වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




හෙළ ගී අඹරේ පහන් තරුව

හෙළ ගී අඹරේ පහන් තරුව

සුනිල් ශාන්ත ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි

ලංකා ගීය

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී
සුරකිමු ඔබ ලංකා

බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුණොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා

මහවැලි කළු කැලැණි වලවේ අත් හතරක් ඇති ලංකා
සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා
තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නළවන ලංකා
මුහුදින් අඟලක් ඔබ වැවෙතොත් එහි පනිමු පනිමු ලංකා

හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා
ගස් වැල්වලැ මල් එකට ගොතාලා ඔබ පලඳිමු ලංකා
රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා
ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා

ඔබ හට අත පොවනට උන් මුනු හට ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
ගොඩ දිය අහසේ හැම තැනැ ඔබ ගේ නම කියවමු ලංකා
අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා
 

ගී පද – අරිසෙන් අහුබුදු

කොමළ සොඳුරි

සුවඳ රෝස මල් නෙළා
මාලයක් ගොතාලා
මගේ කොමළ සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ

එන්නැ සුදෝ එන්නැ අනේ එන්නැ මා වෙතේ
මෙන්න මගේ සුරත ගන්නැ පෙම් දමින් වෙළා
පෙමෙහි මිහිර විඳැ අපේ දිවිය ගෙවමු දෝ
එලොවැ මෙලොවැ සියලු සැපට පෙමමැ කරුණු වේ

පුරා පිපුණු ඔලු මලෙකැ සුවඳ මෙන් අගේ
සරා වැඩුණු සඳෙහි සිසිල් කැලුම් මෙන් අගේ
ලලිත බොළඳ සුරතලී සුවඳ සුකොමලී
මෙ ඔබ බලන බැල්ම අහෝ කොයින් ගෙනාදෝ

ගිරා හඬත් කොබෝ හඬත් කෝකිල නාදේ
සමඟ රැගෙනැ මැවුණු රිදී හඬක් මෙන් අගේ
සොඳුර ඔබ ගෙ කට හඬේ ලලිත සුමිහිරේ
එන්නැ අනේ මා නළවා ලන්නැ පිය බඳේ

එලෝ මෙලෝ දෙලෝ මගේ මිහිරි පෙම්බරී
ඔබයි සුදෝ ඔබෙන් මිදී සැපෙක් නෑ සිරී
මගේ කොමළ කුමරියේ සුසුදු සොඳුරියේ
දිළිඳු වුවද මෙ ඔබ තමා පෙම් බිසෝ මගේ

කෝකිල නාදේ

කෝකිලයන් ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
ජාති ජාති මලින් සුවඳ උරා බී
වටින් පිටින් සිසිල් සුළං හමන්නේ

සාමදාන සැඳෑ සොබා ඇදෙන්නේ
අන්න අන්න ඉරත් මූදෙ ගිලෙන්නේ
මගේ කුමාරී ආල තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ
සුදෝ සුදෝ අන්න සඳත් එබෙන්නේ

සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සඳේ නිකම් තැවෙන්නේ
ඇයි ද මගේ සුදා මටයි ආදරේ
අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නෝ

සමන් මලක් නෙළා මගේ බිසෝ ගේ
හිසේ ගසම් අන්න මගේ විනෝදේ
එන්නැ අනේ එන්නැ මගේ කුමාරී
‘සාදු’ කියා හාදු දෙකක් දෙන් සිරී

මගේ කිරිල්ලී හඬින් සුමීරී ගයන් අමා ගී
බෝමැ ඇතත් සුදෝ මැණික් සාගරේ
ඔබයි මගේ මැණික මගේ ආදරේ
ඉතින් එපා සැකක් මගේ සුන්දරී

මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී
මගේ අසෝකා මගේ විසාකා මගේ මල්ලිකා
 

ගී පද - හියුබත් දිසානායක

කුකුළු හැවිල්ල

දුදනො’ ද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද සාමිනේ
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා
බලා එල්ල
හෙළුව හෙල්ල
මුල මැ බෙල්ල මරු තැනේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උළා නළල් ඇටේ
දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී ‘දෙවියනේ’
රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි
කතරගමේ
බලමහිමේ
දුටු ද එ මේ හැම තැනේ
කියමින් නම’කුරු ඔබගේ
බොළඳුන් ගෙ ද කිරි කුඩ’ගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින්හිමි සඳනි මගේ
දුදනො’ද බිඳ
මට කළ මේ විපත අනේ
බලාගන්නැ දෙවියනේ
වැජඹෙන නා මෙ විමනේ
බලන්නැ නා සාමිනේ
 

ගී පද රැයිපියල් තෙන්නකෝන්

උපන් බිම

සිතෙහි දිරි වඩා කයෙහි වැර නඟා
හෙළය නඟනු පිණිසැ පෙරට යන්නැ හෙළ පුතා
මවට මෙන් මැ පෙම් නඟා ජනිත බිමට වැඩ වඩා
එලොවැ මෙලොවැ ඒ ඉහළ

පුද මැ ලබන සේ
නැඟෙනු මිතුරු ඇදෙනු පෙරට ගීත ගය ගයා
ලොවමැ මවිත කරන මේ පරම මිහිරි හෙළ බිමේ
උපත ලැබුම සේ ඉහළ

වාසනා නොවේ
ඕලු නෙළා මාල ගොතා සරසමු ලංකා
බලනු මිතුර ලොව පුරා සියලු දෙසමැ පුබුදු වේ
ඉවත හෙළනු මේ අපට

නුහුරු මැළි සොබා
ගැමුණු පියා ගුණ සමරා නැඟෙනු හෙළ පුතේ
නැටුම් ගැයුම් වැයුම් ඈ කලා නැවැත පණ පොවා
ගිගිරි වළලු හා මිහිරි

කිකිණි හඬ දෙවා
ලකෙහි සිරිය පාමු ලොවට හොඳට හැඩ ගසා
පොළොන්නරුව දෙසැ බලා පැරැණි මහිම ගැනැ සිතා
සිතට සිරි දෙවා නැඟෙනු

දරුව දැන් වහා
ගයමු වයමු නටමු මෙ අප ලක් මවුන් වටා
 

ගී පද - සුනිල් සාන්ත හා හියුබත් දිසානායක

පාසල් ගුරුවරිය

මිහිකත නළවාලා
මඟ මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

සුදු හෙළ සාරිය හැඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස පීරා නිසි ලෙසැ මල් ගවසා බැඳැලා
ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා

බෝවිටියා හා බාලොලියා හා ඈ වන මල් සපිරී
මේ හුදු පිටිසර හෙළ ගම්මානේ ඔබ දෝ සීදේවී
කෝකිලයන් නාදේ අන්න නැඟී එන්නේ
සුදු හෙළ පිටිසර තුරුණු විනාවිය ඔබටයි ඒ ගීතේ

ඕලු නෙලුම් ඈ නෙක මල් පිබිදී අහෝ විලේ සිරියා
ජය මැ මලක් ඉන් නෙළා ගනී ඕ හා හා කුමටද ඒ
බාල ලියේ ඔබ ගේ සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතු දෝ

හෙළ පැටියන් හට ගී රස දෙන්නට පෙළ සිටුවා වටයේ
වීණා නාදේ නංවා ඔබ උන් හා ගී ගයන සඳේ
සරසවි බැසැ ඒ වී ලක් ළද නැළැවේ වී
ඈත එපිටැ ඒ සීගිරි සීනය සිතේ ඇඳී යා වී
 

ගී පද – හියුබත් දිසානායක

තනුව - සුනිල් සාන්ත

එම්බා ගංගා

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ

එම්බා ගංගා ගංගාවේ
කන්ද කපවු ගල් පෙරළවු


වේලි බඳිවු ගමන බිඳිවු - ගංගාවේ
දිය හරවවු වැව් පුරවවු

කෙත් කරවවු කුස පුරවවු - ගංගාවේ
හිටු එම්බා ගඟ පුම්බා

දිය ලම්බා පරැකුම්බා - ගංගාවේ
වැඩට අපේ දිය නොම දී

මුහුද කරා යනු වරදී – ගංගාවේ
ගී පද – අරිසෙන් අහුබුදු