|
මේ වෙන කොට මම කාටවත් පගාවක් දීලා නැහැ
රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වසන්ත කුමාරසිරි
පසුගියදා නිමාව දුටු රූපවාහිනී රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස වසන්ත කුමාරසිරි සම්මානයට පාත්‍ර විය. ඒ බොරළු පාර ටෙලි සිතුවමේ වෙන්දකඩුව නම් පොලිස් පරීක්ෂකවරයාගේ චරිතයට මනා සාධාරණයක් ඉටු කිරීම හේතුවෙනි. පුංචි තැනකින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ රංගන ශිල්පියකු වශයෙන් වසන්තව හඳුන්වා දුන්නාට වරදක් නැත. මුල් යුගයේ ඉතා සුළු චරිත රඟමින් අප හමුවට පැමිණි ඔහු දුෂ්කර මගක් ඔස්්සේ ක්ෂේත්රයේ පියවර තැබුවේ ආදර්ශවත් අන්දමිනි. පසුකාලීනව නිෂ්පාදකවරයෙකු වෙමින් ද නිර්මාන ගණානාවක් ප්‍රේක්ෂකයන්ට දායාද කළ හෙතෙම අප සමඟ මෙසේ කතාබහකට එකතු වුණේ ඉතා දිගු කලකට පසුවය. * වසන්ත, හොඳම නළුවා සම්මානයේ බර ඔබේ අතට වැඩිය හදවතට දැනෙන්නට ඇතැයි මා පැවසුවොත් එය නිවැරැදිද? ඇත්ත. වසර විසි පහක් වෙනවා මම මෙ ක්ෂේත්රයට ඇවිත් මේ කාලය අතුරතුරදී මට හිමි වෙලා තියෙන්නේ මෙය හැර සම්මාන දෙකයි. ඒ ආශාවරී නාට්‍ය වෙනුවෙන්. හැබැයි මේ ලද සම්මානය මහමෙරක් තරම් මට වටිනවා. මොකද හොඳම නළුවා වෙන්න ලෙහෙසියෙන් නළුවකුට බැහැ. විශේෂයෙන් රාජ්‍ය සම්මාන උළෙලකදී. ඉන් මම මගේ කැප කිරීම්වල ප්‍රතිපල ලබා ගත්තා. ඒ හින්දා මේ සම්මානයේ බර මගේ හදවතට තදින් දැනෙනනවා. මේ වෙලාවේ බොරළු පාර හි අධ්යක්ෂ ජනක සුරංජිත් ඇතුළු නාට්‍යයේ සියලු පිරිවර මතක් කළ යුතුමයි. ඔවුන්ගෙන් මා ලද සහාය අපමණයි. සම්මානය කෑලිවලට වෙන් කරන්න පුළුවන් නම් ඔවුනටත් මේ සම්මාන මා බෙදා දෙනවා. * සාමාන්‍යයෙන් මෙලෙස සම්මාන ගන්න බොහෝ දෙනෙක් තමන්ගේ මහන්සියෙන් සම්මාන ගත්තාය කියන්න තරම් ආත්මාර්ථකාමී වෙනවා. නමුත් ඔබ එහෙම නැහැ? මට බොරළු පාර නාට්‍යයේ කැමරා අධ්යක්ෂ කැමරාවේ ස්ථානගත කිරීම පෙන්වා දෙන්නේ නැත්නම් මම කොහොමද රඟපාන්නේ. ඒ වගේම අධ්යක්ෂවරයා මට නිසි උපදෙස් දුන්නේ නැතිනම් මම කොහොමද රඟපාන්නේ. අනෙක් සියලු දෙනා මට උදව් කළේ නැත්නම් මම කොහොමද රඟපාන්නේ. එහෙම බලන කොට චරිතයක් කැමරාව ඉදිරියේ නිරූපණය කරන්නට සියලු දෙනාගේ උදව්ව ඕනෑ. ඒ හින්දා තනිවම චරිතයකට පණ පෙව්වා කියලා කාටවත් කියන්න බැහැ. * බොරළු පාරේ පිටපත අතට ගත් දින මොකද ඔබට හිතුණේ? මම මුලින්ම පිටපත හොඳින් කියෙව්වා. මට දැනුණා වෙන්දකඩුව කියන්නේ ඉතාම ප්‍රභල චරිතයක් විත්තිය. මම ක්ෂණිකව තීරණය කළා මේ නාට්‍ය කරන කාල වකවානුවේ වෙන නාට්‍යයක් බාර ගන්නේ නැහැ කියන එක. මට එහි සහාය අධ්යක්ෂ දින දෙන කොටත් කිව්වා ඕනෑ දිනයක ෂූටිං දාගන්න කියලා. මම සියලු කැප කිරීම් වෙන්දකඩුව වෙනුවෙන් කළා. * මා දන්නා පරිදි ඔබ එක දිගට ෂූටිං දාගන්න රංගන ශිල්පියකු නෙවෙයි. එයට හේතුව කුලියාපිටිය පිහිටි ඔබේ නිවසට දිනපතා යැමට උනන්දුවක් දැක්වීම? හරියටම හරි. මට හෝම් සික් එක තදින්ම තියෙනවා. කීයට ෂූටිං ඉවර වුණත් මම අනිත් අතට ගෙදර යනවා. ඒ හින්ද වැඩිම වුණොත් මම දින දෙකයි එක දිගට ෂූටිං දාගන්නේ. නමුත් බොරළු පාර සඳහා එහෙම කරන්න බැහැ. එබැවින් හෝම් සික් එක මදකට අමතක කොට එක දිගට මම බොරළු පාර වෙනුවෙන් කොළඹ හිටියා. * පබා නාට්‍යයේ රෙජිනෝල්ඩ් කියන්නේ ඔබේ රංගන දිවියේ වෙන්දකඩුව හා සමානවම ප්‍රබල චරිතයක්. පබා මෙගා නොවුණා නම් රෙජිනොල්ඩ් වෙනුවෙන් නොවෙද මේ සම්මානය හිමි කර ගන්න තිබුණේ? මම හිතන්නේ නැහැ ඒ ගැන. නමුත් පබා නාට්‍ය වෙනුවෙන් මට සම්මානයක් හිමි නොවුණට මට සම්මානයක් හා සමානවම ජනතා සම්මානයත් ලැබුණා. ගිය ගිය තැන මාව වට කර ගත්තා. රෙජිනෝල්ඩ්ට සම්මානයක් හිමි නොවුණට දුකක් නැහැ ඒ ප්‍රතිචාරම මදැයි. * ඔබ ඔබේ මුල් යුගයේ ඉතාමත් සුළු චරිත රගපෑවා. කාලයක්ම රඟපෑවේ සුළු චරිත විතරමයි. ඇතැම් විට මුළු නාට්‍යයට තිබුණේ ඔබ සිටින දර්ශනයක් හෝ දෙකක් පමණයි. මේ වෙනුවෙන්ම කුලියාපිටියේ ඉඳලා ඇවිල්ලා දිගින් දිගටම හොඳ චරිතයක් නොලැබුණාම ක්ෂේත්රය එපා වුණේ නැතිද? මට කවදාවත් එහෙම හිතිලා නැහැ. සමහර දිනවල එක දර්ශනයක් කරන්න කුලියාපිටියේ ඉඳලා කොළඹ ආවා. මම ඒක දුකක් කියලා හිතුවේ නැහැ. ලැබෙන්නේ මොකක්ද මම ඊට උපරිම සාධාරණය ඉටු කළා. එදා එක දර්ශනයට කොළඹ ඇවිත් රස්තියදු වුණාට අද එහෙම කරන්නේ නැහැ මම. * ඒ කියන්නේ වසන්ත කුමාරසිරි කියන්නේ අද වන විට රස්තියාදු නොවන නළුවෙක්? ඒකට මට මෙහෙම අර්ථකතනයක් දෙන්න පුළුවන්. රස්තියාදු වෙන්න කැමැති නැහැ නෙවෙයි, රස්තියාදු නොවන්න උත්සාහ කරන කෙනෙක්. සීන් දෙක තුනක් දාගෙන තමයි මම කොළඹ එන්නේ. * සම්මානනීය වීමෙන් පසු ඔබේ වටිනාකම ඉහළ ගිහින් ඇති? සම්මාන එකක් නෙවෙයි මම මගේ වටිනාකම ඉහළ දමා ගත්තේ. කාලය හා ලැබෙන අත්දැකීම් ප්‍රමාණය මතයි ඒ වටිනාකම ඉහළ ගියේ. සම්මාන ගත්තට එදා හිටපු වසන්ත කුමාරසිරිමයි අදත් ඉන්නේ. සම්මාන ගත් පමණන් වටිනාකම් මවිසින්ම ඉහළ දමා ගත්තොත් මට පැවැත්මක් නැති වේවි. * මුල් කාලයේ ඔබ මුදල් නොගෙන රඟපාලා තියෙනවාද? ඔව්. මගේ පළමු සහ දෙවැනි නාට්‍ය දෙකම මම රඟපෑවේ සල්ලි නොගෙන. හැබැයි මම කුලියාපිටියේ ඉඳලා ආව නිසා ට්‍රාන්ස්පෝර්ට් වියදම ගත්තා. ඊට පස්සේ ඉඳලා සෑම නාට්‍යයකටම වගේ මට මුදල් ලැබුණා. * හරි. අප දැන් ආයෙත් එමු බොරළු පාර ගාවට. එය රූගත කරද්දී ඔබට පරණ ජීප් රථය් අපහසුවෙන් පදවන්න වුණාලු නේද? ඒක තමයි මරු වැඩේ. මට ඒ ජීප් එකේ ගියර් හරියට දාගන්නත් බැරි වුණා. බොහොම අපහසුවෙන් ඒ ජීප් එක එලෙව්වේ. එය පදවන ගමන් දෙබස් කියන්නත් තිබුණා. කොහොම හරි ඒ දුෂ්කරතාවය මුහුණෙන් නොපෙන්වා චරිතය හොඳට රඟපෑවා. * ආයේ ඒ වගේ චරිතයක් ලැබුණොත් පෙර කියු කැප කිරිම් ඒ වෙනුවෙන් කරනවාද? මම හිතන්නේ නැහැ ඒ වගේ චරිතයක් මට ආයේ ලැබේවි කියලා. මට ඒක හොඳටම විශ්වාසයි. * නිෂ්පාදකවරයකු විදිහට ඔබේ ඉදිරි නිර්මාණයන් මොනවද කියලා කිව්වොත්? මම හිතාගෙන ඉන්නවා තව නාට්‍යයක් කරන්න. ඒත් තවම සැලසුමක් නැහැ. * ඔබට අන් අයට වඩා නාට්‍ය විකාශය කර ගැනිමේදී තැනක් ලැබුණා. කොහොමද එහෙම වුණේ? මගේ නාට්‍ය හොඳයි. ඒක නිසා චැනල්වලින් නාට්‍ය ඉල්ලගෙන විකාශය කරනවා. * සමහරු කියනවා ඔබ අල්ලස් දීලලු නාට්‍ය විකාශය කර ගන්නේ? ඕක තනිකර බොරු කතාවක්. අනිත් අය නම් පගා දීලා නාට්‍ය විකාශය කර ගන්නවා. නමුත් මම මේ වෙන කොට කාටවත්ම පගාවක් දීලා නැහැ නාට්‍යයක් විකාශය කර ගන්න. මම කියන්නේ හොඳ නාට්‍ය හදන්න, එතකොට චැනල්වලින් කිසිදු බලපෑමකින් තොරව විකාශය කරයි. * අවසන් කොට ඔබට මොනවද කියන්න තියෙන්නේ? ජාතික රූපවාහිනිය වගේම ස්වාධීන රූපවාහිනියත් ඒ වගේම කෝපි කඩේ නාට්‍ය කණ්ඩායමත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. මට ඒ ටික තමයි කියන්න තියෙන්නේ.
|