|
කුෂ්ලානි කියන්නේ මගේ හොඳම විචාරිකාව
රොෂාන් රණවනගේ කැදැල්ලට පිවිසෙමු
වත්තල ප්‍රධාන පාරට මායිම්ව පිහිටි රොෂාන් රණවනගේ නිවෙසට පිවිසෙන විටම අප ඈතදීම දුටුවේ එහි දොරකඩට වි පෙර මඟ බලා සිටින තරුණයෙකි. රැවුළ හා කොණ්ඩය වවාගත් මේ තරුණයා කවුරුන්දැයි යන පැනය මගේ සිතට පිවිසියේ සැණෙනි. සොඳුරු තරුණයෙකු වූ රොෂාන් එලෙස කොණ්ඩය හා රැවුළ වවාගත් අයකු නොවූ වග මට හොඳට මතකය. නිවෙසේ ගේට්ටුව අසලට ළංවත්ම මේ තරුණයා සිනාසුණේය. ඒ සිනාවේ සුපුරුදු බවක් ගැබ් වී තිබෙන වගක් මට දැනිණි. 'මොකද මාව අඳුන ගන්නත් බැහැ නේද?' මේ නාඳුනන තරුණයාගේ මුවෙන් ගලා ආවේ රොෂාන්ගේ ස්වරය බැවින් ඒ ඔහුම වග අපි හඳුනා ගත්තෙමු. 'ඇත්තම නේන්නම් ඈතදී නම් මේ ඉන්නේ රොෂාන් කියලා හඳුන ගන්න බැහැ' මා පැවසුවේ ඔහුගේ මේ අලුත් විලාසිතාව දෙස යළිත් විමසිල්ලෙන් බලද්දීය. මගේ සිත හැඳින ගත් සේ ඔහු යළිත් කතාව ආරම්භ කළේය. 'හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු 'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයේ රෝෂාගේ චරිතයටයි මම මේ දවස්වල පණ පොවන්නේ. ඒ චරිතයට අවශ්‍ය විදියට මට මගේ පෙනුම වෙනස් කර ගන්න වුණා. ඒ විතරක් නෙවෙයි තාවකාලිකව රූගත කිරීම් කරන්නට තිබෙන නිසා තව ටික දවසක් මට මේ විදියටම ඉන්න වෙනවා' රොෂාන්ගේ විලාසිතා වෙනස පිළිබඳ ඔහු අපට පැහැදිලි කළේ එලෙසය. එමෙන්ම ඔහු රඟපාන ස්පන්ධන චිත්‍රපටයත් මේ දවස්වලම තිරගත වෙනු දක්නට ලැබෙයි. 'ස්පන්ධන චිත්‍රපටය තිරත වෙන්න පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ඒ සඳහාත් මට විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර සමඟ මගේ සිතට දැනෙන්නේ සතුටක්. මම චරිතය හොඳින් නිරූපණය කළාය කියන සතුටත් එහිම රැඳිලා තිබෙනවා' 'ස්පන්ධන' පිළිබඳ ඔහු මෙසේ පවසද්දී මගේ නෙත නතර වූයේ සාලයේ පෙනෙන්නට තිබෙන සම්මානයක් අසලය. 'ඔය සම්මානය මට ලැබුණේ පසුගිය දවස්වලයි. People's Aword කියන මේ සම්මානය මට ලැබෙන්නේ ජනප්‍රියම නළුවා කියන සම්මානයයි. ඒ අවුරුදු 15ත් 20 ත් කියන තරුණ නළුවන් අතරෙන් ප්‍රේක්ෂකයන් වඩාත් කැමැතිම නළුවා ලෙසයි මට මේ සම්මානය හිමිවන්නේ. මේ සම්මානයේ තිබෙන විශේෂත්වය වන්නේ පෙර කරන ලද සමීක්ෂණයකට අනුව මේ සම්මානය නම් කිරීමයි'. සම්මානයෙන් උදම් වන රොෂාන් අසල අසුන් ගත්තේ ඔහුගේ ප්‍රිය බිරිය කුෂ්ලානිය. මීට මාස අටකට පමණ පෙර විවාහ වූ රොෂාන්ගේ සොඳුරු කැදැල්ලට ආලෝකය රැගෙන එන මේ කිරිල්ලිය රොෂාන්ට මුණ ගැසෙන්නේ අසල්වැසියෙකු ලෙසිනි. කලකට පෙර හමු වූ ඒ අසල්වැසියා අද ඔහුගේ ජීවන සහකාරියයි. ඒ සහකාරිය තම නැවුම් ජීවිතය පිළිබඳ අප හා පැවසූයේ මෙලෙසිනි. 'බොහොම සුන්දර විදියට අපි දෙන්නගේ ජීවිතය ගෙවිලා යනවා. ඒ දෙන්නගේම වැඩ කටයුතුත් සමඟ ඇතිවන කාර්යබහුලත්වය අතරයි'. ඒ කතාවේ අඩුපාඩුව පුරවන්නට රොෂාන් ද එක් වෙයි. 'තනිකඩව ගෙවුණු කාලයට වඩා වෙනස්ම ජීවිතයක් විදියටයි විවාහයෙන් පස්සේ ජීවිතය මා දකින්නේ. ඒ වගේම ජීවිතය වෙනදාට වඩා අලුත් වෙලා කියන හැඟීම මගේ සිතට දැනෙනවා'. එලෙස පැවසූ ඔහු නිවෙස ඇතුළට පිවිසියේ උදේ පටන් ඇඟලා ගෙන සිටි ඇඟළුමට සමු දෙන්නටය. ඒ අතර අපි කුෂ්ලානිගෙන් ආදර ජවනිකා රඟපාන තම පෙම්බරයා පිළිබඳ ඇගේ සිතේ ඇති වෙනුයේ කුමන නම් හැඟීම්දැයි විමසීමු. 'පත්තරවලින් විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් හමුවන හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඔබ මගෙන් විමසුවේ. ඒ අය කියන දෙයක් තමයි මට නම් ඔයා වගේ ඔහොම ඉන්න බැහැ කියන එක. ඒත් මම නම් ඒ රොෂාන්ගේ වෘත්තිය කියලා දන්නවා. ඒක රඟපෑමකට පමණයි සීමා වෙන්නේ කියලත් මා දන්නවා. ඔහු රඟපාන නිර්මාණවල අඩුපාඩු කියා දෙනවා මිසක කිසිම දවසක දුක හිතෙන දේවල් මම ඔහුට කියලා නැහැ. අනෙක් එක මම රොෂාන්ව දන්නේ පුංචි කාලයේ ඉඳලා. ඔහුගේ සිතුම් පැතුම් හඳුනන්නේ මම ඒ කාලයේම ඉඳලයි.' ඇය සිනාසෙන්නීය. රොෂාන් රඟපාන චරිතවල හරි වැරැදි කියන්නට ද පසුබට නොවේ. 'කොහොමත් කුෂ්ලානි මගේ රංගනයේ අඩුපාඩු කියන්නට තමයි පෙලඹෙන්නේ. මගේ රංගනයේ එකම විචාරිකාව ඇයයි. ඇය මාව තේරුම් අරගෙන ඉන්න එක මට තිබෙන ලොකුම සැනසුමක්. ' නැවත අසුන්ගත් රොෂාන් බිරියගේ දෙනෙත දෙසම බලාගෙන පවසන්නේ සංසුන්වය. කාර්ය බහුලව ගෙවෙන සැමියාගේ හා බිරියගේ ජීවිතයේ දවස ආරම්භ වන්නේ කෙසේදැයි මම විමසීමි. 'රොෂාන් උදේට නැඟිට්ට ගමන්ම කරන්නේ වතුර වීදුරුවක් බොන එකයි. ඊට පස්සේ එයා කන්නේ පලතුරුයි. ඊළඟටයි අපි දෙන්නම එකතු වෙලා උදේ කෑම ගන්නේ. ඔහුගෙන් කෑම ගැන නම් මට කිසිම කරදරයක් නැහැ. කොහොමත් මම කාර්යබහුල නිසා ගෙදර උයන කටයුතු කෙරනේනේ අම්මාගේ දෑතෙන්. සාමාන්‍යයෙන් මම උයන කටයුතු කරන්නේ නිවාඩු දවසකයි. ඒ වගේ වෙලාවට රොෂාන් කන්න කැමැති ඉතාලි කෑමත්, කුකීස්, කේක් වගේ පැණිරස කෑමත් මම හදනවා. රාත්‍රියට සරලව සුප් එකක් බොන්නත් රොෂාන් කැමැතියි. අප හැමෝම එළවළු පමණක් කෑමට ගන්න නිසා වැඩි කරදරයක් ඇත්තේත් නැහැ.' වරලත් ගණකාධිකාරීවරියක් ලෙස කටයුතු කරන රොෂාන්ගේ බිරිය විශේෂයෙන් කන්නට කැමැති දෙයක් තිබේ යැයි රොෂාන් පවසන්නේ සිනාසෙමිනි. 'කුෂ්ලානි කැමැතියි චොක්ලට් කන්න. එයාට චොක්ලට් තිබුණොත් වෙන මොනම කෑමක්වත් ඕනෑ නැහැ. රොෂාන් සිනහවට කුෂ්ලානිත් එකතු වෙයි. 'ගෙදර ඉන්නවා නම් මම හැමදාම හවසට ව්‍යායාම කරන්න යනවා. කුෂ්ලානිත් මහන්සි නැත්නම් විතරක් මා සමඟ එන අවස්ථාත් තියෙනවා. ඒ වගේම චිත්‍රපටයක් බලන්නත් අපි අමතක කරන්නේ නැහැ.' ඒ සිනහව අතරෙන් ඔහු පවසන්නේ සොඳුරු රුවකට හිමිකම කියන රහස ද හෙළි කරමිනි. ලැබෙන විවේකයේදී දෙදෙනාම බොහොම කැමැත්තෙන්ම කරන කටයුත්ත නම් විවිධ ස්ථානවල සංචාරය කිරීමය. 'විවාහ වුණාට පස්සේ අපි මාසයක් පමණ යුරෝපයේ සංචාරයක යෙදුණා. රටවල් අටකට පමණ ගියා. ඒක බොහොම සොඳුරු සංචාරයක් වුණා. දිගු නිවාඩුවක් නොලැබුණත් ලැබෙන නිවාඩුවට අපේ රටේ එක් එක් තැන් නරඹන්න යන්නත් අපි බොහොම කැමැතියි. ඒ කතාවට අලගු තබන කුෂ්ලානිත් කියන්නේ සංචාරක කටයුතුවලට බෙහෙවින් කැමැති බවය. මේ කැදැල්ලට තුන් වැන්නෙක් දැන්ම එන්නේ නැතිදැයි විමසන්නට ද මම අමතක නොකළෙමි. 'අපේ ජීවිතයේ හැමදේම මෙතෙක් කළේ සැලසුමක් අනුවයි. ඒ වගේම තවත් බොහෝ ඉටු කර ගත යුතු අවස්ථා රැසක් අපි දෙන්නටම තිබෙනවා. ඒ සියලු දේ අවසාන වුණාට පස්සෙයි අපි තුන් වැන්නෙක් ගැන සිතන්නේ. ' කුෂ්ලානිගේ අදහස රොෂාන් ද අනුමත කරන්නේ හිස වනමිනි. කුරුලු ජෝඩුවක් වගේ ඉන්න රොෂාන් - කුෂ්ලානිගේ සොඳුරු කැදැල්ලේ හොරා කිහිපයක් ගෙවූ අපි ආපසු පැමිණියේ මේ නැවුම් ජෝඩුවට සුබ පතමිනි.
|