වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍ර අදින්නත්, හඬ කවන්නත්, රඟපාන්නත් දක්ෂ - සිතුප සදයුරු

චිත්‍ර අදින්නත්, හඬ කවන්නත්, රඟපාන්නත් දක්ෂ - සිතුප සදයුරු

කොළඹ නාලන්දා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිතුප සදයුරු ඉගෙනීමට මෙන්ම කලා කටයුතුවලටත් උපන් හපන්කම් ඇති පුංචි පුතෙක්. ඉදිරි අනාගතයේ ගුවන් නියමුවකු වීමේ බලාපොරොත්තුවෙන් පසුවන සිතුප කලා කටයුතුවලට වගේම ක්‍රීඩා කටයුතුවලටත් දක්ෂ දරුවෙක්. පාසලේ කරාතේ කණ්ඩායමේ කහ පටි ශ්‍රේණීයේ පසුවන මේ පුංචි පුතා චිත්‍ර ඇඳීමටත් දක්වනුයේ සහජ කුසලතාවයක්.

පාසල් මට්ටමේ හා සමස්ත ලංකා මට්ටමේ චිත්‍ර තරග රැසකින් ජයග්‍රහණය කර ඇති සිතුප 'රූ සිත්තම්' චිත්‍ර ප්‍රදර්ශනයෙන් ලංකාවේ පළවෙනියා ලෙසින් ජයග්‍රහණය කරනු ලැබිණි. නාලන්දා විදුහල් මෑණියන්ට කීර්තිමත් ජයග්‍රහණ රැසක් තිළිණ කර ඇති සදයුරු හඬ කැවීම් ශිල්පියෙකු ලෙසින් ද ගුවන් විදුලි, රූපවාහිනී මාධ්‍යයේ කැපී පෙනෙන්නකු වී හමාරය. ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලියේ කණාමැදිරි රාත්‍රිය, බොලිවුඩ් ෂෝ, පුංචි පැටවු, හිරු ටී. වී හි ක්‍රිෂ්ණා, අපේ විද්‍යා කාමරේ ගුවන් විදුලි රූපවාහිනී නාට්‍ය හා රූපවාහිනි වැඩසටහන් සඳහා හඬ කැවීම් රංග ශිල්පියෙකු ලෙසින් දායක වී සිටී.

මැලිබන් හයිකැල් ගෝල්ඩ් කොළඹ නුවර අධිවේග මාර්ග ටී. වී දැන්වීම් කිහිපයකටම මේ වන විට රංගනයෙන් ද දායක වී ඇති සිතුප මේ දිනවල පුංචි තිරයෙන් ද නිතර දැක ගත හැකිය. මේ දිනවල කණාමැදිරි රාත්‍රිය, අපේ විද්‍යා කාමරේ ආදී වැඩසටහන්වලින් ප්‍රේක්ෂකයන් අතරට එක්වන සිතූප එයාගේ පුංචි දක්ෂතා ගැන අපට කිව්වේ මෙන්න මෙහෙම.

මම විනෝදාංශයක් වශයෙන් තමයි රඟපෑම කරන්නේ. මොන දේ කලත් මගේ මුල් තැන ඉගෙනීමට. ඉගෙන ගත්තේ නැත්නම් මට පයිලට් කෙනෙක් වෙන්න බැහැ. මට හොඳට ගණන් හදන්නත් පුළුවන්. දැනට අවුරුදු තුනක් විතර වෙනවා මම රංගනයට එක් වෙලා. 'පුංචි පැටව්' වලට තමයි මම හාපුරා කියලා හඬ කැව්වේ. එදා මාත් එක්ක මගේම අයියලා දෙන්නා රසුමිණි පන්සිලු, මනුජ සස්මිත මේ දෙන්නත් ඒ වැඩ සටහනට එකතු වුණා. රසුමිණි අයියා චිත්‍රවලට මටත් වඩා දක්ෂයි. මනුජ අයියා සංගීතයට දක්ෂයි.

මම ගෙදර ඉන්න කොට වුණත් ගුවන් විදුලියේ, රූපවාහිනියේ අයියලා අක්කලා නැන්දලා මාමලා එනවුස් කරන හැටි අහලා ඒ විධියට එනවුස් කරනවා. අම්මා තාත්තා වගේම රෙකෝඩින් කරන තැන්වල ඉන්න මාමලා නැන්දලාත් මට කියන්නේ මෙයාගේ ඇඟේම රඟපෑම තියෙනවා කියලා. මට පිටපතේ තියෙන වචන ටික එක ටේක් එකෙන්ම හරියට කරන්න පුළුවන් නිසා රෙකෝඩින් මාමලත් මට හරි ආදරෙයි. ගුවන් විදුලි සංස්ථාවේ, දෙරණ ආයතනයේ හඬ පරීක්ෂණවලටත් මම මේ වන විට සහභාගි වෙලා තියෙනවා. ඒ ආයතනවලිනුත් මට ආරාධනා ලැබෙයි කියලා මට හිතෙනවා.

රංග ජයකොඩි මාමා තමයි මට ටී. වී. කොමර්ෂල්වලට ආරාධනා කළේ. ශ්‍රී එෆ් එම් එකේ චාපා, තනුෂා ලුම්බිණි, ආරාධනා ඒකනායක, චන්දන වරාවිට, සුරංග මෙන්ඩිස් නැන්දලා මාමලා මට ගොඩක් උදවු කළා. අද මම මේ ඉන්න තත්ත්වයට එන්න මගේ තාත්තා ලංකා ප්‍රසාද් අයි. ටී. ඉංජිනේරුවෙක්. අම්මා සංජීවනී ප්‍රියංගිකා. මේ දෙන්නත් කලාවට පුදුම විදියට ආදරෙයි. නිතරම මාව දිරිමත් කරනවා. අද අම්මා තමයි මගේ සෙවණැල්ල වගේ පිටුපසින් ඉඳන් මාව දිරිමත් කරන්නේ. මේ ගමන ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ජයග්‍රහණයක් ලැබීමත් මගේ එක බලාපොරොත්තුවක්. සිතුප ඔබේ අනාගතයට සරසවිය අපෙන් සුබපැතුම්.

14/3, අබේසිංහාරාම පාර, කොළඹ 10 සිතුපගේ ලිපිනයයි.