වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා මණ්ඩලවල ඉන්නේ සුදුස්සෝ නොවේ

සිනමා මණ්ඩලවල ඉන්නේ සුදුස්සෝ නොවේ

සුනෙත් මාලිංග ලොකුහේවා

මේ දිනවල තිරගත වන අලුත්ම චිත්‍රපටය වන ස්පන්දන චිත්‍රපටය සුනෙත් මාලිංග ලොකුහේවාගේ අධ්‍යක්ෂණයකි. ඔහු මෙයට පෙර සිංහාවලෝකන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. මේ ඔහු සමඟ කරන ලද සංවාදයකි.

ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ කුමන අරමුණකින්ද?

මම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන්නට කිසිසේත්ම සිතුවේ නැහැ. මා උසස් පෙළ හැදෑරුවේ ගණිත විෂයයෙන්. ඒ ශාන්ත බෙනඩික්ට් හා ක්‍රිස්තුරාජ විදුහලෙන්. කාලයක් ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළත් ලියන්න මා ඉතා ඇළුම් කළා. ඒ නිසා ගීත තිහ හතළිහක් ලිව්ව. ඒවා ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ ගායනා කළා. මේ අතරේ මට දකින්නට ලැබුණා චිත්‍රපට සංස්ථාව මඟින් මෙහෙය වන ලද සිනමා පාඨමාලාව පිළිබඳ දැන්වීමක්. මම හොලිවුඩ් - බොලිවුඩ් සිනමාවට කවදත් අසීමිතව ඇළුම් කළා. සම්මුඛ පරීක්ෂණයට ගෙන ගියේ මා ලියපු ගීත. මා එතැනදි පැවසුවේ මට අවශ්‍ය තිර නාටක රචකයකු වන්නට කියලා. ඒ පාඨමාලාවේ සිනමාවේ සියළුම අංශ ආවරණය කළා. මා මුලින් 2009 දී කෙටි චිත්‍රපටයක් තැනුවා. 2010 දී මුල්ම වෘතාන්ත චිත්‍රපටය සිංහාවලෝකනය නිර්මාණය කළා.

හැබැයි දෙවැනි චිත්‍රපටයට අවුරුදු පහක් කල් යනවා. ඒ අතර ඔබ තවත් චිත්‍රපට තුනක් නිර්මාණය කරනවා?

ඔව්. 2011 දී මා සුරංගනා ලොවින් ඇවිල්ලා නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කළා. 2012 වසරේ ටෙලි නාට්‍ය තුනක් (ආයෙමත් ආදරෙන්, චංචල රේඛා, මිල්ලෑව වලව්ව) නිර්මාණය කළා. 2013 ස්පන්දන තනන්නේ මගේ තුන්වන චිත්‍රපටය හැටියට. 2014 දී මා ආකර්ෂා සහ තුන් වරක් තුන නමින් ළමා චිත්‍රපට නිර්මාණය කළා. මේ වන විට චිත්‍රපට 5 ක වැඩ අවසන් කළත් තිරගත වන දෙවන චිත්‍රපටය එන්නේ මුල් චිත්‍රපටයට අවුුරුදු 5 කට පස්සේ.

පරක්කු වුණේ?

ස්පන්දන නම් අවුරුදු දෙකයි. මා හැමදාම හිතන්නේ අපේ රටේ නිෂ්පාදකවරු සොයන්න අමාරු නැහැ කියලයි. මගේ දෙවන චිත්‍රපටයත් පෙන්වන්න කලින් මට චිත්‍රපට 4 ක් හදන්න පුළුවන් වුණා. අපේ නිර්මාණ පිළිබඳ පැහැදිලි කරන්න පුළුවන් නම් හා එබඳු අලුත් නිර්මාණ තියෙනවා නම් නිෂ්පාදකවරු ඕනෑ තරම් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ චිත්‍රපට පෙන්වීම ගැනයි. එහි වැරැද්දක් තියෙනවා. හැබැයි ඒ වැරැද්ද නිවැරැදි කිරීම ගැන මට අවබෝධයක් නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන්න මට ඕනෑ නැහැ. සමහර චිත්‍රපට හදපු ගමන් පෙන්වනවා. සමහරු පෝලිමේ ඉන්නවා. මා දෙවැන්නට තනපු චිත්‍රපටය තාම පෝලිමේ තියෙනව. සිව් වන චිත්‍රපටයට රැඟුම් පාලන අනුමැතියත් අරගෙනයි ඉන්නේ.

ඉතින් ඔබ පැහැදිලි කරලා විශ්වාසය තැබූ ඔබේ චිත්‍රපටයට ආයෝජනය කරපු නිෂ්පාදකවරු අමාරුවේ නේද?

මගේ දෙවැනි චිත්‍රපටය තැනුවේ මුල් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. ඔහු අවුරුදු හතරක් බලාගෙන ඉන්නවා. ඔහු චිත්‍රපටයක් කරපු හින්දා මට ගැටළුවක් ඇති කරන්නේ නැහැ. ඔහු මේ ක්‍රමයේ වැරැද්ද දන්නවා. ස්පන්දන තැනූ ජගත් එම්. යාපා තමයි මගේ පස්වැනි චිත්‍රපටය තුන් වරක් තුන නිපද වූයේ. ඔහු සිනමා ශාලා හිමියෙක්. ඔහු මේ තත්ත්වය දන්නවා. ඔහු එයටත් පෙර තැන්ක් යූ බර්ටි නිෂ්පාදක. මගේ ආකර්ෂා චිත්‍රපටය හතර දෙනෙක්ගේ නිෂ්පාදනයක්. ඔවුන් නම් මේ කාරණය ගැන මගෙන් අහනවා.

හදපු ගමන් පෙන්වන චිත්‍රපට මෙන්ම කවදාවත් පෙන්වන්න බැරි වන චිත්‍රපට පිළිබඳ ප්‍රශ්නය ලෝකයේ හැම රටකම තිබෙනවා. එහිදී එය තීරණය වන්නේ වෙළෙඳපොළ සාධක මත. ඔබ හිතන්නේ අපේ රටේ එහෙම චිත්‍රපට විසි වන්නේ එම කාරණය සලකාගෙන නොවේද?

නෑ මං හිතන්නේ නෑ. වර්තමානයේ සමහර සිනමා මණ්ඩල මේ දවස්වල දුවන්නේ මේ චිත්‍රපටය කියලා පූර්ව නිගමනවල ඉන්නවා.

එය ලෝකය පුරා සිනමා වෙළෙඳපොළේ න්‍යායක්?

ඒත් මං හිතන්නේ වෙන රටවල එහෙම කරන්නේ ඒ සඳහා හොඳ දැනුමක් තියෙන අය කියලයි. ඒත් ලංකාවේ එහෙම කරන්නේ එබඳු දැනුමක් ඇති අය නොවෙයි. සමහර සිනමා මණ්ඩලවල ඒ සඳහා ඉන්නේ ඒ සඳහා සුදුසු අය නොවේ. ඔවුන්ට තිබෙන්නේ එම මණ්ඩලවල අවුරුදු 15 ක් 20 ක් එහි සේවය කිරීම විතරයි. නැතුව සිනමාව ගැන අවබෝධයක් ඔවුනට නැහැ.

යමක නියැළී අත්දැකීම් ඇති අයට ඇති දැනුම න්‍යායාත්මක ලැබූ දැනුමට වඩා ප්‍රායෝගිකයි. ඔබ හිතන්නේ අපේ සිනමා ව්‍යාපාරයේ ඉන්නා වෘත්තිකයන්ගේ ප්‍රායෝගික ඥාණය මදිද?

මං හිතන්නේ ඒක නෙවෙයි. ඒ අයට තියෙන්නේ මේ දුවන එකට වඩා අනික දුවනවා කියලා විශ්වාස කිරීමයි. ඒ මත තෝරා ගැනීමයි. වඩා ලාභදායී චිත්‍රපටයක් තෝරා ගැනිමෙන් නිෂ්පාදකවරු කිහිප දෙනෙක් විතරක් බේරෙනවා. හැබැයි දිගටම ඉන්න බලාපොරොත්තු වන බොහෝ නිෂ්පාදකවරුන්ට අසාධාරණයක් වෙනවා. අපේ රටේ තියෙන්නේ දුවනවද? නැද්ද? වඩා එයට වඩා හොඳින් දුවනවාද? නැද්ද? කියන දේ තෝරා ගැනීමයි. හොඳට දුවනවා කියන එක ඉස්සර කරලා, අර දුවනවා කියන එක අරගෙන තියා ගන්නවා. හැබැයි එතකොට කියනවා අපි ඔයාගේ චිත්‍රපටය පෙන්වන්නේ තව අවුරුදු එකහමාරකින් කියලා.

මේ අකරතැබ්බයට ස්පන්දන මුහුණ දෙන්නේ කෙහොමද?

ස්පන්දන මේ රටේ වෙනම සිනමා ශානරයක් ආරම්භ කරන චිත්‍රපටයක්. මට පුද්ගලිකව හිතෙන දේ නම් පවතින සිනමා රැල්ලට එරෙහිව තමා අපි ස්පන්දන වගේ වෙනස් චිත්‍රපටයක් එළියට දාන්නේ. ඩ්ධපපධප අධථචදජඥ අයත් චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයා මෙබඳු චිත්‍රපට අලුතින් වැළඳ ගනීවි. ප්‍රේක්ෂකයාට සිනමා ශාලාව ඇතුළේ තිබෙන අලුත් වෙනස්කම නැති වුණොත් මේ පවතින රැල්ල නැති වී යාවි.

දැන් අපේ සිනමාව ගැන ප්‍රේක්ෂකයා උනන්දුයි කියලා හිතෙනවාද?

අලුතින් සිනමා ශාලා හැදෙන විදිය හිතූ තරම් ඉක්මනට නොවුණත් තාක්ෂණික අතින් අලුත් වෙන විදිය දිහා බැලුවාම ප්‍රේක්ෂකයා ආපහු සිනමා ශාලාවට එනවා. අවුරුද්දකට දැන් චිත්‍රපට 18 ක් විතරයි පෙන්වන්නේ. ඊ. ඒ. පී. වැනි ප්‍රධාන මණ්ඩලයක පෙන්වන්නේ තවම වසරකට චිත්‍රපට තුනයි. නැත්නම් හතරයි. අනිත් මණ්ඩල හින්දා තමයි චිත්‍රපට 18 ක් විතර පෙන්වන්නේ. ඒ කාලේ චිත්‍රපට 24 ක් විතර පෙන්වනවා. අද ප්‍රේක්ෂකයෝ වැඩි නිසා චිත්‍රපටයක් දුවන දින ගණනත් වැඩියි.

ඒ වුණාට ශාලාවට යනවාට වඩා මාස 4 කින් චිත්‍රපටය ගෙදරට වෙලා නරඹන එක ලාබ නැද්ද?

ඔව්. අද මාස ගණනකින් ටී. වී. එකේ බලන්න පුළුවන් කියන එක ප්‍රේක්ෂකයා දන්නවා. ඒත් සිනමා ශාලාවට පුරුදු වෙච්ච පිරිස් ඉන්නවා. ඒ වගේම අපි දැනගන්නත් ඕනෑ ටී. වී. එකේ රස විඳින්න බැරි චිත්‍රපට හදන්න. භීෂණාත්මක චිත්‍රපට ශාලාවෙන් රස විඳින්න බෑ. හාස්‍ය චිත්‍රපට නම් එහෙම නෙමෙයි. අපි තවමත් ච්ඊඉ 5.1 තාක්ෂණය තිබියදී මොනෝ ශබ්ද ක්‍රමයට චිත්‍රපට හදනවා. ඒ තාක්ෂණය පාවිච්චි කරනවා නම් සිනමා ශාලාවටම යා යුතුයි.

එහෙත් දවසින් දවස ඔය තාක්ෂණය ගෙදරින් ගෙදරට එනවා. හිතෙන්නේ නැද්ද මේ සිනමාවට අනතුරක් කියලා?

දැනට අවුරුදු පහකට කලින් සිංහල චිත්‍රපටයක් ඩීවීඩීවලට විකුණුවේ ලක්ෂ පහකට විතර. අද සමහර චිත්‍රපට ඩීවීඩීවලට විකුණන්නේ ලක්ෂ හතළිහක් පනහක් විතර ගාණකට. ඒ විශාල වෙළෙඳ පොළක් එයට තියෙන නිසා. ස්පන්දන වැඩ ඉවර කරන කොට අපට ලැබුණු ඩීවීඩී ඔෆර් එක වගේ දෙගුණයකටත් වඩා වැඩි ගණනකට අද එය ඉල්ලලා තියෙනවා. ගතවුණු කාලය අවුරුදු එකහමාරක්. අනාගතයේ සිනමාව ඩීවීඩී වෙනුවෙන් අලුත් ආදායමක් ගත හැකියි. මා හිතන්නේ අපේ චිත්‍රපට ශාලා 35 කින් නිෂ්පාදකයා බේරා ගන්න පුළුවන් චිත්‍රපට හදන්න ඕනෑ. සමහර චිත්‍රපටවලට එච්චර වියදම් කළේ මොකටද කියලා හිතෙනවා. සමහර චිත්‍රපට කොහොමද ඒ ගාණෙන් කළේ කියලා හිතෙනවා. චිත්‍රපට හැදිය යුත්තේ දෙවැනි ක්‍රමයටයි.

ඔබ චිත්‍රපට හදන්නේ නිශ්චිත අයවැයක පිහිටලාද?

පැහැදිලවම. මගේ චිත්‍රපටවලින් දෙකක යාන්තම් ලක්ෂ 4 ක් විතර වැඩි වුණා. ඒ වැස්ස වාගේ කාරණා නිසා.

ඔබ චිත්‍රපට සඳහා විදේශ ආභාෂය ලබා ගන්නවා. ඔබ විදේශීය චිත්‍රපටවලට එතරම් කැමැතිද?

මම සාමාන්‍යයෙන් දැනට චිත්‍රපට 12,000 ක් විතර නරඹලා තියෙනවා. වර්තමානයේ්ත් චිත්‍රපටයක් හදන්නේ නැති කාලයේ මාසයකට චිත්‍රපට 50 ක් 75 ක් විතර බලනවා. හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපටවලට මම කැමැතියි. අපි දකින්නේ නැති චිත්‍රපට තනන්නට කැමැතියි. මගේ චිත්‍රපට 5 එකකට එකක් වෙනස්. එකක් ක්‍රීඩා, එකක් ක්‍රියාදාම, එකක් ඩ්ධපපධප අධථචදඪබඪජ, තව එකක් පවුලේ කතාවක්, අන්තිමට ළමා හාස්‍ය. මගේ හය වැනි චිත්‍රපටය සම්පූර්ණ ප්‍රේම කතාවක්. මා උදයකාන්ත වර්ණසූරිය මහත්තයාගේ චිත්‍රපට ශෛලියට කැමැතියි. ඔහුගේ චිත්‍රපට එකකට එකක් වෙනස්. මා හැම විටම ඊළඟ චිත්‍රපටය වෙනස් එකක් කරන්න කැමැතිියි.

විදෙස් චිත්‍රපටයක් දැක්කාම එය ප්‍රතිනිර්මාණය කරන්නට ඔබට හිතෙනවා?

ඔව්. සිංහාවලෝකනය හදද්දී ලගාන් ආභාෂයට ගත්තා. කොපි කළේ නැහැ. සමහර ඒවා තියෙනවා කාබන් කොපි කරන්න. ගජිනි එහෙම චිත්‍රපටයක්, ෆනා එහෙම චිත්‍රපටයක්. ත්‍රී ඉඩියට්ස් එහෙම චිත්‍රපටයක්. ඒවා ඒතරම් ලස්සනයි. ඒවා නැවත ලියන්න බෑ. අනේ මේක සිංහලෙන් හදන්න පුළුවන් නම් කියලා හිතෙනවා