වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන දෙන්න අපට කවුරුවත් බලපෑමක් කළේ නැහැ

සම්මාන දෙන්න අපට කවුරුවත් බලපෑමක් කළේ නැහැ

මහාචාර්ය සෝමරත්න බාලසූරිය රූපවාහිනි සම්මාන ගැන කියයි

මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ තීන්දු කෙරෙහි කිසිදු ආකාරයකින් දේශපාලන වශයෙන් හෝ වෙනයම් ආකාරයකින් හෝ කිසිදු බලපෑමක් සිදුනොවූ බව මහාචාර්ය සෝමරත්න බාලසූරිය ‘සරසවිය’ ට පැවසීය. මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල පිළිබඳ මහත් ආන්දෝලනයකට ලක්වූයේ පසුගිය වසරේ විශිෂ්ටතම රංගනයක් ලෙස විචාරකයන් දුටු අප්පච්චි ටෙලි නාට්‍යයේ ජැක්සන් ඇන්තනි විසින් කරන ලද රංගනය හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර නොවීමයි. එය දේශපාලන බලපෑමක් මත සිදුවූවක් යැයි ඇතැමුන් සැක පහළ කළ නිසාය. මේ පිළිබඳ ජූරියේ සභාපති මහාචාර්ය සෝමරත්න බාලසූරියගෙන් අප කරුණු විමසා සිටින විට ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අප මේ අවසන් තීන්දුව අරගෙන තිබුණේ පසුගිය ජනාධිපතිවරණයට කලින්. ආණ්ඩු මාරු වුණාට සම්මාන මාරුවෙන සිරිතක් සිද්ධ වන්නේ නැහැ. ජැක්සන් ඇන්තනිගේ රංගනය පිළිබඳ අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. නමුත් පොලිස් පරීක්‍ෂක වෙන්දකඩුවගේ චරිතය රඟපෑ වසන්ත කුමාරසිරි ගේ රඟපෑම යම් අවස්ථාවල දී ජැක්සන් අබිබවා ගිය බව ජූරියේ අවධානයට යොමු වුණා. ජැක්සන්ට තිබුණු අවාසියත් එයයි. කොහොම වුණත් ජූරියේ විශේෂ සම්මානයක් ඔහුට හිමි වුණා.

මෙහිදී මොනම ආකාරයෙන්වත් ඔබට බලපෑමක් ඉල්ලීමක් වුණේ නැතිදැයි විමසූ කල මහාචාර්යවරයා පිළිතුරු දුන්නේ මෙලෙසින්.

මට කිසිම දවසක දේශපාලනඥයන්ගෙන් බලපෑමක්වත් ඉල්ලීමක්වත් ආවෙ නැහැ. හැබැයි සමහර කලාකරුවන් නම් සම්මාන තියනවද කියා අහන අවස්ථා ඉස්සර තිබුණා. මේ වසරේ නම් එහෙමවත් ඇහැව්වේ නැහැ.