වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනි අවි සහ ගිනි කෙළි පාල ඔහුයි

ගිනි අවි සහ ගිනි කෙළි පාල ඔහුයි

බුද්ධික එදිරිසිංහට රංගනය හැදෑරිය යුතුය යන දොළක් උපදින්නේ මාවෝ ලක්ෂිත කරුණාතිලකගේ 'ඇඟිලි සලකුණ' වැඩ සටහනට රංගනයෙන් දායක වීමත් සමඟය. එතැන් පටන් රංගනය පිළිබඳ හදාරන ඔහු මේ දවස්වල විකාශය වන 'ගිනි අවි සහ ගිනි කෙළි' ටෙලි නාට්‍යයේ පාලගේ චරිතයට පණ පොවයි. රංගනයට පිවිසීමේ ආරම්භයත්, සිය රංගන ජීවිතය පිළිබඳත් ඔහු අප සමඟ මෙසේ පැවසීය.

'මගේ රංගන ගුරුවරිය වන්නේ අම්මා. ඒ මා පාදුක්ක සුමනජෝති කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේදී රඟපාන්නට සිදු වුණු වෙද මහත්තයාගේ චරිත නිරූපණය මට කියලා දුන්නේ අම්මා. ඈ එය අපූරුවට රඟපාන අයුරු කියලා දීලා මටත් රඟපාන්න කියනවා. මේ නිසා මම රංගනයට අත් පොත් තියන්නේ ඇගෙන්. පාදුක්ක ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයට ආවට පස්සේ රංගන කටයුතුවලින් ඉදිරියට යන්නට නොහැකි වුණත් ඒ අදහස වර්ධනය වන්නේ 'ඇඟිලි සලකුණ' නිසා. සිතේ යටපත් වෙලා තිබුණු ආශාව යළිත් මතු වන්නේ එතැනදියි. එදා තමයි මම තීරණය කරන්නේ රංගනය පිළිබඳ හදාරනවා කියලා. ඒ නිසාම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාව හදාරනවා.

එහිදි අද බොහෝ ජනප්‍රිය වී සිටින මිහිර තිලකසිරි, අතුල ජයසිංහ කියන අයත් මට මුණ ගැසෙනවා. රංග කලාව සොයා ගෙන ගිහින් උගත යුතු දෙයක් කියලා මට කියලා දෙන්නේ එහිදි මුණ ගැසුණු ප්‍රසන්නජිත් අබේසූරිය කියන ගුරුතුමා. ඊට පස්සෙයි මට කෞෂල්‍ය ප්‍රනාන්දුව මුණ ගැසෙන්නේ. ඔවුන්ගේ 'විකෘති', 'පුංචි අපට දැන් තේරේවි', 'ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි' වගේ වේදික නාට්‍යවලට රංගනයෙන් සහභාගිවීමට මට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම 'විකෘති' වේදිකා නාට්‍යයේ මාමා කියන චරිතයත්, ශබ්ද පරිපාලනය වගේම ඇඳුම් සුරක්ෂිත කිරීම, වේදිකා පරිපාලනය කියන අංශවලටත් මම සහයෝගය ලබා දෙනවා. ඒ අතරම ඇගේ 'මාස්' කියන වේදිකා නාට්‍යයේත් වයසක චරිතයක් වගේම නගරාධිපතිගේ චරිතයත් රඟපෑවා. මේ දවස්වල කෞෂල්‍යා ප්‍රනාන්දුගේ අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතු කෙරෙනවා. තුෂාරි අබේසේකරගේ යුද්දෙ කොලා, ශෘංගාර නගරේත්, නීතිඥ මහානාම සිලවාගේ මාතෘ, ආනන්ද විජේසිරිගේ 'පුරවර සුන්දරී' මා රඟපාන අනෙක් වේදිකා නාට්‍යයි.

තුෂාරි අබේසේකරගේ වේදිකා නාට්‍යයකින් තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට අත් පොත් තියන්නේ. මේ දවස්වල පුංචි තිරයේ විකාශය වන සාරංග මෙන්ඩිස්ගේ 'ගිනි අවි සහ ගිනි කෙළි' කියන ටෙලි නාට්‍යයේ මාළු නිහාල්ගේ ගෝලයා පාල විදියට කරන රඟපෑමට මට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඒත් සමඟම මොහාන් ජී රංගනාත්ගේ 'හිරු දරුවෝ', ජනක චාමින්දගේ 'බිනරමලී' සම්පත් ශ්‍රී රොෂාන්ගේ 'හඳුනා ගත්තොත් ඔබ මා' කියන ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වන අනෙක් ටෙලි නාට්‍යයි. මේ අතරදියි රිදී තිරයටත් රංගනයෙන් සම්බන්ධවීමට මට අවස්ථාව හිමි වන්නේ. ඒ නලින් රාජපක්ෂගේ 'ද රේන්බෝ' කියන චිත්‍රපටයයි. අවසාන වශයෙන් යමක් කිව යුතුයි. ඒ මට මේ ගමන එන්න උදව් කළ නම් කී නොකී සියලු දෙනාටම ස්තුතිය පළ කිරීමයි.