වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අක්ෂේ වෙනුවට ජෝන් අභිෂේක් හවුලට

අක්ෂේ වෙනුවට ජෝන් අභිෂේක් හවුලට

අභිෂේක් බච්චන් තවත් අලුත් චිත්‍රපටයක වැඩ භාර අරගෙන. ඔහු ඒ පිළිබඳ අලුත්ම විස්තර සටහන් කළේ ඔහුගේ ටිව්ටර් වෙබ් පිටුවේ. ඔහු දායක වුණේ Hera Pheri 3  චිත්‍රපටයට. පසුගිය 09 වැනිදා එහි රූගත කිරීම් ආරම්භ කෙරුණා.

චිත්‍රපට මාලාවක් ලෙසින් නිර්මාණ වූ  Hera Pheri  චිත්‍රපට වල තෙවැන්න අධ්‍යක්ෂණය කරන්නේද දෙවැන්න අධ්‍යක්ෂණය කළ නීරජ් වෝහ්රා විසින්මයි. හාස්‍යමය කතා තේමාවක් ගෙන එන මෙම චිත්‍රපට මාලාවේ තෙවැන්න විශේෂ වෙන්නේ අභිෂේක් වගේම තවත් සුපිරි නළුවෙක් අලුතෙන්ම සම්බන්ධ වන නිසා. ඔහු ජෝන් ඒබ්‍රහම්. අභිෂේක් සහ ජෝන් මීට පෙර Dhoom සහ  Dosthana චිත්‍රපටවල එකට රඟපෑවා.

අභිෂේක් සහ ජෝන් සමඟින්  Hera Pheri 3  චිත්‍රපටයට විකට නළු කාදර් ඛාන් ද රංගනයෙන් දායක වෙනවා. මේ තුන්දෙනාම මේ චිත්‍රපට මාලාවට නවක තරු. ජෝන් ඒබ්‍රහම් පැමිණෙන්නේ පෙර චිත්‍රපටවල අක්ෂේ කුමාර් නිරූපණය කළ චරිතය වෙනුවෙන්. ඔහුන් සමඟින් සුනිල් ෂෙට්ටි සහ පරේෂ් රාවල්ද මේ සඳහා චරිත නිරූපණය කරනවා. හාස්‍යයෙන් පිරි මෙම සිනමා නිර්මාණය මේ වසරේ නත්තල් සතුටද සමඟින් ඔබට රසවිඳින්නට හැකි වේවි.