශානිගෙනි. ශාන් අල්විස් සංස්කරණ ශිල්පියාය.

මෙය දේශමාන්‍ය කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේගේ නිෂ්පාදනයකි.